“අපේ අය තවත් මහන්සි විය යුතුයි” – ග්‍රැහැම් ෆෝඩ්

315
Graham Ford

එංගලන්ත තණතීරුවලට හැඩ ගැසීමට ටික කාලයක්‌ අවශ්‍ය වුවත් තම කණ්‌ඩායමේ පිතිකරුවෝ දිගු ඉනිමක්‌ ක්‍රීඩා කිරීමේ හැකියාව පුහුණු තරගවලදී ප්‍රවර්ධනය කළ යුතු බවත් ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා පවසයි.

“අපිට තණතීරුවලට හැඩ ගැසීමට කාලයක්‌ අවශ්‍ය වෙනවා. නමුත් දෝලනයක්‌ සහිත තණතීරුවලදී පිතිකරුවෝ පන්දුවට පහරදිය යුතු ආකාරය පිළිබඳව ඉතාමත් මහන්සියෙන් වැඩ කරනවා. ඒත් පළමු පුහුණු තරගයට වඩා ඉදිරියේදී තවත් මහන්සිවෙලා අපේ පිතිකරුවෝ වැඩ කළ යුතුව තිබෙනවා.” යෑයි ෆෝඩ් මහතා පවසයි.

එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු ඉනිම ලකුණු 254 කට සීමා වූ අතර දෙවැනි ඉනිමේදීද ලකුණු 42 ක්‌ තුළ කඩුලු දෙකක්‌ම ශ්‍රී ලංකා ඉනිමට අහිමිවිය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස්‌ (66) සහ නිරෝෂන් දික්‌වැල්ල (53) පළමු ඉනිමේදී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

“අපි අංක තුන පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස්‌ව ක්‍රීඩා කරවන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා. නමුත් ළහිරු තිරිමාන්නගේ ශරීර සෞඛය කොහොමද කියල බලල තමයි අංක තුන ස්‌ථානයේ කවුද ක්‍රීඩා කරන්නෙ කියල බලන්නෙ. කුසල් මෙන්ඩිස්‌ හොඳින් පන්දුවට පහර දුන්නා. අංක අට ස්‌ථානයට නිරෝෂන් දික්‌වැල්ල සුදානම් බව පෙන්නුවා. දික්‌වැල්ල අංක අටේ ක්‍රීඩා කළහොත් කඩුලු රකින්නා වශයෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක්‌ තියෙනවා. නමුත් අපිට දිනේෂ් චන්දිමාල් තමයි ප්‍රධානතම කඩුලු රකින්නා ලෙස මේ තරගාවලියට ක්‍රීඩා කරන්නෙ. පළමු ටෙස්‌ට්‌ තරගයේදී මේ දෙන්නාගෙන් එක්‌කෙනෙක්‌ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරයි.” යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

“අපිට පිළිතුරු දීමට ප්‍රශ්න කිහිපයක්‌ තිබෙනවා. අපිට දිගු ඉනිමක්‌ ක්‍රීඩා කරමින් විශාල ලකුණු ලබා ගැනීමට අවශ්‍යයි. එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති පුහුණු තරගයේදී අපේ අය පන්දු රකින විට අධික ශීතලක්‌ තිබුණා. ඒ ශීතල අනුව ඇගිලි ගල් වෙන තරමට ශීතලයි. මේ තත්ත්වයට හුරු වෙලා පළමු ටෙස්‌ට්‌ තරගයට අවතීර්ණ විය යුතුයි. එසෙක්‌ ක්‍රීඩකයෝ විශාල ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත්තා. ඔවුන් ඇත්තටම දක්‍ෂයි කියල මම තරග පටන් ගන්න කලින්ම දැනගෙන හිටියා.” යෑයි ෆෝඩ් මහතා තවදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු වැන්න ලබන 19 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකාව හෙට (13) ලෙස්‌ටෂයර් ප්‍රාන්ත කණ්‌ඩායම සමග තවත් පුහුණු තරගයකට සහභාගි වේ.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න