Galle Marvels පෙරළිකාර වෙනසක් සමඟින් 2024 LPL තරගාවලියට!

LPL 2024

264
LPL 2024

එළඹෙන LPL තරගාවලිය වෙනුවෙන් Galle Marvels කණ්ඩායම විසින් ක්‍රීඩකයින් හය දෙනෙකු සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.

මෙහි දී ඔවුන් විසින් ප්‍රවේගකාරී එංගලන්ත ආරම්භක පිතිකරු Alex Hales සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, ඔහු විස්සයි විස්ස තරග 450කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් විශාල අත්දැකීම් ලද ක්‍රීඩකයකු ලෙස හඳුන්වා දිය හැකි.

එමෙන්ම 2023 වර්ෂයේ දී ද Galle Marvels සමඟ ක්‍රීඩා කළ නවසීලන්ත කඩුලු රකින පිතිකරු Tim Seifert ද තවදුරටත් Marvels සමඟ රැඳී සිටිනු ඇති.

එමෙන්ම මීට අමතරව භානුක රාජපක්ෂ සහ ලසිත් කෲස්පුල්ලේ ද තවදුරටත් Marvels සමඟින් සිය LPL ගමනේ ඉදිරියට යනු ඇති.

මේ අතර මෙතෙක් කල් Jaffna Kings සමඟින් LPL තරගාවලියට සහභාගී වූ මහීෂ් තීක්ෂණ මෙවර Marvels සමඟ එක් වී ඇති අතර, කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ල ද මෙවර Galle Marvels සමඟ ගිවිසුම් ගත වී තිබීම විශේෂත්වයක්.

මෙවර LPL තරගාවලිය සඳහා පෙර නොවූ විරූ සූදානමකින් පසු වන Marvels විසින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවකු වන Graham Ford හට ලබා දී ඇති අතර, චාමර කපුගෙදර විසින් සහය පුහුණුකරු ධුරය හොබවනු ඇති.

එමෙන්ම මෙවර ලංකා T10 තරගාවලියේ දී Moratu Marvels කණ්ඩායමේ මෙන්ම, 2024 LPL තරගාවලියේ දී Galle Marvels කණ්ඩායමේ ද උපදේශක වගකීම හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය හට හිමි වී ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux Marvels කණ්ඩායමේ පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර IPL තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායම සමඟ විශ්ලේෂකයකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති ඉන්දීය ජාතික AR Srikkanth මෙවර තරගාවලියේ දී Galle Marvels කණ්ඩායමේ ප්‍රධාන විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරනු ඇති.

එළඹෙන ජුලි මස 01 වැනි දා ආරම්භ වීමට නියමිත මෙවර තරගාවලියේ, ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<