යුද වැදි විරුවන්ට සරණ වන ගජබා සුපර්ක්‍රොස් මෙවරත්

225

ධාවනපැදිකරුවන් මග බලා සිටින “ගජබා සුපර්ක්‍රොස් ” තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (22) ශ්‍රී ලංකා යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික බලඝණයේ දී පැවැත්විය. 

මෙවර “ගජබා සුපර්ක්‍රොස් “ තරගාවලිය සැප්තැම්බර් පළමු වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර එම තරගය ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේ දී පැවැත්වෙනු ඇත.

දේශීය, විදේශීය තරගකරුවන්ගෙන් බෝයගනේ උණුසුම් වෙයි

ශ්‍රී ලංකාවේ ධාවන පැදි තරග අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවන “විජයබාහු මොටෝක්‍රොස්” තරගාවලි…

වර්තමානයේ දී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති නිදහස උදෙසා මහඟු සේවයක් කළ රෙජිමේන්තුවක් ලෙස ගජබා රෙජිමේන්තුව හැඳින්වීමට හැක. එමෙන්ම වර්තමාන යුද හමුදාපති වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අන දෙන රෙජිමේන්තුව ද මෙයයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ක්‍රීඩාවට ද ප්‍රමුඛ ස්ථානයක් ගෙන දෙන රෙජිමේන්තුවකි.

1992 වසරේ මේජර් ජෙනරාල් ගාමිණි ගුණසේකර යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ නායකත්වයෙන් යුතුව දියතලාව නරියාකන්ද ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි සංගමයේ හිටපු සභාපති හෑන්ස් රැල්ෆ් මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මෝටර රථ ධාවන පථය නිර්මාණය කර ඇත. “ගජබා සුපර්ක්‍රොස්” තරගාවලිය 1999 වසරේ දී ආරම්භ කර ඇති අතර 2007 වසර දක්වා අඛණ්ඩව රෙජිමේන්තු මධ්‍යස්ථාන සුපර්ක්‍රොස් ධාවනපථයේ දී පැවැත්වූ නමුත් යුදමය වාතාවරණය නිසා වසර 3ක් නොපවත්වන ලදි.

මෙම තරගාවලිය දිවයිනේ විවිධ ප්‍රදේශවලට සීමා වී තිබූ අතර ඉන්පසු ගජබා රෙජිමේන්තු ධාවන පථයට රැගෙන ඒමට තීරණය කර ඇත්තේ උතුරුමැද පළාත තුල මෙම ක්‍රීඩාවට කැමැත්තක් දක්වන ක්‍රීඩකයන්ට ඒ පිළිබඳව ඇති ආශාව තීව්‍ර කිරීම සඳහායි.

වයස අවුරුදු 10, 13, සහ 16න් පහළ තරගකරුවන් සඳහා වෙන්වූ යතුරුපැදි ධාවන ඉසව් 3ක් ඇතුළුව මෝටර් රථ ධාවන ඉසව් 13කින් සහ යතුරුපැදි ධාවන ඉසව් 11කින් සමන්විත “ගජබා සුපර්ක්‍රොස් “ තරගාවලිය දේශීය සහ විදේශීය තරගකරුවන් 200කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත. මෙම තරගාවලියේ දී ලබන ආදායම පිළිබඳව මේජර් ජෙනරාල් එන්. ඒ. ධර්මරත්න මහතා මෙසේ අදහස් දක්වන ලදි.

“මෙම තරගාවලියෙන් උපයන සියලුම ආදායම අපි වසර 30ක කුරිරු යුද්ධය හේතුවෙන් ආබාධයට පත්වූ හමුදා සෙබළුන් වෙනුවෙන් වෙන් කරනවා.”

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය “Air Voice” ආයතනය විසින් දරන අතර මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීම පිළිබඳව එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන නලින් හේරත් මහතා පවසා සිටියේ යුද හමුදාව විසින් පවත්වන ලබනු ඕනෑම දෙයක් සඳහා අනුග්‍රහය දැක්වීමට ඔවුන් පසුබට නොවන බවය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා  “Air Voice” ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන නලින් හේරත්, කෝප්‍රල් රාජපක්ෂ, මේජර් ජෙනරාල් ආර්. එන්. ප්‍රනාන්දු, මේජර් ජෙනරාල් එන්. ඒ. ධර්මරත්න, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි සංගමයේ උපසභාපති යොගා පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

සැප්තැම්බර් මස පළමු වැනි දින මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එහි තරග විස්තර, ඡායාරූප, තරග ප්‍රතිඵල ThePapare.com වෙතින් ඔබ වෙත. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<