LPL පිටියේ මුණගැසෙන අයියා මලෝ

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

936

ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේ දී විවිධ අංශයන්ගෙන් එකට එක්ව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූ සොහොයුරන් පිළිබඳව තොරතුරු දක්නට ලැබෙන අතර මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද එවැනි සොහොයුරු යුගලයන් හතරක් දැක ගැනීමට හැක.

ඒ අතරින් වඩාත් කැපී පෙනෙන සහෝදර යුගලය ලෙස යාපනය නගරය නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගි වන Jaffna Stallions කණ්ඩායමේ වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා හැඳින්විය හැකිය. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනයට වරම් දිනා ගත් ක්‍රීඩකයන් ය.

වනිඳු (වම) සහ චතුරංග (දකුණ)

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වන මෙම සහෝදරයන් යුගලයේ බාල සොහොයුරා තරගාවලියේ වඩාත්ම අවධානයට ලක් වූ ක්‍රීඩකයෙකු වන වනිදු හසරංග වන අතර මෙවැනි විශාල තරගාකාරීත්වයකින් යුත් තරගාවලියක එකම කණ්ඩායමක් නියෝජනය කිරීමට ලැබීම ඔවුන් දෙදෙනාට ද සතුට දනවන කරුණකි.

සිල්වා සහෝදර යුගලයෙන් පසුව ක්‍රීඩකයන් වශයෙන් තරගාවලිය සඳහා එක් වෙන අනෙකුත් සහෝදරයන් දෙදෙනා ලෙස විශ්ව ප්‍රනාන්දු සහ නුවනිදු ප්‍රනාන්දු හැදින්විය හැකි අතර ඔවුන් දෙදෙනා අතරින් විශ්ව ප්‍රනාන්දු වැඩිමල් සහෝදරයා වේ.

විශ්ව (වම) සහ නුවනිඳු (දකුණ)

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීමේ වරම් දිනා ගත් වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සියලූම තරග ආකෘතිවලින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහුගේ බාල සොහොයුරා වන නුවනිදු ප්‍රනාන්දු දේශීය පළමු පෙළ පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී විශ්ව ප්‍රනාන්දු Kandy Tuskers නියෝජනය කරන අතර නුවනිදු ප්‍රනාන්දු Jaffna Stallions නියෝජනය කරයි.

ක්‍රීඩක සහෝදර යුගලයන්ගෙන් පසු තරගාවලියේ සිටින තවත් සහෝදරයින් යුගලයක් ලෙස ලැබ්‍රෝයි සහෝදරයන් හැඳින්විය හැකි අතර ඔවුන් දෙදෙනාම තරග තීරකවරුන් වශයෙන් සිය සේවාව තරගාවලිය සඳහා ලබා දෙයි.

ග්‍රැහැම් ලැබ්‍රෝයි (වම) සහ වෙන්ඩල් ලැබ්‍රෝයි

ඔවුන් දෙදෙනා අතරින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළ අන්තර්ජාතික තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි වැඩිමලා වන අතර ඔහු ශ්‍රී ලංකා ජාතික එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙකු ද වේ.

අනෙකුත් (බාල) සහෝදරයා වන වෙන්ඩල් ලැබ්‍රෝයි සාජා හී පැවති තුන්කොන් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Hong Kong Sixers තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ද වේ.

එමෙන්ම ඔවුන් දෙදෙනාම අන්තර්ජාතික තරග තීරකවරුන් ලෙස ද කටයුතු කිරීම සුවිශේෂී කරුණක් වේ.

ග්‍රැහැම් ලැබ්‍රෝයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක තරගයේ තරග තීරකයා ලෙස කටයුතු කළ අතර ඔහුගේ සොහොයුරු වෙන්ඩල් ලැබ්‍රෝයි නොවැම්බර් මස 27 වැනිදා පැවති Jaffna Stallions සහ Galle Gladiators තරගයේ තරග තීරක ලෙස කටයුතු කරමින් තරගාවලියට එක්විය.

රෝහිත (වම) සහ රවීන්ද්‍ර (දකුණ)

තරගාවලිය සඳහා එක්වන මීළඟ සහෝදර යුගලය ලෙස Kottahachchi සහෝදරයන් හැඳින්විය හැකි අතර ඔවුන් දෙදෙනාම තරග විනිසුරුවරයන් ලෙස කටයුතු කරමින් තරගාවලියට එක්ව ඇත.

ඔවුන් දෙදෙනා අතරින් වැඩිමහල් සොහොයුරා වන Rohitha Kottahachchi හිටපු පළමුපෙළ ක්‍රීඩකයෙකු ද වන අතර 2000 වසරේ සිටම පළමුපෙළ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ Premier Umpiring Panel හී නිත්‍ය විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි.

ඔහුට අමතරව තරගාවලිය සඳහා සහභාගි වන ඔහුගේ බාල සොහොයුරු Ravindra Kottahachchi හිටපු පළමුපෙළ ක්‍රීඩකයෙකු වන අතර 2006 වසරේ සිට දේශීය පිටියේ තරග තීරකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඔහු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ Premier Umpiring Panel හී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි.

LPL තරගාවලියේ දී Ravindra Kottahachchi නොවැම්බර් 28 පැවති Kandy Tuskers සහ Dambulla Viiking තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් තරගාවලිය ආරම්භ කළ අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරු Rohitha Kottahachchi එදිනම පැවති Galle Gladiators සහ Colombo Kings තරගයේ තරග විනිසුරුවරයා ලෙස කටයුතු කරන ලදි.

මොවුන් දෙදෙනාට අමතරව Kottahachchi පවුලේ තවත් සොහොයුරන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් දෙදෙනා ද දේශීය ක්‍රිකට් පිටියේ තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<