හිටපු ජාතික ශූරයා දිවි ගමනින් සමුගනී

187

දිගු කාලයක් මුළුල්ලේ රෝගී තත්වයෙන් පීඩා විදි හිටපු කවපෙත්ත විසිකිරීමේ ජාතික ශූරයෙකු මෙන්ම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු ද වන රංජිත් වීරසේන මහතා ඊයේ (13)අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 79 වැනි වියෙහි පසු වූ එතුමා මෙරට ක්‍රීඩාවට අමිල සේවයක් ඉටු කළ අයෙකු වන අතර මිය යාමට ප්‍රථම වසර දහයක අධික කාලයක් මුළුල්ලේ අංශභාග රෝගී තත්වය සහ තවත් රෝගී තත්වයන් නිසාවෙන් ඔහු ප්‍රතිකාර ලබන්නට විය.

1941 වසරේ දී උපත ලැබූ රංජිත් වීරසේන මහතා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් සිය අධ්‍යාපන ගමන ආරම්භ කළ අතර පාසල් වියේ සිටම ක්‍රීඩාවට ඉහළ දස්කම් දැක්වූ එතුමා කවපත්ත විසි කිරීමේ ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

එම දස්කම් සමඟින් 1959 වසරේ දී කවපෙත්ත විසිකිරීමේ ජාතික ශූරයා බවට පත්වීමට සමත් වූ එතුමා වසර දහයක පමණ කාලයක් මුළුල්ලේ සිය ශූරතාව සාර්ථකව රැකගැනීමට සමත් වූ අතර 1964 සිට 1975 දක්වා වසර 11ක කාලයක් කවපෙත්ත විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කීමට ද එතුමා සමත් විය.

තවත් ක්‍රීඩා පුවත්

සාර්ථක ක්‍රීඩකයෙකු මෙන්ම සාර්ථක පරිපාලකයෙකු ද වූ එතුම වයස අවුරුදු 37 දී Amateur Athletic Association of Sri Lanka හී සභාපතිවරයා ලෙස පත් වෙමින් 1978 වසරේ සිට අවස්ථා කිහිපයක දී එම තනතුර හෙබවූ අතර 1980 වසරේ සිට 1982 දක්වා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස ද එතුමා කටයුතු කළේය.

එයට අමතරව 1998 සිට 2007 දක්වා වසර නවයක කාලයක් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු ද වූ එතුමා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම Sri Lanka Veterans Athletics Association හි ආරම්භ සාමාජිකයෙකු මෙන්ම එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ලදි.

පරිපාලන කටයුතුවලට අමතරව මෙරට දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකටම සිය සහය ලබා දෙමින් නිරන්තරයෙන්ම මෙරට ක්‍රීඩාවට අමිල සේවයක් කළ එතුම 2016 වසරේ පැවති ජනාධිපති සම්මාන උළෙලේ දී “ක්‍රීඩා භූෂණ” සම්මානයෙන් පිදුම් ලබන්නට විය.

මෙරට ක්‍රීඩාවට අමිල සේවයක් ඉටු කළ රංජිත් වීරසේන මහතා අප හදවත් තුළ සදාකාලිකව ජීවමාන වන අතර ThePapare.com අප විසින් ඔහුගේ පවුලේ සැමට සහ ඥාතීන්ට අපගේ සාතීශ්‍ය සංවේගය පල කර සිටින්නෙමු

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<