හිටපු ඕස්ට්‍රේලියානු රග්බි පුරාවෘත්තයක් ලෙස සැලකෙන David Campese ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
1991 රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමේ සටනේ පුරෝගාමියකු වූ Campese, තරගාවලියේ අවසන් මහා තරගයේ දී නවසීලන්තයට එරෙහිව දැක්වූ විශේෂ දස්කම් පිළිබඳ අදටත් බොහෝ රග්බි ලෝලීන් විසින් මතකාවර්ජනය කරනවා.
ඔහු විසින් කොළඹ සහිරා විද්‍යාලයේ ශත සංවත්සරය සැමරීමේ වැඩසටහනකට සහභාගී වීමේ අරමුණින් මෙරටට පැමිණෙන අතර, පසුව ඔහු ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය (SLSRFA) විසින් සංවිධානය කරනු ලබන පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනකට ද සම්බන්ධ වීමට නියමිතයි.
මෙම වැඩසටහන එළඹෙන 31 වැනිදා පෙරවරු 8 සිට මධ්‍යහන 12 දක්වා CR & FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති අතර, එයට මෙවර පාසල් රග්බි වාරය වෙනුවෙන් සම්බන්ධ වීමට නියමිත සියලු ම පාසල්වල පුහුණුකරුවන් බහුතරයකට SLSRFA වෙතින් ආරාධනා කර තිබෙනවා. එමෙන්ම මෙම වැඩසටහන න්‍යායාත්මක මෙන්ම, ප්‍රායෝගික අංග ද ඇතුළත් ව පැවැත්වීමට නියමිත අතර එමගින් එම පුහුණුකරුවන්ට වටිනා දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් සංගමය විසින් විශ්වාස කරනවා.
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
- Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයට සියල්ල සූදානම්
- අවසන් තරගයේ දී නවසීලන්තයට අසාධාරණයක් සිදු වුනා ද?
මෙම සංචාරය සඳහා Campese අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, සහිරා විද්‍යාලයේ දී ඔහු විසින් එහි ශත සංවත්සරය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සත් සාමාජික රග්බි තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම ඔහු එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට නියමිත Nippon Club Rugby League තරගාවලියේ තරග කිහිපයක් නැරඹීමට ද සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<