මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ලෝක මලල ක්රීඩා සංගමය මගින් සංවිධානය කරන ලෝක මලල ක්රීඩා සම්මාන උළෙලේ වසරේ ක්රීඩකයා සහ ක්රීඩිකාව තේරීම සඳහා වූ අවසාන නාමයන් පසුගිය දා ප්රකාශයට පත් කරන ලදි.
මීට පෙර එම සම්මාන සඳහා ලොව පුරා ක්රීඩකයන් සහ ක්රීඩිකාවන් 10 දෙනා බැගින් නම් කර තිබූ අතර පසුව සිදු කළ මනාප විමසීම්වලින් අනතුරුව එම ක්රීඩක ක්රීඩිකාවන් අතරින් ක්රීඩකයින් 5 සහ ක්රීඩිකාවන් 5ක් තෝරාගැනීමට ලෝක මලල ක්රීඩා සංගමය කටයුතු කර ඇත.
වසරේ ක්රීඩකයා සම්මානයට නිර්දේශ වූ අවසන් ක්රීඩකයන්,
Joshua Cheptegei (Uganda)
දිගුදුර ධාවන පිටියේ ඉහළ දස්කම් දක්වන උගන්ඩා ජාතික Joshua Cheptegei මෙම වසරේ දී මීටර් 5000 (මිනිත්තු 12:35.36), මීටර් 10,000 (මිනිත්තු 26:11.00) සහ මාර්ග කිලෝමීටර් 5 (මිනිත්තු 12:51) යන ඉසව්වන්හී ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර ප්රථම වරට අර්ධ මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ලෝක අර්ධ මැරතන් තරගයේ දී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.
Ryan Crouser (USA)
යගුලිය විසිකිරීම ඉසව්වේ ඇමරිකානු ශූර Ryan Crouser මෙම වසර තුළ දී එම ඉසව්වේ මීටර් 22.91ක දස්කමක් පෙන්නුම් කරමින් වසරේ හොඳම දක්ෂතාවය මෙන්ම, මෙතෙක් වාර්තා වූ තෙවැනි හොඳම දුර සම කිරීමට සමත් වූ අතර තරගාවලි 10ක් තුළ දී සිය අපරාජිකත්වය රැකගැනීමට ද ඔහු සමත් විය.
Mondo Duplantis (Sweden)
මෙම වසරේ මලල ක්රීඩා පිටියෙහි වඩාත්ම කතාබහට ලක් වූ ක්රීඩකයා වන ස්වීඩන් ජාතික රිටි පැනීමේ ශූර Mondo Duplantis මෙම වර්ෂය තුළ දී දෙවරක්ම එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙලීමටත් (මීටර් 6.17 සහ මීටර් 6.18), එළිමහන් රිටි පැනීමේ ඉසව්වෙහි මෙතෙක් වාර්තාව වූ හොඳම දක්ෂතාවය (මීටර් 6.15) දැක්වීමටත් සමත් වූ අතර මෙම වසර තුළ දී ඔහු සහභාගි වූ තරගාවලි 16ම ජය ගැනීමටත් ඔහු සමත් විය.
Johannes Vetter (Germany)
ජර්මන් ජාතික හෙල්ල විසිකිරීමේ ශූර Johannes Vetter එම ඉසව්වෙහි මෙම වසර තුළ මීටර් 97.76ක දස්කමක් පෙන්නුම් කරමින් වසරේ හොඳම දුර වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු මෙම වසර තුළ දී සහභාගි වූ තරග නවයෙන් අටක්ම ජය ගැනීමට ද සමත්ව තිබුණි.
Karsten Warholm (Norway)
මෙම වසර තුළ මලල ක්රීඩා පිටියෙහි වඩාත්ම කතාබහට ලක් වූ මලල ක්රීඩක Karsten Warholm මීටර් 300 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 33.78ක කාලයකින් අවසන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මීටර් 400 කඩුලු පැනීමේ තරග නවයකට සහභාගි වී එම සියල්ලම ජය ගැනීමට සමත් වූ ඔහු එම ඉසව්ව තත්පර 46.87ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය මෙන්ම මෙතෙක් වාර්තා වූ දෙවන හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.
තවත් මලල ක්රීඩා පුවත්:
- Paris marathon තරගයට නව දිනයක්
- 1500m ලෝක ශූරයාට ඔලිම්පික් අහිමි වෙයි
- ලෝක ශූරියන් දෙදෙනෙක් නවදිල්ලියේ දී ගැටෙයි
- මෙරට මලල ක්රීඩාවේ දියුණුවට ලෝක සංගමයේ සහය
වසරේ ක්රීඩිකාව සම්මානයට නිර්දේශ වූ අවසන් ක්රීඩිකාවන්,
Letesenbet Gidey (Ethiopia)
දිගුදුර පිටියේ දස්කම් දක්වන ඉතියෝපියානු ක්රීඩිකා Letesenbet Gidey මීටර් 5000 ඉසව්ව මිනිත්තු 14:06.62ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර මෙම වසරේ පැවති Monaco Diamond League තරගාවලියේ මීටර් 5000 රිදී පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් විය.
Sifan Hassan (Netherland)
නෙදර්ලන්තය නියෝජනය කරමින් දිගු දුර ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ Sifan Hassan මෙම වසරේ පැවති පැයක් දිවීමේ තරගයක දී (one hour run) මීටර් 18,930ක දුරක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 29:36.67ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ යුරෝපා වාර්තාව මෙන්ම මෙතෙක් වාර්තා වූ සිව්වැනි හොඳම කාලය වාර්තා කිරීමට ද ඇයට හැකි විය.
Peres Jepchirchir (Kenya)
මෙම වසරේ පැවති ලෝක අර්ධ මැරතන් තරගාවලියේ කාන්තා තරගය ලෝක වාර්තාවක් පිහිටුවමින් ජය ගැනීමට කෙන්යානු ක්රීඩිකා Peres Jepchirchir සමත් වූ අතර එම වාර්තාව ද ඇතුළුව මෙම වසර තුළ දී දෙවතාවක් කාන්තා කාණ්ඩයට පමණක් විවෘත වූ අර්ධ මැරතන් ලෝක වාර්තාව (පැය 1:05.34 සහ 1:05.16) දෙවතාවක්ම බිඳ හෙළීමට සමත් විය.
Yulimar Rojas (Venezuela)
තුන් පිම්ම ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Yulimar Rojas මෙම වසර තුළ දී ගෘහස්ථ සහ එළිමහන් ක්රීඩා පිටියේ සහභාගි වූ තරග හතරක දී සිය කිරුළ රැකගැනීමට සමත් වූ අතර එම ඉසව්වෙහි මීටර් 15.43ක දස්කමක් දක්වමින් ලෝක වාර්තාව බිඳ හෙලීමට ද සමත් විය.
Elaine Thompson-Herah (Jamaica)
කෙටිදුර ධාවන පිටියේ නිරන්තරයෙන් කතාබහට ලක්වන ඔලිම්පික් ශූරී Elaine Thompson-Herah මෙම වසර තුළ සහභාගි වූ මීටර් 100 තරග 7ම ජය ගැනීමට සමත් වූ අතර එම ඉසව්ව තත්පර 10.85ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය සටහන් කිරීමට ද සමත් විය.
ඒ අනුව අවසන් නාමයන් අතරට නිර්දේශ වූ ක්රීඩක ක්රීඩිකාවන් අතුරින් තේරී පත්වන ක්රීඩකයා සහ ක්රීඩිකාව දෙසැම්බර් මස 05 වැනිදා පැවැත්වෙන ලෝක මලල ක්රීඩා සම්මාන උළෙලේ දී වසරේ ක්රීඩකයා සහ ක්රීඩිකාව ලෙස සම්මානයට පාත්ර වනු ඇත.
>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<