2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාණ්ඩ අදියරේ (Group Stage) අවසාන තරග ඊයේ (25) ආරම්භ වූ අතර ඒ අනුව ඉදිරි දින කිහිපය තුල කණ්ඩායම් සියල්ලම සිය අවසාන තරගය ක්‍රීඩා කරනු ඇත.
ඊයේ දිනයේ මුල් තරග දෙකේ දී සත්කාරක රුසියාව ගෝල 3-0ක් ලෙස පරාජය කරන්නට උරුගුවේ සමත්වූ අතර ගෝල 2-1ක් ලෙස ඊජිප්තුව පරාජය කරමින් සිය ගෞරවය රැක ගන්නට සවුදි අරාබිය සමත් විය. දෙවන තරග දෙකේ දී මොරොක්කෝව ස්පාඤ්ඤය හමුවේ ගෝල 2-2ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව තරගය අවසන් කර ගත් අතර ඉරානය පෘතුගාල ගැටුම ගෝල 1-1ක් ලෙස අවසන් වූයේ ඉරාන ලෝක කුසලාන සිහිනය බොඳ කරමිනි.
පෝලන්තයේ ලෝක කුසලාන සිහින බොඳ වේ; හැරී කේන්ගෙන් ගෝල ත්‍රිත්වයක්
FIFA ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (24) පැවති පළමු තරගයේ දී ප්‍රබල එංගලන්තය…
අදින් ඇරඹෙන කාණ්ඩ අදියරේ අවසාන තරගවල විශේෂත්වයක් නම් එකම කාණ්ඩයේ කණ්ඩායම් හතරම එකම වෙලාවක තරග බිමට පිවිසීමයි. ඒ අනුව ගෝල පරතරයෙන් 16 දෙනාගේ වටයට පිවිසීමට සිටින කණ්ඩායම්වලට සිය අවසාන තරගයේ දී උපරිම ලෙස මහන්සි වීමට සිදු වනු ඇත.
මොරොක්කෝව හා ඉරානය ගෞරවය දිනා ගනී
ඊයේ දිනයේ දෙවන තරග දෙක ලෙස B කාණ්ඩයේ කණ්ඩායම් හතර තරගයට පිවිසුණු අතර ස්පාඤ්ඤය හා මොරොක්කෝව Kaliningrad හි Kaliningrad ක්‍රීඩාංගණයේ දීත්, පෘතුගාලය හා ඉරානය Saransk හි Mordovia Arena දීත් එකම වේලාවේ තරග වැදුණි.
ඉතා උණුසුම් සුපිරි තරග දෙකකට පසුව ඉරාන ක්‍රීඩකයින් හඬවමින් පෘතුගාල-ඉරාන සුපිරි ගැටුම ගෝල 1-1ක් ලෙස අවසන් වූ අතර මොරොක්කෝවෙන් එල්ල වූ නොසිතූ ප්‍රහාරයෙන් ඉතා අපහසුවෙන් ගෝල 2-2ක් ලෙස නවතා ගන්නට ස්පාඤ්ඤයට හැකි විය. ඒ අනුව ස්පාඤ්ඤය හා පෘතුගාලය 16 දෙනාගේ වටයට B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
දිනයේ සිදුවීම් තවත් රසවත් කරමින් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර ක්‍රීඩාංගණ දෙකේම එකවර ක්‍රියාත්මක වූ ‘VAR’ අවස්ථා දෙකකින් ඉරානයට දඬුවම් පහරක් හිමි වීමත්, ස්පාඤ්ඤයට ගෝලයක් හිමි වීමත් විශේෂ සිදුවීමක් විය.
මොරොක්කෝව සිය පළමු තරග දෙකම පරාජය වූ නිසා මේ තරගය වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව සිටි අතර ස්පාඤ්ඤය හා පෘතුගාලය එක තරගයක් ජයගෙන හා එක තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන සිටියේය. අනෙක් අතට ඉරානය එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටි අතර එම නිසා කාණ්ඩ අදියරේ සිය අවසාන තරගයෙන් ස්පාඤ්ඤය පෘතුගාලය හා ඉරානය යන රටවල් තුනටම අවසන් 16ට පිවිසීමේ අවස්ථාවක් පැවැතුණි. ඉරානයට මේ තරගයේ ජය අත්‍යාවශ්‍ය විය.
තරග දෙකම ඉතාම උණුසුම් වූ අතර විනිසුරු හා ක්‍රීඩකයින්, විනිසුරු හා පුහුණුකරුවන්, ක්‍රීඩකයින් හා ක්‍රීඩකයින් අතර ඇතිවූ වචන හුවමාරු වීම් රැසක් මධ්‍යයේ ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට නොසිතූ විරු ලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට ලෝක කුසලානයෙන් පිටව යන මොරොක්කෝව සමත් වූ අතර පෘතුගාලයට සුපිරි සටනක් දුන් ඉරානයට ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා ලෝක කුසලානයෙන් ඉවත්වීමට ද සිදු විය.
ඉරාන සිහින අවාසනාවන්ත ලෙස බොඳවී යයි
ඉරාන පෘතුගාල තරගය ඉතා උණුසුම් තරගයක් වූයේ ඉරානයට ජයග්‍රහණය අවශ්‍යම වී තිබුණු නිසයි. කෙසේ වෙතත් පළමු අර්ධය පුරාම පෘතුගාල ක්‍රීඩකයින් ඉරාන ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළේ ඔවුන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදෙමිනි.
තරගය පුරා Foul අවස්ථා 26ක් හා කහ කාඩ්පත් පහක් වාර්තා වූයේ තරගයේ උණුසුම මොනවට කියා පාමිනි.
පළමු අර්ධය පුරා පෘතුගාල ක්‍රීඩකයින්ට ඉතා ආසන්න අවස්ථා රාශියක් හිමි වූ නමුත් ඉරාන ක්‍රීඩකයින් ඉන් කිසිවක් ඔවුන්ට සාර්ථක කර ගැනීමට ඉඩක් ලබා දුන්නේ නැත.
කෙසේ වෙතත් පළමු අර්ධය අවසාන වීමට මොහොතක් තිබිය දී QUARESMA පෘතුගාලය පෙරමුණේ තැබුවේ අලංකාර ගෝලයක් වාර්තා කරමිනි. දඬුවම් පහර චතුරශ්‍රය පිටත සිට ඔහු එල්ල කළ ප්‍රහාරයෙන් පන්දුව කවාකාරව ගෝල රාමුවේ ඉහළින් දැල තුලට ගියේ පළමු පෘතුගාල ගෝලය ලෙසය. ඉරාන ගෝල රකින ක්‍රීඩක Ali Beiranvand හට කළ හැකි කිසිවක් තිබුණේ නැත.
පළමු අර්ධය පෘතුගාලය 1-0 ඉරානය
දෙවන අර්ධය ඉතාමත්ම උණුසුම් වූ අතර විනිසුරුටත් තරගය විනිශ්චය කිරීම ඉතා අපහසු විය. තෙවරක් VAR තාක්ෂණය යොදා ගත්තේ තරගය එතරම්ම උණුසුම් වූ නිසාවෙනි.
50 වන මිනිත්තුවේ රොනාල්ඩෝ හට S EZATOLAHI විසින් අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ බව පවසමින් විනිසුරු පෘතුගාලයට දඬුවම් පහරක් නියම කළ අතර තරගයේ පළමු වරට ‘VAR’ තාක්ෂණය යොදා ගනිමින් එම තීරණය විනිසුරු තහවුරු කළේ ඉරාන ක්‍රීඩකයින් එම තීරණයට දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමඟ ය.
53 වන මිනිත්තුවේ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ එම දඬුවම් පහර ලබා ගත් අතර නොසිතූ විරු ලෙස රොනාල්ඩෝ මෙසිගේ අඩිපාරේම යවමින් Ali Beiranvand අලංකාර ලෙස එම උත්සාහය ව්‍යර්ථ කිරීමට සමත් විය.
83 වන මිනිත්තුවේ දී නැවතත් ‘VAR’ තාක්ෂණය යොදා ගත් විනිසුරු සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට රතු කාඩ්පතක් ලබා දීමේ තීරණය නැවත විමසූ අතර කෙසේ වුවත් කහ කාඩ්පතකින් රොනාල්ඩෝ හට අවවාද කිරීමට විනිසුරු තීරණය කළේ ඔහුට මීළඟ තරගය අහිමි නොකරමින්ය.
අනතුරුව තරගය කණපිට හරවමින් 90+1 මිනිත්තුවේ දී පෘතුගාල ක්‍රීඩකයෙකු පන්දුව අතින් ස්පර්ශ කළා යැයි ඉරාන ක්‍රීඩකයින් ප්‍රබල ඉල්ලීමක් කළ අතර තෙවැනි වරටත් ‘VAR’ තාක්ෂණය භාවිතා කරමින් විනිසුරු ඉරානයට දඬුවම් පහරක් නියම කළේය.
KARIM 90+3 මිනිත්තුවේ දී එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ ඉරානයේ බලාපොරොත්තු තවත් මිනිත්තු කිහිපයකට දිගු කරමිනි.
අනතුරුව ගත වූ මිනිත්තු කිහිපයේ ඉරාන ක්‍රීඩකයින් ප්‍රබල සටනක් දුන් අතර ඉතාම අවාසනාවන්ත ලෙස Mehdi Taremiගේ උත්සාහය ගෝල රාමුවේ ගෑවී නොගෑවී 90+5 මිනිත්තුවේ දී ඉවත ගියේ ඉරානයේ අවසාන16යේ බලාපොරොත්තු සුන් කරමිනි.
අවසාන ලකුණු තත්වය: පෘතුගාලය 1-1 ඉරානය
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- පෘතුගාලය – QUARESMA 45’
- ඉරානය – KARIM 90+3 ‘
අධිෂ්ඨානශීලී මොරොක්කෝවෙන් සමුගැනීමේ ප්‍රහාරයක්
මොරොක්කෝව සිය පළමු තරග දෙකම පරාජය වූ නිසා මේ තරගයට පෙරම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව තිබූ නමුත් ස්පාඤ්ඤ කණ්ඩායමට නොසිතූ අභියෝගයක් එල්ල කරන්නට මොරොක්කෝව සමත් විය. තරගය අවසානයේ ජයග්‍රහණය දිනාගත නොහැකි වුවත් ඔවුන් තරගයේ ගෞරවය දිනා ගත්තේය.
මේ තරගය ද ඉතාම උණුසුම් වූ අතර Foul අවස්ථා 22ක් හා කහ කාඩ්පතක් 6ක් මේ තරගයේ දී වාර්තා විය.
14 වන මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකුගෙන් එක්වරම පන්දුව උදුරා ගත් Khalid Boutaib පන්දුවත් සමඟ විශිෂ්ට ධාවනයක නිරත වුන අතර David de Gea පසු කරමින් Boutaib අලංකාර ලෙස පළමු මොරොක්කෝ ගෝලය වාර්තා කළේ ස්පාඤ්ඤ ක්‍රීඩාලෝලීන් අන්දමන්ද කරමිනි.
කල් යල් නොයවාම මොරොක්කෝ ප්‍රේක්ෂකයින් නිහඬ කළ Isco 19 වන මිනිත්තුවේ දී අලංකාර ලෙස Iniestaගේ පන්දු යොමු කිරීමක් දැල වෙත යොමු කළේ තරගයේ ගෝල සමකරමිනි.
පළමු අර්ධය: ස්පාඤ්ඤය 01 – 01 මොරොක්කෝව
දෙවන අර්ධයත් පළමු අර්ධය මෙන්ම ඉතා උණුසුම් වූ අතර මොරොක්කෝ ක්‍රීඩකයින් දෙවන අර්ධය පුරා සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූයේ ඔවුන්ගේ ගෞරවය නිසාය.
55 වන මිනිත්තුවේ N AMRABAT එල්ල කළ ප්‍රහාරයක් De Gea පසු කර ගිය නමුත් ගෝල රාමුවේ ඉහළ වැදී ඉවත ගියේ මොරොක්කෝවට ඉතා ආසන්න අවස්ථාවක් අහිමි කරමිනි.
81 වන මිනිත්තුවේ දී සිය සගයා ඉහළින් යොමු කළ පන්දුව Pique, Ramos ප්‍රමුඛ ප්‍රබල ස්පාඤ්ඤ ආරක්ෂක ක්‍රීඩකයින් මැඩලමින් ඉහළ ගිය EN-NESYRI අලංකාර ලෙස දැල තුලට යොමු කළේ මොරොක්කෝ ඉතිහාසයේ අමතක නොවන ගෝලයක් වාර්තා කරමිනි.
අනතුරුව 90 වන මිනිත්තුව තෙක් මොරොක්කෝ ක්‍රීඩකයින් තරගයේ ජය වාර්තා කර ගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වූ අතර IAGO ASPAS 90+1 මිනිත්තුවේ මොරොක්කෝ බලාපොරොත්තු සුනුවිසුනු කළේ නොසිතූ ලෙසයි.
IAGO ASPAS විසින් දක්ෂ ලෙස පන්දුව ගෝල රකින්නා මග හරිමින් දැල තුලට යොමු කළ අතර පැති විනිසුරු විසින් එම ගෝලය offside අවස්ථාවක් බව පවසමින් නිශ්ප්‍රභ කළේ ස්පාඤ්ඤ සැමරීම් සුළු මොහොතකට සීමා කරමිනි.
අනතුරුව ‘VAR’ තාක්ෂණය යොදා ගෙන විනිසුරු යළිත් එම ගෝලය ලබා දුන්නේ ස්පාඤ්ඤ ප්‍රේක්ෂකයින්ට සැනසුම් සුසුමක් වෙමිනි.
අවසන් ලකුණු තත්වය: ස්පාඤ්ඤය 02 – 02 මොරොක්කෝව
ගෝල ලබාගත් ක්‍රීඩකයෝ
- ස්පාඤ්ඤය – ISCO 19’ , IAGO ASPAS 90+1’
- මොරොක්කෝව – BOUTAIB 14′, EN-NESYRI 81’
උරුගුවේ හමුවේ රුසියාව දණ ගසයි; සවුදිය ගෞරවය බේරා ගනී
ඊයේ දිනයේ පළමු තරග දෙකේ දී A කාණ්ඩයේ කණ්ඩායම් හතරම එකම වේලාවේ දී තරග බිමට පිවිසුණු අතර මේ වන විටත් 16 දෙනාගේ වටයට පිවිසි ඇති උරුගුවේ හා සත්කාරක රුසියාව Samara හි Samara ක්‍රීඩාංගණයේ දීත්, එකදු තරගයක් හෝ ජය ගෙන සිය ගෞරවය රැක ගැනීමේ අරමුණින් ඊජිප්තුව හා සවුදි අරාබිය Volgograd හි Volgograd ක්‍රීඩාංගණයේ දීත් තරග වැදුණි.
සත්කාරකයින්ගේ අපරාජිත වාර්තාව බිඳ හෙලමින් උරුගුවේ ජය ගනී
ප්‍රබල උරුගුවේ කණ්ඩායම හමුවේ ගෝල 2-0ක් දරුණු පරාජයක් අත් විඳීමට පෙරළිකාරී රුසියාවට සිදු විය.
පළමු මිනිත්තුවේ සිට උරුගුවේ ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර 10 වන මිනිත්තුවේ දී තරගයේ පළමු වෙඩිමුරය තබන්නට ප්‍රබල උරුගුවේ ක්‍රීඩක L SUAREZ සමත් විය.
මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කළ රුසියාවේ Iury Gazinksy දඬුවම් පහර චතුරශ්‍රයට මදක් පිටතින් කළ වරදක් නිසා උරුගුවේ දේශයට නිදහස් පහරක් හිමි වූ අතර L SUAREZ බිම දිගේ ඇදී ගිය කවාකාර ප්‍රහාරයකින් අලංකාර ගෝලයක් රැස්කර ගැනීමට සමත් විය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වරට ප්‍රබල පීඩනයකට ලක්වූ රුසියානු ක්‍රීඩකයෝ සිය පළමු ආක්‍රමණය දියත් කරමින් Dzyuba වෙත අලංකාර පන්දු යොමු කිරීමක් සිදු කළ ද, ඔහුගේ හිසෙන් පන්දු යොමු කිරීම අපතේ ගියේ අවාසනාවන්ත ලෙස පන්දුව ගෝල රාමුවට ඉහළින් ඉවත යෑම නිසයි.
මෙවර ලෝක කුසලානයේ ඉහළම දස්කම් දැක්වූ රුසියානු ක්‍රීඩකයා වූ Denis Cheryshevගේ අත්වැරදීමකින් උරුගුවේ හට සිය දෙවන ගෝලයත් හිමි වුණේ රුසියානු ක්‍රීඩකයින්ගේ ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම බිඳ වට්ටමිනි.
Diego Laxalt දැල වෙත යොමු කළ ප්‍රහාරයක් වෙනතක ගිය නමුත් Denis Cheryshevගේ පාදය පන්දුවේ ගැටීමත් සමඟ උරුගුවේ කණ්ඩායමට වාසනාව ගෙන එමින් පන්දුව දැල තුලට ගියේ දෙවන උරුගුවේ ගෝලය ලෙසය.
36 වන මිනිත්තුවේ දී සිය දෙවන කහ කාඩ්පත ලැබීමත් සමග රතු කාඩ්පතක් ලබා දී රුසියානු ක්‍රීඩක SMOLNIKOV පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේ රුසියාව කබලෙන් ලිපට ඇද දමමිනි.
පළමු අර්ධය: උරුගුවේ 02 – 00 රුසියාව
එක් ක්‍රීඩකයෙකු අහිමි වූ නමුත් පළමු අර්ධයට වඩා හොඳින් රුසියානු ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ ආරක්ෂක කෘත්‍ය ඉටු කළ අතර ඔවුන් උරුගුවේ ක්‍රීඩකයින්ට 90 වැනි මිනිත්තුව තෙක් නැවතත් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.
දෙවන අර්ධය ආරම්භයේ උරුගුවේ කණ්ඩායමට තවත් නිදහස් පහරක් හිමි වූ නමුත් කවානි හට මෙවර නම් රුසියානු ආරක්ෂක බිත්තියෙන් එපිටට පන්දුව යොමු කිරීමට හැකි වූයේ නැත.
පළමු අවස්ථාව මග හැරුණත් ගෝල රකින්නාගේ වැදී ආපසු පැමිණි පන්දුව කවානි නිසි පරිදි ගෝල රාමුව තුලට ස්ථානගත කරමින් 90 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කළේ සත්කාරකයින්ට දරුණු පරාජයක් අත්කර දෙමිනි.
අවසාන ලකුණු තත්වය: උරුගුවේ 03 – 00 රුසියාව
- උරුගුවේ – L SUAREZ 10’, කවානි 90’, Cheryshev 23 (OG)
ඊජිප්තු කණ්ඩායමේ අවසාන ජයග්‍රාහි සිහිනයත් සවුදි අරාබිය උදුරා ගනී
දිනයේ පළමු තරග දෙකෙන් අනෙක් තරගයේ දී සවුදි අරාබිය, ඊජිප්තුව පරාජය කරමින් අවසාන මිනිත්තුවේ ජයක් ලබා ගත්තේ සිය ගෞරවය ආරක්ෂා කර ගනිමිනි. ඊජිප්තුව මෙවර ලෝක කුසලානයේ සහභාගී වූ තරග තුනම පරාජය වූ අතර මේ තරගයේ ප්‍රතිඵලය එතරම් වැදගත් නොවූයේ මේ තරගයට පෙරම උරුගුවේ හා රුසියාව 16 දෙනාගේ වරම් දිනා සිටි නිසාය.
ගෞරවය රැක ගැනීමේ සටනේ පළමු ගෝලය වාර්තා කරන්නට ඊජිප්තුවේ සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලාහ් සමත් වූයේ ඊජිප්තු ප්‍රේක්ෂකයින්ට සැනසුම් සුසුමක් එක් කරමිනි.
22 වන මිනිත්තුවේ දී අලංකාර පන්දු පාලනයකින් පන්දුව ලබා ගත් Mohamed Salah සවුදි ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් මැදින් අලංකාර ලෙස ගෝල රාමුව ඉහළ කොනින් පන්දුව දැල වෙතට යොමු කළේ මෙවර ලෝක කුසලානයේ සිය දෙවන ගෝලය වාර්තා කරමින්.
අනතුරුව 41 වන මිනිත්තුවේ දී Ahmed Fathi පන්දුව අතින් ස්පර්ශ කිරීම නිසා සවුදි ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ නමුත් FAHADගේ ප්‍රවර්තනය Elhadary විසින් විශිෂ්ට ලෙස වැළැක්වූයේ සවුදි ක්‍රීඩකයින්ට ප්‍රබල අලාබයක් සිදු කරමින්ය.
පළමු අර්ධය අවසානයේ 40+6 වන මිනිත්තුවේ දී වාසනාවන්ත සවුදි අරාබියට තවත් වාසනාවන්ත දඬුවම් පහරක් හිමි වූ අතර මෙවර නම් SALMAN ඉලක්කය වරද්දා ගත්තේ නැත.
පළමු අර්ධය: සවුදි අරාබිය 01 – 01 ඊජිප්තුව
දෙවන අර්ධය පුරා කණ්ඩායම් දෙකම ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් කණ්ඩායම් දෙකටම ගෝලයක් වාර්තා කර ගැනීමට ආසන්න අවස්ථාවක් හිමි වූයේ නැත.
වාසනාවන්ත ලෙස 90+5 මිනිත්තුවේ දී ලද අවස්ථාවක් සවුදි ක්‍රීඩක SALEM ඉතා පරිස්සමෙන් ක්ෂණිකව දැල තුලට යොමු කළේ මෙවර ලෝක කුසලානයෙන් ඉවත්ව නැවත නිවස කරා යන ගමනට ජයග්‍රාහි මතකයක් එකතු කරගනිමිනි.
අවසාන ලකුණු තත්වය: සවුදි අරාබිය 02 – 01 ඊජිප්තුව
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- සවුදි අරාබිය – SALEM 90+5’, SALMAN 40+6
- ඊජිප්තුව – සලාහ් 22’
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<
(Photo source-FIFA.com)