2018 සහ 2022 යන වසර වලදී පාපන්දු ලෝක කුසලාන වල සත්කාරකත්වය හිමිකර ගැනීම සඳහා පිළිවෙලින් රුසියාව සහ කටාර් රාජ්‍යය අල්ලස් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ බව පසුගියදා හෙළිවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර රජයේ නීතීඥවරුන් විසින් ගෙන එනු ලැබූ අධිචෝදනා පත්‍රයක් හරහා යි. ලෝක පාපන්දු ක්‍රීඩාවේ පාලක අධිකාරිය වන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) දූෂණ වංචා පිළිබඳව සොයා බැලීම සඳහා දීර්ඝ කාලයක් පුරාවට සිදුකර ගෙන යනු ලබන පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ගෙන එනු ලැබූ අදාළ අධිචෝදනා පත්‍රයට අනුව පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් හටම ඔවුන්ගේ ඡන්දය සඳහා අල්ලස් ලබා දී ඇති අතර ඔවුන් ඒවා ලබා ගැනීමට ද කටයුතු කර ඇත.
ඒ අනුව එළඹෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමේ අයිතිය කටාර් රාජ්‍යය ලබා ගැනීමට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීම උදෙසා බ්‍රසීල පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති Ricardo Teixeira, දකුණු ඇමෙරිකානු පාපන්දු සම්මේලනයේ (CONMEBOL) සභාපති ජීවිතක්ෂයට පත් Nicolas Leoz සහ තවත් මෙම කුමන්ත්‍රණයට දායක වූ නිලධාරියෙක් සඳහා අල්ලස් මුදල් ලබා දී ඔවුන් ඒවා ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. තවද 2018 වසරේ දී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්ව අයිතිය වෙනුවෙන් රුසියාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හිටපු උප සභාපති සහ උතුරු සහ මධ්‍යම ඇමෙරිකානු සහ කැරිබියන් පාපන්දු සම්මේලනයේ (CONCACAF) හිටපු සභාපති වරයෙකු වන Jack Werner ඩොලර් මිලියන 5ක මුදලක් අල්ලස් ලෙස පිළිගෙන ඇති බවටත් චෝදනා එල්ල වී ඇත.
තවද Gautemala රාජ්‍යයේ පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානී Rafael Salguero විසින් 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාව ලබා ගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අල්ලස් ලබා ගත් බව මේ වන විට පිළිගෙන ඇති අතර එහිදී ඔහු සඳහා පොරොන්දු වී ඇති අල්ලස් මුදල ඩොලර් මිලියනයකි.
කෙසේ නමුත් රුසියාවේ මෙන්ම කටාර් රාජ්‍යයේ ද අදාළ බලධාරීන් සත්කාරකත්ව අයිතිය ලබා ගැනීම සඳහා නීතිවිරෝධී උපක්‍රම භාවිතා කළ බවට එල්ල වන මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියි. ජාත්‍යන්තර සම්මේලනය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ අදාළ පරීක්ෂණ වලට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම චෝදනා ලැබූ අදාළ නිලධාරීන් සියලු දෙනාගේ මේ වන විටත් වැඩ තහනම් කර ඇති බවත් ය.
“FIFA ආචාර ධර්ම කමිටුව විසින් මේ වන විටත් අදාළ ක්‍රියාවලියේ සඳහන් වෙලා ඉන්න නිලධාරීන් සඳහා ජීවිතාන්තය දක්වා තහනම් කිරීම් ඇතුළුව සීමා පනවලා තියෙන්නේ. FIFA අපේ මතය තමයි පාපන්දු නිලධාරීන් විසින් ඒ අපරාධ සිදුකරලා තියෙන බව ඔප්පු වුනොත්, ඒ පුද්ගලයින්ට ඒ අපරාධ වලට අදාළ දඬුවම් ලබා දිය යුතු බව. එම අපරාද නඩු තවමත් විභාග කරමින් තිබෙන නිසා අපිට මේ අවස්ථාවේ දී ඒ පිළිබඳව තවදුරටත් යමක් කියන්න හැකියාවක් නැහැ.”
ඊට අමතරව 21st Century Fox ආයතනයේ හිටපු විධායක නිලධාරීන් දෙදෙනෙකු වන Hernan Lopez සහ Carlos Martinez හට ඇමෙරිකා එක්සත් ජනපදයේ යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනා එල්ල වී ඇත්තේ 2018 සහ 2022 ලෝක කුසලාන තරගාවලිවල එරට විකාශන අයිතීන් විකිණීමට අදාළව ලංසු තැබීමේ දී ඊට අදාළ රහසිගත තොරතුරු ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දීමේ සිදුවීමක් පාදක කර ගෙනයි.
21st Century Fox සමාගම විසින් 1994 වසරේ සිට 2014 වසර දක්වාම ලෝක කුසලාන විකාශන අයිතීන් ඉසිලූ ESPN සමාගම පරදා 2018 සහ 2022 ලෝක කුසලාන තරගාවලි සඳහා විකාශන අයිතීන් දිනා ගන්නට 2011 වසරේ දී සමත් වී ඇත. අනතුරුව 2022 වසරේ තරගාවලිය ශ්රීෂ්ම සෘතුවේ සිට ශීත සෘතුව දක්වා මාරු කිරීමට තීරණය කිරීමත් සමඟ 2026 ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ සහ කැනඩාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ විකාශන අයිතීන් ලංසු දැමීමේ ක්‍රියාවලියකින් තොරවම Fox සමාගමට ලබා දෙන්නට කටයුතු කෙරිනි.
පසුගිය සඳුදා (06) එරට Brooklyn දිස්ත්‍රික් අධිකරණයේ දී අනාවරණය කෙරුනු මෙම අධිචෝදනා හරහා ඔවුන්ට වැඩිදුරටත් චෝදනා එල්ල වී තිබුනේ දකුණු ඇමෙරිකාවේ පවත්වනු ලබන ප්‍රමුඛතම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය වන Copa Libertadores හි විකාශන අයිතීන් ලබා ගැනීම සඳහා උරුගුවේ රාජ්‍යයේ ක්‍රීඩා අලෙවිකරණ සමාගමක් වන Full Play සමඟ එක්ව ඩොලර් මිලියන ගණනක මුදලක් අල්ලස් ලෙස CONMEBOL නිලධාරීන් වෙත ලබා දුන් බවට යි. තවද මෙහිදී Full Play Group SA සමාගමටත් චෝදනා එල්ල වී ඇති අතර එම පාර්ශව සමඟ එක්ව 2018 සහ 2022 පාපන්දු කුසලාන වල තේරීමේ තරග වලට අදාළව CONCACAF හිටපු සභාපති Jeffrey Webb හට අල්ලස් ලබා දීමේ සිදුවීමක් පදනම් කරගෙන Imagina Media Audiovisual ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂක Gerard Romyට ද මෙහිදී චෝදනා එල්ල වී ඇත.
අධිචෝදනා පත්‍රයට අනුව එම චෝදනාවන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හරහා මුදල් වංචා කිරීම (wire fraud) සහ මුදල් විශුද්ධිකරණය (money laundering) යන චෝදනා යටතේ ගොනුකර ඇත. Romyට සහ Full Play සමාගමට එල්ල වී ඇති චෝදනා ගොනුකර ඇත්තේ නීතිවිරෝධී ලෙස ව්‍යාපාර ගනුදෙනු කිරීමට කුමන්ත්‍රණය කිරීම (racketeering conspiracy) යටතේ ය.
තවත් කියවන්න:
- Ronaldinho නිවාස අඩස්සියට
- Son හමුදා සේවයට
- Ronaldoව පෙන්නන්න බැරි ක්‍රීඩකයන් පස්දෙනෙක්
- ප්‍රංශ වෛද්‍යවරුන්ගේ ජාතිවාදී ප්‍රකාශ වලට පාපන්දු තරුවලින් ප්‍රතිචාර
මේ පිළිබඳව අදහස් දක්වමින් Federal Bureau of Investigation (FBI) හි නිව්යෝර්ක් නුවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක William Sweeney Jr. ප්‍රකාශ කර සිටියේ;
“ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ මේ වගේ දූෂණ සහ අල්ලස් කටයුතු කරගෙන යාම දශක ගාණක් තිස්සේ සිදුවේ ගෙන යන සාමාන්‍ය දෙයක්. ඒ අනුව මේ චෝදනා ලැබූ අය සහ අදාළ කුමන්ත්‍රණ කරුවන් වසර ගණනාවක් තිස්සේ අල්ලස් ලබා දෙමින් සහ අයුතු ලාභයන් ලබා ගනිමින් අපරාධ සහගත වංචා වල නිරත වෙලා පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනය සහ ඒ ව්‍යාපාරය දූෂිත කරලා පාපන්දු ක්‍රීඩාවට ලොකු හානියක් සිදුකරලා තියෙනවා. මේ සඳහා ඔවුන් විවිධ ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලැබූ අල්ලස් ලබා දීම් නීත්‍යානුකූලව සිදුවුන බවට පෙන්නලා තියෙනවා.”
කෙසේ නමුත් චෝදනා ලැබූවන් සියලු දෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, ඒවා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් ප්‍රකාශ කරනු ලැබූහ.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<