Vantage FFSL President’s Cup 2020 තරගාවලිය යටතේ අද (27) පැවති අවසන් පූර්ව තරගවල දී Java Lane සහ Red Stars කණ්ඩායම් හමුවේ දඬුවම් පහර වට වලදී පිළිවෙළින් ජයග්රහණ වාර්තා කළ Blue Eagles සහ Colombo කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.
Java Lane ක්රීඩා සමාජය – Blue Eagles ක්රීඩා සමාජය
නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරගනිමින් සම තත්වයේ පසුවීමත් සමඟ දඬුවම් පහර වටයේ දී දඬුවම් පහර 3-4ක් ලෙස තරගයේ ජයග්රහණය තහවුරු කර ගත් Blue Eagles තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.
Java Lane ක්රීඩා සමාජය සහ Defenders ක්රීඩා සමාජය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට අසමත් වීමත් සමඟ අනතුරුව පැවති දඬුවම් පහර වටය ගෝල 4-1ක් ලෙස ජයග්රහණය කළ Java Lane ක්රීඩකයින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.
අනෙක් පසින් Blue Eagles ක්රීඩා සමාජය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගය New Star කණ්ඩායම ගෝල 1-2ක් ලෙස ජයග්රහණය කරනු ලැබුවත් එහි දී ඔවුන් වයස අවුරුදු 19ට වැඩි ක්රීඩකයෙකු 19ට අඩු ක්රීඩකයෙකු ලෙස ලියාපදිංචි කර ක්රීඩා කරමින් තරගාවලියේ නීති රීති උල්ලංඝණය කිරීමකට අදාළව Blue Eagles කණ්ඩායම ගොනුකළ පැමිණිල්ලකට අනුව එම චෝදනාව තහවුරු වීමත් සමඟ එම තරගයේ ජයග්රහණය Blue Eagles ක්රීඩකයින් හට පිරිනමෙන්නට විය.
මෙම අවසන් පූර්ව තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් Blue Eagles ක්රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු 12ක කාලය තුළ ගෝල දෙකක් වාර්තා කරගනු ලැබුවේ ප්රතිවාදීන්ට ප්රබල පීඩනයක් එල්ල කරමිනි. එහි දී පිළිවෙළින් එම ගෝල වාර්තා කරගනු ලැබුවේ නෙත්ම මල්ෂාන් සහ කවිඳු ඉෂාන් විසිනි.
තරගයේ පළමු අර්ධය තුළ වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට කණ්ඩායම් දෙකම අසමත් වුවත් දෙවන අර්ධය ආරම්භයේ තරගයට අවතීර්ණ වූ Java Lane ක්රීඩකයින් තරගයේ ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ මාලක පෙරේරා විසිනි.
අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක් ම ලැබුනත්, ඔවුන් ඒවා සාර්ථක කරගන්නට අසමත් වූ පසුබිමක් තුළ Blue Eagles ජයග්රහණය පෙනෙන මානයේ තිබිය දී 87 වැනි මිනිත්තුවේ දී ක්රියාත්මක වූ ජූඩ් නවීන් විසින් Java Lane වෙනුවෙන් ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ලකුණු තත්වය සම කරමින් තරගයේ අවසන් තීරණය දඬුවම් පහර වටයක් කරා රැගෙන යමිනි.
සම්පූර්ණ කාලය: Java Lane ක්රීඩා සමාජය 2 – 2 Blue Eagles ක්රීඩා සමාජය
Java Lane වෙනුවෙන් 3 වැනි හා 5 වැනි දඬුවම් පහරවල් පිළිවෙළින් ලබා ගත් මොහොමඩ් නජබ්දීන් සහ Francis Chikebura සිය දඬුවම් පහර සාර්ථක කරගැනීමට අසමත් වෙද්දී, Blue Eagles වෙනුවෙන් චතුරංග ප්රනාන්දු ලබා ගත් පළමු දඬුවම් පහර අසාර්ථක වුවත් ඔවුන් සිය ඉතිරි දඬුවම් පහර 4ම සාර්ථක කරගැනීමත් සමඟ දඬුවම් පහර 3-4ක් ලෙස මෙම තරගයේ ජයග්රහණය හිමිකරගත් Blue Eagles ක්රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.
දඬුවම් පහර: Java Lane ක්රීඩා සමාජය 3 – 4 Blue Eagles ක්රීඩා සමාජය
ගෝල ලාභීන්
Java Lane ක්රීඩා සමාජය – මාලක පෙරේරා 48’, ජූඩ් නවීන් 87’
Blue Eagles ක්රීඩා සමාජය – නෙත්ම මල්ෂාන් 9’, කවිඳු ඉෂාන් 12’
තවත් පාපන්දු පුවත්:
- සභාපති කුසලානයේ සුපිරි 4 කුසපත් ඇදීම අවසන්
- Blue Eagles – New Star ගැටුමට පාපන්දු සම්මේලනයෙන් අවසන් තීරණයක්
- ස්මයිල්ගේ Hattrick එකෙන් Red Stars Colombo FC සමඟින් සුපිරි 4ට
- ක්රීඩා පාසල් 25 සංවර්ධනය කරන්න ඇමතිවරයා සැලසුම් සකසයි
Colombo පාපන්දු සමාජය – Red Stars පාපන්දු සමාජය
නියමිත කාලය අවසානයේ ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ දඬුවම් පහර 3-2ක් ලෙස තරගයේ ජයග්රහණය හිමිකරගත් Colombo පාපන්දු සමාජය තරගාවලියේ අවසන් මහා තරගය ඉතිරි ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.
පොලිස් ක්රීඩා සමාජයට එරෙහිව ගෝල 0-3ක ප්රබල ජයග්රහණයක් වාර්තා කරගනිමින් Colombo පාපන්දු සමාජය මෙම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබූ අතර අනෙක් පසින් Red Stars ක්රීඩකයින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගනු ලැබුවේ Serendib ක්රීඩා සමාජය ගෝල 5-3ක් ලෙස පරාජයට පත්කරමිනි.
තරගයට ප්රබල ආරම්භයක් ලබා ගත් Colombo ක්රීඩකයින් තරගයේ 13 වැනි සහ 22 වැනි මිනිත්තුවල පිළිවෙළින් ශබීර් රසූනියා සහ ආකිබ් මොහොමඩ් හරහා ගෝල වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය.
පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකේ ම ක්රීඩකයින් හට ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.
කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්රියාත්මක වූ N.C.M. රෙහ්මාන් විසින් Red Stars වෙනුවෙන් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කරගැනීමට සමත් වුනේ සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරගනිමිනි.
අනතුරුව 73 වැනි මිනිත්තුවේ දී ක්රියාත්මක වූ S.D. විජේසිංහ විසින් Red Stars දෙවැනි ගෝලයට හිමිකම් කියමින් තරගයේ කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට සමත් වූ අතර ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වීමත් සමඟ මෙම තරගයේ තීරණය ද දඬුවම් පහර වටයක් කරා යොමුවන්නට විය.
සම්පූර්ණ කාලය: Colombo පාපන්දු සමාජය 2 – 2 Red Stars පාපන්දු සමාජය
Red Stars වෙනුවෙන් දෙවැනි, තෙවැනි හා සිව්වැනි දඬුවම් පහරවල් පිළිවෙළින් ලබා ගත් A.J.M. රිෆස්දීන්, Ismaila Abumere සහ P.J. චමින්ද සිය දඬුවම් අසාර්ථක කරගනිද්දී, අනෙක් පසින් Colombo ක්රීඩා සමාජයේ පළමු දඬුවම් පහර ද්විත්වය පිළිවෙළින් ලබා ගත් මොහොමඩ් ෆාසාල් සහ රවුමි මොහිදීන් ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත.
ඔවුන් ඉතිරි දඬුවම් පහර 3ම සාර්ථක කරගැනීමත් සමඟ දඬුවම් පහර 3-2ක් ලෙස මෙම තරගයේ ජයග්රහණය තහවුරු කරගනිමින් තරගාවලියේ අවසන් මහා තරගය කරා සුදුසුකම් ලබා ගන්නට Colombo ක්රීඩකයින් සමත් විය.
දඬුවම් පහර: Colombo පාපන්දු සමාජය 3 – 2 Red Stars පාපන්දු සමාජය
ගෝල ලාභීන්
Colombo පාපන්දු සමාජය – ශබීර් රසූනියා 13’, ආකිබ් මොහොමඩ් 22’
Red Stars පාපන්දු සමාජය – N.C.M. රෙහ්මාන් 55’, S.D. විජේසිංහ 73’
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<