ILT20 දෙවැනි අදියරට ශ්‍රී ලාංකිකයින් රැසක්!

ILT20 2023

7073

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සංවිධානය කරනු ලබන ILT20 තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ගිවිසුම් ගත වී තිබෙනවා.

මෙම වසරේ දී පළමු වරට පැවැත්වුණු මෙම තරගාවලියට කණ්ඩායම් හයක් තරග කළ අතර එහි පළමු ශූරයන් බවට පත් වීමට Gulf Giants කණ්ඩායම විසින් සමත් වුනා.

එවර තරගාවලියේ දී මතීෂ පතිරණ, වනිඳු හසරංග සහ දිනේශ් චන්දිමාල් ක්‍රීඩා කළ Desert Vipers කණ්ඩායම අනුශූරතාව දිනා ගත්තා. ඊට අමතරව දසුන් ශානක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා වැනි තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් රැසක් ද ILT20 පළමු අදියර වෙනුවෙන් සහභාගී වුනා.

ඒ අතරින්,

  • Abu Dhabi Knight Riders – චරිත් අසලංක
  • Desert Vipers – වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ දිනේශ් චන්දිමාල්
  • Dubai Capitals – දුශ්මන්ත චමීර

යන ක්‍රීඩකයින් තවදුරටත් සිය සංචිතවල රඳවා ගැනීමට කණ්ඩයම් විසින් තීරණය කළා.

මෙම තරගාවලියේ මීළඟ අදියර ලබන වසරේ ජනවාරි මාසය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් සිය කණ්ඩායම් සම්පූර්ණ කර ගැනීම මේ දිනවල සිදු වෙනවා.

ඒ අනුව තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු ම මෙම කණ්ඩායම් වලින් තෝරා ගෙන තිබෙනවා.

මෙහි දී මීට පෙර Dubai Capitals කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ දසුන් ශානක පසුව කණ්ඩායමෙන් නිදහස් කෙරුනත් නැවතත් ඔවුන් දසුන්ව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව තවමත් ජාතික වරම් පවා නොලද Jaffna Kings සාමාජික විජයකාන්ත් වියස්කාන්ත් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට MI Emirates විසින් තීරණය කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම කලකට පසු තරග බිමට අවතීර්ණ වූ කුසල් ජනිත් පෙරේරා හට ද MI Emirates හි දොර විවර වී තිබෙනවා.

අලුතින් කණ්ඩායම් සමඟ එක් වූ ශ්‍රී ලාංකිකයින් මෙසේයි:

  • Dubai Capitals – දසුන් ශානක, නුවන් තුෂාර, සදීර සමරවික්‍රම
  • MI Emirates – කුසල් පෙරේරා, විජයකාන්ත් වියස්කාන්ත්
  • Sharjah Warriors – ඩිලශාන් මදුශංක, කුසල් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ

මේ අනුව තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයෙන් පහක ම ශ්‍රී ලංකා නියෝජනයන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති.

එමෙන්ම මීට අමතරව මෙම නව ගිවිසුම් ගත වීම් අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නම් දැරූ ක්‍රීඩකයින් වන Shadab Khan,Shaheen shah Afridi, David Warner, Rahmanullah Gurbaz, Sam Billings, Akeal Hosein වැනි ක්‍රීඩකයින් රැසක් ද එළඹෙන ILT20 තරගාවලිය සමඟ එක් වී තිබෙනවා.

ඒ අනුව ලොව පුරා විසිරී සිටින විශිෂ්ට ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකාවේ නම් දැරූ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ද සමඟින් ලබන වසරේ දී ILT20 තරගාවලියේ උණුසුම අත් විඳීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකි.

2024 ILT20 තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ILT20 නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<