රංගන හේරත් පසුගියදා සිය එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගවලින් සමුගැනීමට තීරණය කළේය.
බොහෝ විට ඔහු සමුගැනීම ප්‍රකාශයට පත්කළ ආකාරයේ විශේෂත්වයක් හා අමුත්තක් ඇතිබව බැලූ බැල්ම හැඟෙනුයේ පන්දුවාර හතරක් පමණක් යැවීමට ඇති වර්තමානයේ ජනප්‍රියම කෙටි කාලීන තරග විශේෂය වන පන්දුවාර විස්සෙන් සමුගැනීමට ඔහු තීරණය කිරීමය. අනෙක් කාරණය වන්නේ එක්දින තරගය. එහිදී පන්දුවාර දහයක් පමණක් පන්දුයැවීමට සිදුවද්දී ඔහු තෝරාගන්නේ දින පහක් ක්‍රීඩා කරන සැබෑ ක්‍රිකට් තරගය ලෙස අතීතයේ සිට සැලකූ ටෙස්ට් තරග පමණි. මෙම ලිපිය මගින් උත්සහ ගනුයේ රංගන හේරත් නම් ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ තීරණය තක්සේරු කිරීමට හා ඔහුගේ අතීතයේ දිදුලන කාරණාවන් නැවත වරක් ස්පර්ශ කර බැලීමටය.
රංගන හේරත් යනුවෙන් කෙටියෙන් හැඳින්වුවද ඔහුගේ සම්පූර්ණ නම ලෙස සැලකෙන්නේ හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් යන්නය. ඔහු උපත ලබා ඇත්තේ 1978 මාර්තු 19 වැනිදා දිනයක වීමද විශේෂත්වයකි. එය මෙරට කීර්තිමත්ම ක්‍රිකට් පරිපාලකයෙක් වශයෙන් සැලකෙන ගාමිණී දිසානායක මහතා උපන් මාර්තු 20 වැනිදාට වඩා දිනයක් වේලාසනිනි. ඔහු කොළඹින් සැතපුම් හැට හැත්තෑවක දුරින් උපන්නෙක් නිසා ඔහුට රන් කිරි කටගාන්නා සේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට හැකියාවක් තිබුණේ නැත. ඔහුගේ මව පවසන පරිදි ඔහු කුඩා කල සිටම පන්දුවක් උඩ දමමින් විනෝද වීමට කැමැත්තක් දැක්වූ බවත් එහෙත් එය ජාත්‍යන්තරය ජයගන්නා ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සමාරම්භය යැයි කිසිදු හැඟීමක් ඔවුන් තුළ හාංකවිසියකින්වත් ඇතිවී නොතිබුණේය. ඒ වෙනුවෙන් ඔවුන් කාලයට ඉඩ ලබාදී තිබිණි. එන්න එන්නම තම බාල පුතාගේ විනෝදාස්වාදය පන්දුවටත්, පිත්තටත් සීමා වනු දැකීමෙන් රංගනගේ මවගේ හැඟීම වූයේත්, ඔහුට සමීපවුන්ගේ හැඟීම වූයේත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා උපන් හපන්කම් දක්වන්නෙක් වන්නට පිළිවන් බවය. පාසල් ගමනේ ආරම්භයේදීම ක්‍රිකට් ක්‍රීඩාවට එක්වුණු ඔහු එහිදී දැක්වූ දක්ෂතාවන් සමඟ
පුහුණුකරුවන්ගේ යෝජනාව වූයේ කොළඹ අගනුවර ක්‍රිකට් ක්‍රීඩාවට ඇති පහසුකම් සඳහා ඔහුට අවස්ථාවක් උදාකරදීමය. ඒ අනුව දෙමාපියන්ගේ උත්සහයෙන්, ආර්ථික අසීරුතා රැසක් මැද වුවද ඔහුව නාඳුනන ගෙන්දගම් පොළොව ලෙස ගැමියන් සැලකූ කොළඹට එවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිග් විජය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන්මය. එකල ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ජයග්‍රහණය දිනාගැනීමට හැකියාව ලැබී තිබිණි. ඒ අනුව සිටි ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් උදාකරගැනීමට ඔහුට හැකියාවක් නොවුණේය. එකල මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ විශිෂ්ටතම දඟ පන්දුයවන්නා වූ අතර ඔහුගේ හැකියාවන්ගෙන් තවත් දඟ පන්දුයවන්නකුට කණ්ඩායම තුළ ස්ථාවර වීමට අවස්ථාවක් උදාකරදී තිබුණේ නැත. අවශ්‍ය තරම් දඟ පන්දුයවන්නන් කණ්ඩායම සමඟ සිටි හෙයින් රංගන හේරත්ගේ දක්ෂතා දිගින් දිගටම දැකගැනීමට හැකිවූයේ ක්‍රීඩා සමාජ තරග වලදී පමණි. එහෙත් කිසි විටෙකත් පසුනොබැසුණු රංගන අඛණ්ඩව සිය දක්ෂතාවයන් ක්‍රීඩා සමාජ පිටියේදී එළි දැක්වූයේය. දිනෙන් දින ඔහු දියුණු විය. එහෙත් ඒ දිලිසීම මුත්තයියා මුරලිදරන්ගේ දීප්තිය තරම් ප්‍රතිදීප්තියක් නොවුණේ මුරලිගේ විශිෂ්ටත්වයෙන් ලෝකයාම ගිනි කණ වැටී සිටි හෙයිනි. කෙසේ වෙතත් අවසානයේ බොහෝ ක්‍රීඩකයන් විශ්‍රාම යාම ඇරඹි 1999 වසරේදී රංගන හේරත්ට ශ්‍රී ලංකා ජාතික පිලෙන් කැඳවීමක් ලැබුණේය. ඒ ඔ්ස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයකදී කණ්ඩායම නියෝජනය කරන ලෙස පවසමිනි. ඒ ගාල්ලේදීය. එතැන් පටන් ඔහු පසුගියදා නිමාවට පත්වුණු අවසන් ටෙස්ට් චාරිකාව වන නවසීලන්ත තරගාවලිය දක්වා අඛණ්ඩව ක්‍රීඩා කළේය. එහිදී ඔහුට මඟහැරුණු, කණ්ඩායමෙන් ඉවත් කළ තරග කීපයක් පමණක් හඳුනාගත හැකිය.
එකල මුරලි සමඟ ඔහුගේ සහායක දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව දිනාගත් රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලබාදීමට මහත් කැපකිරීමක් කළ ක්‍රීඩකයෙක් ලෙස සැලකිය හැකිය. ඔහු එක් අන්තයකින් පිතිකරුවන්ට දැඩි පීඩනයක් ලබාදෙමින්, ලකුණු ලබාගැනීමට නොහැකිවන ආකාරයට පන්දුයැවූ අතර ඔහුගේ පන්දු හැමඑකක්ම පාහේ සැරසී තිබුණේ කඩුලෙන් කඩුල්ලට යවනු ලබන
සියුම් ලෙස දෝලනය වන පන්දු ලෙසය. එසේ දඟ කැවෙන නියමිත ඉලක්කයේ පතිත වන පන්දුවලට පහරදීම ටෙස්ට් තරගයකදී පිතිකරුවන් එතරම් රිස්සුවේ නැත. අනාරක්ෂිත පහරක් මගින් සිදුවිය හැක්කේ තමන්ගේ වටිනා කඩුල්ල සැණෙකින් අහිමිවීයාම බව ඔවුහු අවබෝධ කරගත්හ. ඒ ආකාරයෙන් ඔහු එක් අන්තයකින් පිතිකරුවන්ට පීඩනය ලබාදෙද්දී අනෙක් අන්තයෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට පන්දුවට පහරදිය හැකි ආකාරයට පන්දුයවමින් ඔවුන් පහර සඳහා පොළඹවා ගෙන දවාගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල මුත්තයියා මුරලිදරන්ගේ දක්ෂතා මත ජයගත් තරග වලදී ඔහුගේ සහායකයා වශයෙන් සාර්ථකත්වයේ සෙවණැල්ල වූයේ රංගන හේරත්ය. මෙයින් ඇතැමුන්ට ඔහු සම්බන්ධයෙන් එතරම් විශාල හැඟීමක් ඇතිනොවුණි. එහෙත් රංගන තමන්ගේ යුතුකම හා වගකීම මැනවින් අවබෝධ කරගනිමින් ක්‍රීඩා කළේය. අවසානයේ මුරලිදරන් ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා තබා සමුගත්තේය. ඉන්අනතුරුව ඔහුගේ යුතුකම කණ්ඩායමට ඉටු කිරීම සඳහා ඉතිරිව සිටියේ රංගන හේරත් පමණි. ඔහු තමන් මත ශ්‍රී ලංකාවම තබා තිබූ විශ්වාසය තහවුරු කළේය. ඒ අනුව මුරලිදරන්ගෙන් අනතුරුව ටෙස්ට් තරගයක් දිනිය හැකි දෙවරක් ක්‍රිකට් පිලක් දවාගත හැකි පන්දුයවන්නන් අතර වැඩිම බරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දරණු ලැබුවේ කුරුණෑගලින් සෙමින් සෙමින් කොළඹට ආ ක්‍රිකට් කුමාරයා යැයි කිවහැකිය.
ඔහු සෙමින් පැමිණියේයැයි අපි කියන්නේ ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව මෙන්ම රංගන ස්ථාවර ගමනින් ඉදිරියට ආවෙක් හේතුවෙනි. ඔහු හොඳ චින්තකයෙකි. නායකයන් ගණනාවක් සමඟ වැඩ කර ඇති ඔවුන්ගේ සිතැඟි, පිතිකරුගේ හැකියාවන් හා දුර්වලතාවන් මෙන්ම පිටියේ රඳවා ඇති පන්දුයවන්නන් සම්බන්ධයෙන් මනාව අවබෝධයෙන් යුතුව පන්දුයැවිය හැකි ක්‍රීඩකයෙකි. ඔහු විශිෂ්ට ක්‍රිකට් චින්තකයෙක් යැයි අපට කිවිය හැක්කේ ඔහු වමතින් දඟ පන්දු යවමින් සිදුකළ අත්හදා බැලීම් වලට අනුව නිර්මාණය කරගත් රහස් පන්දු කීපයක්ම වීමය. ඒ අතරින් වඩාත් ප්‍රකට වූයේ එක් රහස් පන්දුවක් පමණි.
ඔහු වරක් දඟ පන්දු යවන්නන්ට නොබියව හා සාර්ථකව මුහුණ දෙන පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැති තරගයකදී ජයග්‍රහණය සඳහා ඔවුන් රැදී සිටියේ ලකුණු 168ක් මෙපිටිනි. එහෙත් එහිදී රංගන හේරත් ක්‍රියාත්මක වූයේය. ඔහු ලකුණු 15ක් තුළ කඩුලූ හතරක් බිඳ හෙළමින් ප්‍රතිවාදී පිතිකරුවන්ට මහත් හිසරදයක් බවට පත්වුණේය. එහි ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකාව විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 117කට සීමා කරමින් තරගයේ ජය ස්වසන්තක කරගැනීමය.
මේ ආකාරයෙන්ම අපගේ මතකයේ රැදුණු තවත් තරගයක් ලෙසින් 2011-2012 දකුණු අප්‍රිකානු තරගවාරය දැක්විය හැකිය. එහිදී දඟ පන්දුයවන්නන්ට එතරම් හිතකර නොවන තණතීරුවක ඔහු ලකුණු 128ක් ලබාදී කඩුලූ 9ක් දවාලූයේය. එහි ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් පළමු තරග ජයග්‍රහණය වාර්තාවීමය. මේ අයුරින් කතා බස් කරන්නේ නම් රංගන හේරත් නම් වූ සුවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයපැන් කුසලානය වෙනුවෙන් මධු ගංගාවන් එක්කළ බොහෝ අවස්ථාවන් කියන්නට හැකිය. එහෙත් සාමූහික ක්‍රීඩාවක වෙනත් ක්‍රීඩකයකු වීරයා ලෙසින් කිරුළු පළඳිද්දී ඔහු සිය වමත් දඟ පන්දුයැවීමේ හැකියාවෙන් ලබාදුන් අසීමිත දායකත්වය බොහෝ තරගවලදී අපට දැකගැනීමට හැකිය. බොහෝ ජයග්‍රහණ පිටුපස සැබෑ වීරයෙක් ලෙස අපට ඔහුව හැඳින්විය හැක්කේ එහෙයිනි.
වෘත්තීය ක්‍රීඩාවේ ඉදිරියට ගමන් ගත් රංගන අවසානයේ අද වනවිට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට සමත්ව ඇත්තේ 67ක් පමණි. එහෙත් ඔහුට ක්‍රීඩා කිරීමට අවකාශය ලැබිය යුතු තරඟ ප්‍රමාණය මේ
වනවිට අවම වශයෙන් සියයක් පමණ වන්නට ඉඩ තිබිණි. එහෙත් ඔහු එලෙස නොලැබුණු අවස්ථාවන් සම්බන්ධයෙන් නොසැලූණේය. ඒ වෙනුවට ලැබුණු අවස්ථාවෙන් උපරිමය ඉටු කළේය. එය අපට දැකගැනීමට හැක්කේ ඔහුගේ කඩුලූ පැස දෙස බැලීමෙනි. එය ටෙස්ට් තරග වල දැක්වෙන්නේ තරග 67ක් තුළ 297ක් වශයෙනි. තරගයක කඩුලූ දහය බැගින් දවාගත් අවස්ථා පහක්, ඉනිමක කඩුලූ පහ බැගින් දවාගත් අවස්ථා 23 ක් හා කඩුලූ හතර බැගින් දවාගත් අවස්ථා 14කින් එය සැරසී ඇත. ඔහු සෑම ලකුණු 29.78ක සාමාන්‍යයක් තුළ කඩුල්ලක් දවාගැනීමට සමත්ව ඇති බව එම වාර්තාවලට අනුව කියැවේ. එයින් හැඟවෙන්නේ රංගන හේරත් යනු කණ්ඩායමකට කොතරම් අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්ද යන්නය.
ඔහු එක් පන්දුවාරයක් සඳහා ලබාදෙන ලකුණු ප්‍රමාණය ආසන්න වශයෙන් 2.78කි. ඒ පන්දුවාරයකට ලබාදෙන ලකුණු ප්‍රමාණයෙන් කියැවෙන්නේ ඔහු කණ්ඩායමක නායකයකුට කොතරම් වැදගත් පන්දුයවන්නෙක් නොවේද යන්නය. රංගන පළමු පෙළ තරග 238 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී දවාගෙන ඇති කඩුලූ ප්‍රමාණය 924කි. එයින් අප පෙර කියූ ඔහුගේ ඉවසීම කොතරම්දැයි යන්න අවබෝධ කරගැනීමට හැකිය.
මුරලිදරන් නොමැති වුවද ශ්‍රී ලංකා පිල තමන්ගේ මූලිකත්වය යටතේ පන්දුවෙන් ජයග්‍රහණය කරා රැගෙන යා හැකි බව වරක් ඔහු දකුණු අප්‍රිකානුවන්ට ඔවුන්ගේ දේශයේදී ඉගැන්නුවේය. ඒ සමඟින් ලෝකයා තේරුම් ගත්තේ මුරලිදරන්ගේ සෙවණැල්ල යට සිටි ඔහුගේ පසුකාලීන සහායකයාගේ සැබෑ ප්‍රමාණය කොතරම්ද යන්නය. ඇතැමුන් සිතා සිටියේ ඔහුට මුරලිදරන්ගේ සපත්තු පළඳින්නට නොහැකි තරම් සුවිශාල වනු ඇතැයි කියාය. එහෙත් එය එසේ නොවන බවත් ඒවා තමන්ට ගැලපෙන බවත් නිහඬව පන්දුවෙන් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙක් වශයෙන් අපට රංගන හේරත්ව සැලකිය හැක්කේ එහෙයිනි.
මුදල් පමණක් නොව ජීවිතයේ තවත් අරමුණු ඇති බව ක්‍රිකට් ලෝකයට කියාදුන් ඔහු සීමිත කීපදෙනෙක්ට පමණක් හිමිවන එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථා ගණනාවකදීම සමත් වූයේය. ඔහුගේ දක්ෂතාවනට ලෝකයෙන් මිලක් නියම වූයේ ඒ අයුරිනි. කෙසේ වෙතත් එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා ඔහුට ලැබුණේ අඩු ආරාධනාවන්ය. එහෙත් ඒවායෙන් තමන් අපේක්ෂා කරන ආකාරයට දක්ෂතා දක්වන්නට යෑමෙන් සිදුවනුයේ තමුන්ගේ තත්ත්වය බාල්දුවීම බව තේරුම් ගත් රංගන පසුගියදා ඒවායෙන් සමුගන්නා බවත් තවදුරටත් නියම ක්‍රිකට් ක්‍රීඩාවේ කාලයක් ක්‍රීඩා කරන බවත් ප්‍රකාශ කළේය. එහිදී ඔහු ඒ සඳහා හේතුවූ කාරණාවන් සම්බන්ධයෙන් පැවසූයේ මෙවැන්නකි. “ශ්‍රී ලංකාවට යොවුන් ක්‍රීඩකයන් කීපදෙනෙක් හදා ගන්න අවස්ථාව ලබාදීලා මම පන්දුවාර විස්ස හා එක්දින තරගවලින් සමුගන්නවා. ලෝක කුසලානයක් යළි තියෙන්නේ වසර කීපයකට පස්සේ. එතකොට අපිට පුළුවන් හොඳ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක්ව හුරුකරගන්න. ඒකට ඉඩදීලා මම සමුගන්නවා.” ඔහු කීවේ බොහෝ නිදහස්වය.
එසේ කියන්නට ඔහුට හැකියාවක් තිබුණේ රංගන කීර්ති බණ්ඩාර සැබැවින්ම කීර්තිමත් චින්තකයකු නිසාය. හෙට සිදුවන දේ අද දැකීමට නොව වසර කීපයකට පසුව සිදුවන දේ දැන ක්‍රියා කිරීමට තරම් ඔහුට යහපත් අරටුවක් ජීවිත පසුබිම තුළින් ගොඩනගා තිබීම නිසාය. එකවර සමුගන්නවාට වඩා යෞවනයන්ට තවත් තම දැනුම ප්රදානය කරමින් සිට සමුගැනීමට තීරණය කිරීමත් යෝග්‍යයය. රංගන හේරත්ගේ සමුගැන්ම විශිෂ්ටයකුගේ සමුගැන්මක් ලෙස හැඳින්විය හැක්කේ එහෙයිනි. ඔහු ක්‍රිකට් පිටියේ පමණක් නොව සැබෑ ජීවිතයේදීද විශිෂ්ටයකු වන්නේ මේ නිසාවෙනි.