තුන් පිම්මට උපන් හපන් “ලොක්කී” සහ “පොඩ්ඩි”

1979

එක මව් කුසින් මෙලොව එළිය දුටු, බොහෝ අවස්ථාවල දී හැඩරුවින් එක සමාන බිලිඳුන් නිවුන්නු ලෙස හඳුන්වයි. එලෙස ඉපදෙන දහසකුත් එකක් නිවුන් දරුවන් එකම ක්‍රීඩාවක, එකම ඉසව්වක් සඳහා තරග කරනවා දැකීම ඉතාමත් විරල සිදුවීමක්. කෙසේ නමුත් ඔබ මලල ක්‍රීඩාව ගැන උනන්දු අයෙකු නම් එවැනි දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ගැන ඔබට සිහිවනු ඇත. ඔවුන් දෙදෙනා නමින් සචින්තා දුලාංජනි හා තක්ෂිලා ලක්ෂානි යි.

පසුගිය දිනෙක ඔවුන් දෙදෙනා ThePapare.com සමඟින් සුහද පිළිසඳරකට සම්බන්ධ වූයේ මෙසේයි.

තක්ෂිලා හා සචින්තා කුඩා අවදියේ දී

 

  • ප්‍රශ්නය: මුලින්ම මොනාද දෙන්නගේ සම්පූර්ණ නම්?

මම නංගි, තක්ෂිලා ලක්ෂානි (සිනහ මුසු මුහුණින්)

අක්කා, සචින්තා දුලාංජනි, හැමෝම කියන්නේ අපිට “පොඩ්ඩි”, “ලොක්කි” කියලා

එක හුස්මට තමා ගැන හඳුන්වා දුන් තක්ෂිලා පිළිසඳරට ප්‍රවේශය ගත්තේ එසේයි.

වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ දී සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයන් ලෙසින් මෙලොව එළිය දකින ලක්ෂානි දුලාංජනි කුඩා කළ සිටම එක්ව වැඩ කටයුතු කරන්නට පුරුදු වී සිටියහ.

තක්ෂිලා හා සචින්තා කුඩා අවදියේ දී
  • ප්‍රශ්නය – එතකොට පාසල් ගියේ?

“වෙන්නප්පුව කොන්වන්ට් තමා ගියේ”,

  • ප්‍රශ්නය – මුලින්ම දුවන්න පුළුවන් කියලා අඳුරගත්තේ?

“ඉස්කෝලේ sportsmeet වලින් තමා. පළවෙනි පදක්කම ගත්තේ 8 වසරේ. high jump එකෙන් මං 10 වසරේ දී තමා තුන් පිම්ම ඉසව්වට එන්නේ,” දෙන්නම එකම event එකට,”

  • ප්‍රශ්නය – ඇයි මලල ක්‍රීඩාව වගේ ක්‍රීඩාවක් තෝරා ගත්තේ?

තනියම කරන්න පුළුවන් events නිසා මායි අක්කයි ගොඩක් කැමති වුනා.

  • ප්‍රශ්නය – එතකොට පවුලෙන් ඔය දෙන්නට ලැබෙන සහයෝගය?

“ඇත්තටම කිව්වොත් අම්මයි, තාත්තයි හැමෝම උදව් කරනවා, වැඩියෙන්ම තාත්තා තමා,”

බාල සොයුරියගේ කතාබහට වැඩිමහල් සොයුරියත් එකතු වන්නට විය. සිනහ මුසු මුහුණින් තම අතීතය ආවර්ජනය කරන අවස්ථාවට පිවිසියේ ඉන්පසුවයි.

  • ප්‍රශ්නය – ජීවිතයේ අමතක වෙන්නැති රස කතා?

ප්‍රශ්නය නැගුණු සැණින් දෙදෙනාම සිනාසෙන්නට විය.

“රස කතා කියන්නේ, දෙන්නව ගොඩක් අයට පැටලෙනවා. හිටපු ගමන් අම්මටයි, තාත්තටයිත් පැටලෙනවා. පින්තූරවලින් නම් හොයන්නම බෑ, ඉස්කෝලේ යද්දී ටීචර් ගහලත් තියනවා. පැටලිලා දෙන්නව වැරදිලා. අපි දෙන්නා තාම අඳින්නේ එක වගේ, ඉතිං ඒක නිසා ගොඩක් වෙලාවට අපි දෙන්නව වෙන්කරලා අඳුරගන්න බැරි වෙනවා,”

ඇගේ කතාව අවසානයේ මගේ සිතේ ද ප්‍රශ්නයක් විය. “දැන් කවුද මේ දෙන්නාගෙන් අක්කා.”

  • ප්‍රශ්නයමුලින්ම දිනපු ජාතික මට්ටමේ පදක්කම ?

2009-10 දී වගේ මං ජාතික මට්ටමේ තරග අඩුවෙන් තමයි සෙල්ලම් කළේ, ඒ ශල්‍යකර්මයකට මුහුණ දීලා සිටිය නිසා (තක්ෂිලා)

යොවුන් ක්‍රීඩා උළෙලේ  2012 අවුරුද්දේ මං දක්ෂතම ක්‍රීඩිකාව වුනා. (සචින්තා)

නිවුන් ක්‍රීඩිකාවන් දිනූ පදක්කම් කැබිනෙට්ටුව

  • ප්‍රශ්නය විදේශ සංචාර එහෙම?

මං ගිහින් තියනවා සංචාර 2ක්. මුලින්ම ගියේ බෲනායි 2015 අවුරුද්දේ මං එකේ රන් පදක්කම දිනුවා. ඊට පස්සේ මේ අවුරුද්දේ 2018 ඉන්දුනීසියාවේ ආරාධිත තේරීම් තරගාවලිය සඳහා සහභාගී වුනා.

බෘනායි හිදී රන් පදක්කම දිනා ගත් සචින්තා
  • ප්‍රශ්නය –  ඔය දෙන්නා මලල ක්‍රීඩා නොකළා නම්?

අනේ මන්දා හිතා ගන්න බෑ, මලල ක්‍රීඩා නොකළා නම් අපි දෙන්නා මොනවා කරයි ද කියලාවත්.

  • ප්‍රශ්නය කොතනින්ද ඔයාලා දෙන්නගේ ජීවිත වෙනස් වුනා කියලා හිතෙන්නේ?

ම්ම්.. ඇත්තටම අපි දෙන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු දායින් පස්සේ  අපේ ජීවිත ඇත්තටම වෙනස් වුනා. අද අපි තැනක ඉන්නවා නම් ගුවන් හමුදාවට ඒකට ලොකු සහයෝගයක් දැක්වූවා. (දිගු සුසුමක් හෙලමින් නැවතත් තක්ෂිලා පිළිසඳරට පිවිසුණාය. )

  • ප්‍රශ්නය – තහනම් උත්තේජක ගැන මොකද හිතන්නේ?

(තක්ෂිලා) – අපෝ ඒවා නම් කවදාවත් අරන් නෑ

(සචින්තා) – මමත් අරන් නෑ , හැබැයි එක පාරක් මාව Test කරලා නම් තියනවා                   

 

  • ප්‍රශ්නය – ටිකක් ක්‍රීඩාවෙන් ඈතට ගියොත්. යන්න ආසම තැන කොහේද?
ගුවන් හමුදා වර්ණ ප්‍රදානෝත්සවයේ දී

Trip යනවා නම් ටිකක් අඩුයි, නුවරඑළිය යන්න ආසයි. දෙන්නම යන දිහාක යන්න තමා කැමති

  • ප්‍රශ්නය – ජිවිතේ කාපු ලොකුම කට්ට මොකද්ද?

(සිනහ මුසු මුහුණින් ) තක්ෂිලා – මේක තමා කට්ට ඉතින්, ආහ්.. අක්ක රට ගියාම එනකල් ම අඬනවා, වෙන්වෙලා ඉන්න අමාරුයි.

සචින්තා –ගෙදරින් පිට හිටියා අවුරුදු 5ක්, ඒක තමා ගෙදර අය නැතුව.

  • ප්‍රශ්නයවිලාසිතා වගේ කැමති දේවල් මොනවද තියෙන්නේ?

දෙන්නම කැමති ඇඳුම්වලට, ගොඩක් වෙලාවට එකම දේට තමා දෙන්නම කැමති.

නිමාවුණු ආරක්ෂක සේවා තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්
  • ප්‍රශ්නයකවදාහරි දවසක මලල ක්‍රීඩාවෙන් සමුගන්න කලින් දෙන්නම බලාපොරොත්තුවක් තියනවා නම්?

(තක්ෂිලා) මීටර් 13.50කට වඩා තුන් පිම්ම පනින්න ආසයි, ඊට පස්සේ ජාතික සංචිතයේ හොඳට දක්ෂතා දක්වලා රටට කීර්තියක් ගේන්න තමා බලාපොරොත්තුව.

(සචින්තා) – මුලින්ම ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න ආසයි. ඊට පස්සේ අඩියෙන් අඩිය ගිහින් ඔලිම්පික් දක්වා යන්න ආසයි. ඒ නිසා මහන්සි වෙනවා.

  • ප්‍රශ්නය – අද ඔය දෙන්නා ඉන්න තැනට එන්න උදව් කරපු අය ඇති, ඒ ගොල්ලෝ ගැන?

ම්ම්.. මුලින්ම සෝමදාස සර්, ඔගස්ටින් සර්, ඊට පස්සේ අපි දෙන්නම චන්දන සර් ගාවට ගියා, දැන් චමින්ද සම්පත් සර් ගාව, 13න් එහා පනින්න උදව් කළේ සම්පත් සර්, ජාතික සංචිතය ට තේරුණේත් ඒ සර් ගාව ඉද්දී.

ඒ වගේම මතක් කරන්න ඕන මගේ අම්මවයි, තාත්තවයි, ඒ ගොල්ලෝ නිසා තමයි අද මං මෙතන ඉන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු දෙනාවත් මතක් කරනවා.

  • ප්‍රශ්නයඅනාගතයේ මලල ක්‍රීඩාවට එන්න කැමති අයට වචනයක් කිව්වොත්?

(සචින්තා) – ම්ම්.. තමන් කරන ක්‍රීඩාවට කැප වෙලා කළොත් ඕන කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන්

(ලක්ෂානි) – හැම දෙයක්ම ලේසි නෑ, හැබැයි මහන්සි වෙලා අමාරුවෙන් කරගෙන ගියොත් සාර්ථක වෙන්න පුළුවන්                        

මලල ක්‍රීඩාවෙන් ජාතික තලය ජ යගත් අපමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා භූමියේ මෙසේ සැඟව යා හැකිය. ThePapare.com එවැනි ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට ගෙන යන ස්ථානයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<