නව ලෝක කුසලාන තේමා ගීයට රසිකයින්ගෙන් දැඩි විවේචන!

ICC Cricket World Cup 2023

6122

ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය ඊයේ (20) එළිදැක්වුනත්, එයට ලැබෙන රසික ප්‍රතිචාර නම් එතරම් හොඳ මට්ටමක නැහැ.

Dil Jashn Bole නමින් හඳුන්වා දෙමින් ICC විසින් ඊයේ එළිදක්වනු ලැබූ මෙම ගීතයට සුපිරි ඉන්දීය සිනමා තරුවක් වන Ranveer Singh රංගනයෙන් දායක වන අතර, බොලිවුඩයේ ජනප්‍රියතම සංගීත නිර්මාපකයෙකු වන Pritam විසින් මෙහි සංගීත සංයෝජනය සිදු කර තිබෙනවා. එමෙන්ම ඉන්දීය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Yuzvendra Chahalගේ බිරිඳ වන Dhanashree Varma ද මෙම ගීතය වෙනුවෙන් නර්තනයෙන් දායක වීම විශේෂත්වයක්.

“Star Sport පවුලේ කොටසක් සහ දරුණු ක්‍රිකට් රසිකයෙකු ලෙස 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ගීතය එළිදැක්වීමට සහභාගී වීමට ලැබීම සැබැවින් ම ගෞරවයක්.”

Ranveer Singh විසින් මෙම ගීතය පිළිබඳ එසේ අදහස් දක්වද්දී, Pritam විසින් සඳහන් කළේ, ඉන්දියාවේ ඉහළම ගෞරවයක් හිමි වන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේ අයුරින් සම්බන්ධ වීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.

මේ අතර මිනිත්තු තුනකුත් තත්පර 22ක කාලයක් පුරා දිව යන මෙම ගීතය ගෝලීය ක්‍රිකට් රසිකයින් හැඟීම් සමඟ අනුනාද වන අන්දමේ එකක් බවයි ICC විසින් සඳහන් කර තිබුණේ.

මෙම ගීතයට සම්බන්ධ වූ පාර්ශවයන්ගෙන් මෙවන් බලාපොරොත්තු සහගත ප්‍රකාශයන් නිකුත් වුනත්, ඊයේ දිනයේ ගීතය එළිදැක්වූ මොහොතේ පටන් ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගෙන් නම් මේ ගීතයට ලැබෙන්නේ එතරම් හොඳ මට්ටමේ ප්‍රතිචාර නම් නොවෙයි.

“මේක ක්‍රිකට් තේමා ගීයකටත් වඩා බොලිවුඩ් ගීතයක් වගේ.”

“සිරාවට???

2011 සිංදුව අදටත් මීට වඩා හොඳයි.”

“හොඳ සිංදුවක්”

“මෙතෙක් නරක ම තේමා ගීතය”

“මේ සිංදුවට මගේ අවංක ප්‍රතිචාරය”

“වඩා හොඳ පද රචනයක් සහ තේමාවක් තිබිය යුතුයි.”

මෙම ගීතය විවේචනයට බඳුන් වන අතරේ ම 2011 වර්ෂයේ දී Shankar Mahadevan විසින් එවර ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ “De Ghumake” ගීතයට නැවතත් අතිශය ඉහළ ප්‍රතිචාර ලැබීම පටන් ගැනීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඊට අමතර මෙම ගීතය එළිදැක්වීමත් සමඟින් ක්‍රිකට් රසිකයින් විසින් 2015 සහ 2007 වර්ෂවල ලෝක කුසලාන තේමා ගීත ද නැවතත් කරළියට රැගෙන එමින් පවතිනවා.

එළඹෙන එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<