ඉන්දීය T20 නායකත්වය ගැන ආන්දෝලනාත්මක ප්රකාශයක්!

574
Ex-BCCI selector's harsh verdict

තරග 5කින් සමන්විත වූ ඉන්දු-දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අවසන් මොහොතේ දී කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant වෙත පිරිනැමීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව දිගින් දිගටම ප්‍රශ්නකොට සිටියේ ඔහු ඒ සඳහා තවමත් පරිණත වී නොමැති බව පවසමිනි.

මෙම තරගාවලියට පෙරාතුව නිත්‍ය නායකයා ලෙස නම් කළ K.L. Rahul පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක්වීම නිසාවෙන් ඔහුව විවේක ගැන්වීමට කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගෙන තිබූ අතර ඒ අනුව එම පුරප්පාඩුව පිරවීම සඳහා Rishabh Pantගේ නම යෝජනා වී තිබුණේ අවසන් මොහොතේ දී වීම විශේෂත්වයකි.

ආරම්භක තරග ද්විත්වයම පරාජිත මානසිකත්වයෙන් ආරම්භ වූවත් ඉන් මිදි නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ තෙවැනි සහ සිව්වැනි තරග ඉතා විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරමිනි.

කෙසේ නමුත් නායකත්වයේ වගකීම පසෙකළා පිතිකරුවකු ලෙස Rishabh විසින් කණ්ඩායමට ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වන විට ප්‍රශ්නකර සිටින්නේ ඔහු දැවී ගිය සෑම අවස්ථාවක දී ම නිකරුණේ ප්‍රතිවාදීන් හට තම කඩුල්ල පූජා කර ඉතාමත් නොසැලකිලිමත් අයුරින් පිතිකරණයේ නියැලුණු බවට චෝදනා කරමිනි.

තවද නායකයෙකු ලෙස තිබිය යුතු වාසනාව ද ඔහු සතුව නොමැති බව ඇතැම් අයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබුණේ ක්‍රීඩා කළ තරග 5න් එකදු අවස්ථාවක දී ඔහු කාසියේ වාසිය තම කණ්ඩායම වෙත දිනා දීමට Rishabh අපොහොසත් වූ නිසාවෙනි.

හිටපු BCCI තේරිම් කමිටු නිලධාරි Madan Lal මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, Rishabh Pant යනු අනාගත ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස සේවය ලබා දිය හැකි නායකත්ව කුසලතාවන්ගෙන්  පිරුණු දක්ෂ ක්‍රීඩකයෙකු බවත්, ඔහුට එම තැනට ළඟා වීමට නම් ඒ වෙනුවෙන් තවත් බොහෝ දෑ ප්‍රගුණ කරමින් විශාල කැප කිරීමක් සිදු කළ යුතු බවයි.

තවද ඔහු අවධාරණය කර සිටියේ ඔහුගේ පිතිකරණ රටාව සහ පහර තෝරාගැනීමේ දී අනුගමනය කරන උපක්‍රමයන් තරගයේ තීරණය කෙරෙහි ඍජුව බලපාන නිසාවෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

මම නම් Rishabhට නායකත්වය ලබා දීම ගැන එච්චර පැහැදීමකින් නෙමෙයි ඉන්නේ. මම නම් ඒ තීරණය ගැන එකඟ වෙන්නේ නැහැ කීයටවත් සහ මම වුනා ඒකට අවසර ලබා දෙන්නෙත් නැහැ. ඔහුට තව කල් තියෙනවා ඒ වගේ වගකීමක් ගැන. ඔහු තාමත් ජාත්‍යන්තර තරග බිමට නවකයෙක්. ඉන්දියානු කණ්ඩායමක් මෙහෙයවනවා කියන්නේ සුළු පටු දෙයක් නෙමෙයි. ඒක ලොකු වගකීමක්. Rishabh කියන්නේ තව අවුරුදු ගානක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. තරග අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න තමයි ඔහු තවත් පරිණත වෙන්නේ.”

මීට අමතර Lal මහතා ඉතාමත් වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කරමින් පෙන්වා දී සිටියේ MS Dhoni සහ Virat Kohli වැනි සාර්ථකත්වයට පත් වූ  නායකයින්ගේ නායකත්ව පරිණතභාවය සඳහා ඔවුන්ගේ සාමාන්‍ය තරග රටාවෙන් විශාල පන්නරයක් ලැබුණු බවයි.

තවද තවත් වසර දෙකක පමණක් කාලයක් තමන්ගේ පිතිකරණ ශෛලියෙහි ඇති තාක්ෂණික දෝෂ නිවැරදි කර ගනිමින් කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් වෙන් කරවා ගැනීමට හැකි වුවහොත් අනාගත ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා Rishabh වනු ඇති බවයි.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<