SAG පිටියත් සාමන්‍ය පෙළ පිටියත් එකවර ජයගත් විශිෂ්ටයන් අගයයි

653
ඇගයීමට ලක් වූ එම ක්‍රීඩිකාවන් (වමේ සිට දකුණට: චතුනි කරුණාරත්න,අයිලා චිට්ටි, ඇලේනා සෙනවිරත්න, ගංගා සෙනවිරත්න, යෙහානි කුරුප්පු, චමෝදි කරුණාරත්න)

පසුගිය වසරේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී ජයග්‍රහණ ලබා ගනිමින්, එම වසරේම පැවති අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය ද ඉතා හොඳින් සමත් වූ ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඇගයීම් උළෙල අද (10) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්ට් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවත්විනි. 

SAG හොල්ලපු ක්‍රීඩිකාවන් සාමාන්‍ය පෙළත් ඉහළින්ම සමත් වෙයි

ක්‍රීඩා, තරුණ කටයුතු සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ඇගයීම් උළෙල සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් සනත් පූජිත මහතා, එම ක්‍රීඩිකාවන්ගේ පාසල් වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් රැස්ව සිටි පිරිස අමතමින් ඇගයීම් උළෙලේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එච්. රුවන්චන්ද්‍ර මහතා උත්සව සභාව අමතමින්

“කඩයිම් දෙකක් එකවර ජයගෙන රටට කීර්තියක් ගෙන දීලා, තම ජීවිතයේ කඩයිමක් ද ජයගත් දියණියන් ඇගයීමේ උළෙලයි අද සංවිධානය කරලා තියෙන්නේ. අප මේ ජයග්‍රහණයේ පණිවුඩය සමාජ ගත කළ යුතුයි. සමාජයේ දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද තියෙන විශාලම ගැටලුවක් ක්‍රීඩාව හා අධ්‍යාපනය යන දෙකම එකට කරන්නේ කොහොම ද කියලා. මෙම ක්‍රීඩකයන් සය දෙනා සාක්ෂි සපයලා තියෙනවා එම සියලුම දෙනාට එය කළ නොහැකි දෙයක් නොවන බවට.” 

“විභාග දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මෙම ක්‍රීඩිකාවන් හට ක්‍රීඩා උළෙලට සහභාගී වන අතරවාරයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ලබා දීම ගැන අපගේ ස්තූතිය පිරිනමා සිටිනවා.” යැයි එතුමා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියහ. 

ඉන්පසුව එම ක්‍රීඩිකාවන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලබා ගත් ජයග්‍රහණ ඇතුළත් වීඩියෝ පටයක් උත්සව සභාව වෙත ඉදිරිපත් කෙරුනි. ක්‍රීඩිකාවන් සියල්ලන් නියෝජනය කරමින් චමෝදි කරුණාරත්න විසින් උත්සව සභාව අමතමින් ඔවුන්ට මෙම ජයග්‍රහණ ද්විත්වයම ලබා ගැනීමට උපකාර කළ සියලුම දෙනා හට තම ස්තූතිය පුදකර සිටියාය.

සාග් පදක්කම් ලාභී චමෝදි කරුණාරත්න උත්සවය ඇමතූ අවස්ථාව

SAG කමිටු වාර්තාව අමාත්‍යවරයා වෙත බාරදෙයි

ඇයට පසුව උත්සව සභාව අමතමින් ක්‍රීඩා, තරුණ කටයුතු සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව පවත්වා ගෙන යාම පිළිබඳව මුලු මහත් සමාජයට ආදර්ශයක් ලබා දීමේ අරමුණින් මෙම ඇගයීම් උළෙල සංවිධානය කළ බවයි. 

“වර්තමානයේ දරුවා විභාගය පමණක් ඉලක්ක කරගත් අයුක්ති සහගත පිළිවෙතකට නොයා, ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන දෙකම සමබරව පවත්වා ගෙන යන්න දරුවන් යොමු කිරීම පිළිබඳව ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ට අපගේ කෘතවේදීත්වය පුදකර සිටිනවා. එමෙන්ම මෙම ද්විත්වයම සමබරව ගෙනිහින් අනෙකුත් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට මෙන්ම මුලු මහත් සමාජයටම පණිවුඩයක් ලබා දුන් එම ක්‍රීඩිකාවන්ට ද අපගේ ස්තූතිය පුදකර සිටිනවා.” 

“කුඩා උපහාර දැක්වීමක් සිදුනොකර මෙවැනි උළෙලක් පැවත්වීමට තීරණය කළේ මෙම පණිවුඩය සමාජය වෙත ගෙන යාමට ඕන නිසයි. ක්‍රීඩාවෙන් ඔබ හීන දකින්න ඔලිම්පික් පදක්කම්ක් ලබා ගන්න, අධ්‍යාපනයෙන් ඔබ හීන දකින්න රටට වැඩදායී දියුණු සංස්කෘතික පුරවැසියෙකු වීමට. ඔබ එම හීන දෙකම සමබරව ශක්තිමත්ව ඉදිරියට යන්න. එයයි අපේ ප්‍රාර්ථනාව මෙන්ම ඉල්ලීම.” යනුවෙන් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ක්‍රීඩා අමාත්‍යවරයා උත්සව සභාව අමතමින්

පසුව එම ක්‍රීඩිකාවන් සයදෙනා හට අමාත්‍යාවරයා විසින් ප්‍රශංසනාත්කම ලිපි සහ මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු කරන ලදි. එහිදී පිළිවෙලින් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ චතුනි භාග්‍යා කරුණාරත්න, එම විද්‍යාලයේම චමෝදි කරුණාරත්න, කොළඹ විශාකා විද්‍යාලයේ යෙහානි කුරුප්පු, එම විද්‍යාලයේම ගංගා සෙනවිරත්න, කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටි සහ එම විද්‍යාලයේම ඇලේනා සෙනෙවිරත්න යන ක්‍රීඩිකාවන් එසේ ඇගයීම් හිමිකර ගත්හ. 

ක්‍රීඩිකාවන් ඇගයීම් වලින් අනතුරුව එම ක්‍රීඩිකාවන්ට මෙම ජයග්‍රහණ ලබා දීමට උපකාර කළ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා සංවර්ධනය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ද ප්‍රසංශනාත්මක ලිපි ප්‍රධානය කරන ලදි. 

එම ඇගයීම් වලින් අනතුරුව පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ සමාලෝචන වාර්තාව මාධ්‍ය වෙත නිල වශයෙන් නිකුත් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමෙන් අනතුරුව ඇගයීම් උළෙල නිමාව දකින ලදි. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<