ස්පාඤ්ඤය අපරාජිත වාර්තාව රැක ගනිමින් ශූරතාව කරා යයි!

Euro Cup 2024

3
Euro Cup 2024

2024 Euro කුසලානය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම අද (14) අලුයම සමත් වුනා.

මෙවර තරගාවලිය ආරම්භයේ දී ම තරගාවලි ජයග්‍රාහකයින් ලෙස බොහෝ දෙනා අනුමාන කෙරූ එංගලන්තය සමඟ අද උදෑසන පැවැත්වුණු අවසන් මහා තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ස්පාඤ්ඤය විසින් සමත් වූ අතර, ඒ අනුව ඔවුන් සිය සිව් වැනි Euro කුසලානය සියතට ගැනීමට සමත් වුනා. ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථා ප්‍රමාණයක දී Euro කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ රට (අවස්ථා 4) ලෙස ද ස්පාඤ්ඤය වාර්තා අතරට එක් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ දෙපිලෙන් ම ගෝල වාර්තා නොවුන නමුත්, දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟ ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Nico Williams සමත් වුනා. ඉන් පසුව එංගලන්තය විසින් නැවතත් තරගය සම තත්වයට ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වූ අතර, එම උත්සාහය තරගයේ 73 වැනි මිනිත්තුවේ දී සාර්ථක කර ගැනීමට Cole Palmerට හැකියාව ලැබුණා.

නමුත් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Mikel Oyarzabalට හැකියාව ලැබුණු අතර, ඒත් සමඟම මෙවර ශූරතාව ස්පාඤ්ඤය සතු බව තහවුරු වුනා.

මෙය මෙවර තරගාවලියේ ස්පාඤ්ඤය විසින් නොකඩවා ලද හත් වැනි ජයග්‍රහණය වුනා. එමෙන්ම සාපේක්ෂව තරමක් තරුණ කණ්ඩායමක් සමඟ මෙවර තරගාවලියට පිවිසි ස්පාඤ්ඤය විසින් මෙවර තරගාවලියේ වැඩි බලාපොරොත්තු තබා සිටි, එමෙන්ම සුපිරි පාපන්දු තරුවලින් පිරී ඉතිරී ගිය එංගලන්තයට අමතරව, අවසන් පූර්ව වටයේ දී ප්‍රංශය ද පරාජය කිරීමට සමත් වුනා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්පාඤ්ඤයේ Rodri සම්මාන දිනාගත් අතර, තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස ඊයේ දිනයේ තම 17 වැනි උපන්දිනය සැමරූ ස්පාඤ්ඤයේ Lamine Yamal සමාන දිනාගත්තා.

අනාගත පාපන්දු ලෝකයේ සුපිරි තරුවක් වනු අති බවට බොහෝ පාපන්දු රසිකයින් අනුමාන කරන Yamal සිය දක්ෂතා ජාත්‍යන්තර තරගාවලියක දී පළමු වරට ලොවට ප්‍රදර්ශනය කළ තරගාවලිය ලෙසත් මෙය හඳුන්වා දිය හැකි.

දෙස් විදෙස් පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත නිරන්තරයෙන් ම සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>