ඕස්ට්‍රේලියානු තරගාවලියට සදාචාරාත්මක ගැටලු

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය 2022

14244

එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් යම් යම් ගැටලු කීපයක් ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම සංචාරයට පෙර ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටලු කීපයක් පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට කිරීමට නියමිත අතර, ඒ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට සහ දේශපාලන නොසන්සුන්තාවකට මැදිව සිටින පසුබිමක් තුළයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනික විරෝධතා මාරාන්තික තත්වයකට පත්වීමෙන් පසු මේ මාසය මුල දී රජය විසින් ඇඳිරි නීතිය පැනවීමට ද කටයුතු කර තිබුණා. මේ වන විට එම නීති ඉවත් කර ඇති නමුත් උද්ධමනය ඉහළ යාම සහ මූලික අවශ්‍යතා හිඟ වීම තවමත් ගැටලු සහගතව පවතිනවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිලධාරීන් විසින් ඔවුන්ගේම ආරක්‍ෂක අංශ ප්‍රධානියෙකු ලවා ආරක්ෂක තත්ව සොයා බැලීමක් සිදු කර තිබුණා. එහි දී සංචාරය ඉදිරියට යාමට ආරක්ෂිත බව පසුගිය සතියේ දී සහතික කර තිබීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පසුගිය මාසයේ දී වසර 24කට පසු ඔවුන්ගේ පළමු පාකිස්තාන සංචාරය සඳහා සහභාගී වුනා. ඒ එරට තුළ ලේ වැගිරීම් කීපයක්ම වාර්තා වූ අවස්ථාවක දීයි. එම තරගාවලිය කිසිදු බාධාවකින් තොරව නිමා වීම ද විශේෂත්වයක්.

නමුත් වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇතැම් ක්‍රීඩකයින් සිය නොසන්සුන්තාව ප්‍රකාශ කර ඇතැයි ද විශ්වාස කෙරෙනවා. නිදසුනක් වශයෙන්, දිනපතා විදුලිය විසන්ධි වන රටක අගනුවර දී, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් රාත්‍රි තරග ලෙස ආලෝකය යටතේ ක්‍රීඩා කිරීම මහජනයා තුළ යම් කැලඹීමක් ඇති කළ හැකි කරුණක්.

කෙසේ වෙතත් රාත්‍රි කාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ තරග දිවා තරග ලෙස වෙනස් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය මෑතකාලීනව යොමුවී තිබුණා. නමුත් ඒ පිළිබඳව තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.

මීට අමතරව සැලකිය යුතු ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවක දී කණ්ඩායම් ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා මෙන්ම පල්ලෙකැලේ පැවැත්වෙන එක්දින තරග සඳහා ද සහභාගී වීම තරමක් අර්බුදකාරී විය හැකි වනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමහර ක්‍රීඩකයන්ගේ ගැටලු පිළිබඳව දැනුවත්ව ඇති නමුත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Todd Greenberg පවසා සිටියේ තම ක්‍රීඩකයන් සංචාරය සඳහා සහභාගී නොවන ලෙස කිසිදු යෝජනාවක් කර නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයින් ඉතා හොඳින් දන්නවා. ඉහළ යන ආහාර මිල, විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟ වීම වගේ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන තත්ත්වයන් ගැන ඔවුන් දැනුවත්. මේ වගේ වෙනදාට වඩා වෙනස් තත්ත්වයන් යටතේ සංචාරය කිරීමේ දී අපහසුතාවයක් ඇති වීම සාධාරණයි”, AAP වෙත අදහස් දක්වමින් Todd Greenberg පවසා සිටියා.

අපගේ ක්‍රීඩකයින් තරගාවලියට සහභාගී වෙන්න සූදානම්. කෙසේ වෙතත් සංචාර‍යේ සූදානම සහ සැලසුම පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙතින් උපදෙස් සහ මග පෙන්වීමක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.”

කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්වය හමුවේ ඉදිරි සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාරී විය හැකි බවට විශ්වාසයක් ද පවතිනවා. නිල සංඛ්‍යාලේඛන අනුව අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය වාර්ෂිකව 33.8%ක වාර්තාගත අගයක් පෙන්නුම් කරනවා.

ඕස්ට්‍රේලියාව 2016 වසරෙන් පසුව මෙරට සංචාරය කර නොමැති අතර මේ නිසාවෙන් කොළඹ, පල්ලෙකැලේ සහ ගාල්ලේ පැවැත්වෙන තරග සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Pat Cumminsගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබුණා. ඒ ඉන්දියාව මුහුණ දුන් බිහිසුණු COVID-19 රැල්ලක් අතරතුර දීයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම තත්ත්වය මානුෂීය අර්බුදයක් නොවන බැවින් ආධාර ලබා දීම පහසු විකල්පයක් වන්නේ නැහැ. නමුත් හැකි නම් මෙරටට මූල්‍ය ආධාරයක් ලබා දීමේ අදහසට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවෘතව සිටින බව Todd Greenberg පවසනවා.

අපගේ ක්‍රීඩකයින්ට ලොව පුරා සංචාරය කළ හැකිවී ම ඉතා වාසනාවන්තයි. මේ සංචාරවල කොටසක් ලෙස ඔවුන් මෙම රටවල ජනතාව සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගන්නවා”, Todd Greenberg පවසා සිටියා.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරද්දී ඉන්දියාවේ කොවිඩ් අර්බුදය අතරතුර ක්‍රීඩකයින් සැබෑ ලෙසම කම්පා වුනා. ඒකෙ දී අපි දැක්කා ක්‍රීඩකයන් ජනතාව එක්ක කෙතරම් සමීප ද කියන එකට උදාහරණයක්. ඔවුන් අරමුදල් රැස් කිරීමට සහ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සඳහා UNHCR අරමුදලක් පිහිටුවලා සහයෝගය ලබා දුන්නා.”

Associated Press – Australia ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<