2021 වසර සුබ කරගැනීම මව් රටෙන්ම අරඹමු

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

271

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය නිමා වීමට පසුව හරියටම දින 7ක කාලයකින් පසුව හෙට (14) ගාල්ලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තවත් අභියෝගාත්මක තරගාවලියක් ආරම්භ වීමට නියමිතයි. ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකයි.

මෙම තරගාවලියේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට ඇත්තේ එතරම් සුභදායී මතකයක් නොවේ. ආබාධ සහ 2-0ක් පරාජයක් සමඟ ශ්‍රී ලංකාව මෙරටට පැමිණියත් ශ්‍රී ලංකාව – එංගලන්තයට එරෙහිව හොඳ සටනක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවන්.

>>Sri Lanka v England 2021<<

මුහුණට මුහුණ

1981 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරග 34ක් පවත්වා තිබෙන අතර එයින් තරග 15ක ජය එංගලන්තය සතුවෙද්දී, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණයි. තවත් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

කණ්ඩායම් දෙක අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 16න් තරගාවලි 8කම ජය ලියැවී ඇත්තේ එංගලන්තය ඉදිරියෙන්. ශ්‍රී ලංකාව තරගාවලි 5ක් ජය ගන්නා විට තවත් තරගාවලි 3ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2012 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය මහේල ජයවර්ධනට හා රංගන හේරත්ට හිමි විය යුතු අතර තරගාවලිය අවසානයේ රංගන හේරත් ශ්‍රී ලංකාව ජය ගත් තරගයේ වීරයා බවට ද පත්වුනා. තරගාවලිය අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වුනේ මහේල ජයවර්ධනයි.

2014 වර්ෂයේ දී එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවති තරගයක් ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තරගය ඉතිහාසයට එකතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේ දී අවසන් වරට ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලොකු පොඩි ඉනිම්

වසර 37ක අතීතයට දිවයන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ඉතිහාස පොතේ වාර්තා වන පරිදි මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග තුල ඉනිමක් තුල දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු වාර්තාව ශ්‍රී ලංකාවේ නමට ඉදිරියෙන් සටහන් වී ඇත. 

ඉනිමක ලබා ගත් වැඩිම ලකුණ ලෙස දැක්වෙන්නේ 2003 වර්ෂයේ දී ලබා ගත් ලකුණු 628/8d වන අතර මෙතෙක් ඉනිමක වාර්තා වී ඇති අඩුම ලකුණ ශ්‍රී ලංකාව හා එංගලන්තය සමව වාර්තා කරගෙන තිබේ. එම ලකුණු ගණන 81ක්.

තවත් ක්‍රිකට් පුවත්:

සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 15 අතරින් එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු එම තරගාවලියේ තරග 3ක් තුල ඉනිම 4කට පමණක් දායක වෙමින් ශතක දෙකක් සමඟ ලකුණු 474ක් ලබාගෙන ඇත්තේ ලකුණු 158කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. මහේල 2007/08 වසරේ දී මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියක දී එම දස්කම දැක්වූවා.

එසේම මුත්තයියා මුරලිදරන් රටවල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ තරග 3ක් තුල කඩුලු 26ක් දවා ගෙනයි. එම වාර්තා දෙකම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සතුවීම මෙහි ඇති අනෙක් සුවිශේෂිතාවයයි.

දිමුත් කරුණාරත්න

නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා විශාල මෙහෙයක් ඉටු කළ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එංගලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 8ක දී ඉනිම් 16ක් ක්‍රීඩා කර ලකුණු 512ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එහි දී ඔහු 34.13ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ අර්ධ ශතක 4ක් ද ලබා ගෙනයි. එම නිසා හෙට (14) ආරම්භ වෙන ක්‍රිකට් තරගයේ දී කරුණාරත්න පිතිකරුවෙක් ලෙස එංගලන්ත පන්දු යවන්නන් හමුවේ යම් වැඩි දෙයක් කරනු ඇතැයි අපට වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට පුළුවන්.

Joe Root

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් මෑත කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් අතර සිටින පිතිකරුවෙක් ලෙස සැලකීමට හැකි අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 8ක දී ඉනිම් 14කට ක්‍රීඩා කරමින් ලකුණු 575ක් ලබාගෙන ඇත්තේ සහ ද්විත්ව ශතකයක්, ශතක 2ක් හා අර්ධ ශතකයක් ද ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 44.23ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතී.

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ සවිමත් කිරීමට හැකි මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙක්. ඔහු එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 9ක දී ලකුණු 757ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 17ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 44.52ක්.

එසේම ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගී නොවූ මැතිව්ස් මේ තරගාවලිය වෙනුවෙන් පිතිකරුවෙක් ලෙස ඉතාමත් හොඳ සූදානමකින් සිටියි.

Jonny Bairstow

දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ ශක්තිමත් කළ හැකි පිතිකරුවෙක් වන Jonny Bairstow ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 4ක ඉනිම් 6ක් සඳහා දායක වෙමින් ලකුණු 512ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 102.40ක් පමණ වේ. ඒ අතරට ශතක තුනක් ඇතුළත් වන අතර ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 167*ද ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

දිල්රුවන් පෙරේරා

දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් ශ්‍රී ලංකා සංචිතය තුල සිටින අත්දැකීම් බහුලතම දඟපන්දු යවන්නා වෙනවා. ටෙස්ට් තරග 41කට සහභාගී වී කඩුලු 156ක් දවා ගෙන ඇති දිල්රුවන් ඔහුට කළ හැකි උපරිමය කරනු ඇත. එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කර ඇති දිල්රුවන් එහි දී කඩුලු 22ක් දවාගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව කඩුලු 5ක් දවා ගත් අවස්ථා 2ක් ද ඔහුගේ නමට ඉදිරියෙන් ලියා ගනිමිනි.

Jack Leach

ශ්‍රී ලංකාව සමඟින් ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කර ඇති වමතින් දඟපන්දු යවන Jack Leach ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 15කට සහභාගී වෙමින් කඩුලු 34ක් දවාගෙන ඇත්තේ,  එක් කඩුලු 5 අවස්ථාවක් ද සාර්ථක කරගෙනයි. ඉන් කඩුලු 18ක් ශ්‍රී ලංකාවට එරෙහිව දවාගෙන තිබීම සුවිශේෂී වෙනවා. Jack Leachගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 29.02කි.

සුරංග ලක්මාල්

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 61ක දී කඩුලු 151ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 එක් අවස්ථාවන් 3ක් ද ලබාගෙනයි. එංගලන්තය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 10ක දී කඩුලු 17ක් දවාගෙන ඇත්තේ ලකුණු 971ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 57.11ක්.

James Anderson

ලොව ප්‍රබල වේගපන්දු බල ඇණියක් සිටින කණ්ඩායමක් ලෙස එංගලන්තය හඳුන්වන බව අප කොයි කවුරුත් හොඳින් දන්නා කාරණයක් වන අතර ඒ අතරින් දකුණතින් වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් වැදගත් වන්නේ ඔහුට තිබෙන අත්දැකීම් සහ හැකියාව අනුව නව පන්දුව හෝ පැරණි පන්දුව කියා භේදයකින් තොරව කළ හැකි දේ බොහෝ නිසාවෙනි. 

එසේම ගාලු තණතීරුව මත ද ටෙස්ට් තරග රැසක් ක්‍රීඩා කර තිබෙන Anderson ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 13ක් ක්‍රීඩා කරමින් කඩුලු 52ක් දවාගෙන ඇත්තේ 23.86ක තරම් හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ගාලු ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

මේ තරගාවලිය පැවැත්වෙන ගාලු ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙනවා. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට දඟපන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙනු ඇත. ගාලු ක්‍රිකට් සමාජයේ සත්කාරක ක්‍රීඩා පිටිය වන මෙම ක්‍රීඩා පිටිය විවෘත කරනු ලබන්නේ 1876 වසරේ දී ය. 1927 වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක් මෙම ක්‍රීඩා පිටිය වෙන්වනවා.

ගාලු පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 32කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 18ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 8ක් පරාජය වී ඇත. එසේම ගාලු ක්‍රීඩා පිටියේ පැවති තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

එංගලන්තය හා ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් පිටියේ දී පළමු වතාවට ටෙස්ට් තරගයක දී එකිනෙකා මුණගැසී ඇත්තේ 2001 වර්ෂයේ වන අතර ඒ තරගය ඉනිමකින් හා ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණි. 2003 හා 2007 වර්ෂයේ පැවති ටෙස්ට් තරග ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී අවසන් වරට (2018) පවත්වා ඇති ටෙස්ට් තරගය එංගලන්තය ලකුණු 211කි ජය ගත්තා. කෙසේ නමුත් 2012 පැවති තරගයේ ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ. සෙල්සියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම 4 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4326ක් සමඟ ප්‍රසාද ලකුණු 106ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 2574ක් සමඟ ප්‍රසාද ලකුණු 86ක් දිනා ගෙනයි. 

ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද එංගලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

දැනට තිබෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව එංගලන්තය 4 වැනි ස්ථානයේ (60.8% – 292) ද, ශ්‍රී ලංකාව 7 වැනි තැන ද (22.2% – 80) පසුවෙනවා.

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්.

එංගලන්තය – Joe Root (නායක), Dom Sibley, Zak Crawley, Jonny Bairstow, Dan Lawrence, Jos Buttler, Sam Curran, Dom Bess, Jack Leach, Mark Wood, James Anderson

ටෙස්ට් තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී

*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<