සත්කාරක දකුණු අප්රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ඊයේ (09) එංගලන්ත පිළට අවස්ථාව උදාවිය. ඒ ජොහැන්ස්බර්ග් හිදී පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 2කින් ජය ගැනීමත් සමඟයි. ඒ අනුව ටෙස්ට් තරගාවලිය 3-1ක් ලෙස ජයගත් එංගලන්ත පිළට එක්දින තරගාවලිය ද බේරා ගැනීමට හැකිවිය.
වසර 8කට පසුව බිග් බෑෂ් කිරුල සිඩ්නි සික්සර්ස්ට
ඊයේ දිනයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත නායක ඔයින් මෝගන් සමත් වූ අතර මුලින් පන්දු යැවීමේ අවස්ථාව තෝරා ගැනීමට ඔහු තීරණය කළේය. ඒ අනුව තම ප්රතිවාදීන්ට විශාල ලකුණු සබඳතා ගොඩ නැගීමට ඉඩක් ලබා නොදෙමින් නිරන්තරයෙන්ම කඩුලු බිඳ දමන්නට එංගලන්ත පන්දු යවන්නන්ට හැකිවිය. මේ නිසාම දකුණු අප්රිකානුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය සෑහෙන දුරකට අඩපණ වූ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 256ක් පමණි.
දකුණු අප්රිකාව වෙනුවෙන් පිත්තෙන් වැඩිම දස්කම් දැක්වූයේ කලකට පසු කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට සමත් වූ ඩේවිඩ් මිලර් විසිනුයි. ඔහු තම හුරුපුරුදු ප්රවේගකාරී පිතිකරණයේ යෙදෙමින් පන්දු 53කදී නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟයි. ඔහු නොවන්නට ලකුණු 250 සීමාවට ලඟා වීමද දකුණු අප්රිකාවට සිහිනයක් වන්නට ඉඩ තිබුණි. මීට අමතරව පළමු තරගයේ ශතකයක් වාර්තා කළ ක්වින්ටන් ඩි කොක් මෙවර ලකුණු 69ක් ලබා ගත්තේය.
මීට අමතරව ජේ.ජේ. ස්මට්ස් ලකුණු 31ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර ටෙම්බා බවුමා ලකුණු 29ක් රැස්කර ගත්තේය. ඒ හැරෙන්නට අනෙකුත් දකුණු අප්රිකානු ක්රීඩකයින් පිත්තෙන් ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් වූහ. පන්දු යැවීමේ දී වැඩිම දස්කම් දැක්වූ අඩිල් රශීඩ් කඩුලු 3ක් බිඳ හෙලුවේ ලකුණු 51ක් පමණක් ලබා දෙමිනි. මීට අමතරව මොයීන් අලි සහ සකීබ් මහමූද් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ඉන්දියාව මවිත කරමින් යොවුන් ලෝක කුසලානය බංග්ලාදේශයට!
මෙම ඉලක්කය හඹා ගිය එංගලන්ත පිළට ඇති තරම් පන්දුවාර ඉතිරිව තිබුනද ගැටලුව වූයේ කඩුලු ඉක්මනින් බිඳ වැටීමයි. ආරම්භක කඩුල්ලේ සබඳතාවය 61ක් දක්වා වර්ධනය වුවද ඉනිමේ අවසන් භාගයේ දී කඩුලු කිහිපයක්ම එක ලඟ බිඳ වැටීම ඊට හේතු විය. විශේෂයෙන්ම සාර්ථක ඉනිමක් ක්රීඩා කරමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 66ක් වාර්තා කරගත් ජෝ ඩෙන්ලි දැවී යනවිට එංගලන්ත ඉනිම ලකුණු 232ට කඩුලු 5ක් වුවද ඉන් සුළු වේලාවකට පසු එය දිස්වූයේ ලකුණු 252ට කඩුලු 8ක් ලෙසයි.
කෙසේවෙතත් දකුණු අප්රිකාව එතරම් අභියෝගාත්මක ඉලක්කයක් ලබා දී නොතිබූ නිසාම තරගය ජය ගැනීම එංගලන්තයට විශාල අපහසුවක් නොවීය. ජෝ ඩෙන්ලිට අමතරව ජොනී බෙයාස්ටෝ (43) සහ ජෝ රූට් (49) එංගලන්ත ජයක් සොයා සාර්ථක පිති හරඹයක නිරත වූහ. පන්දු යැවීමේ දී ලුන්ගි න්ගිඩි සහ බියුරන් හෙන්ඩ්රික්ස් කඩුලු 3 බැගින් බිඳ හෙලූ නමුත් සංචාරක එංගලන්ත පිළේ ජයග්රහණය වළක්වා තරගාවලිය ජය ගැනීමට එය ප්රමාණවත් වූයේ නැත.
තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් දස්කම් දැක්වූ අඩිල් රශීඩ්ට හිමි වෙද්දී තරගාවලියේ වීරයා ලෙස ගෞරවයට පාත්ර වූයේ පිත්තෙන් සුපිරි දක්ෂතා පෙන්නුම් කළ ක්වින්ටන් ඩි කොක්වයි. එංගලන්ත පිළේ දකුණු අප්රිකානු සංචාරය අවසන් කරමින් තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අනිද්දා (12) බෆලෝ පාර්ක් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.
දකුණු අප්රිකාව – කඩුලු 7ක් දැවී ලකුණු 256 (පන්දුවාර 50)
ඩේවිඩ් මිලර් 69*, ක්වින්ටන් ඩි කොක් 69, ජේ.ජේ. ස්මට්ස් 31, ටෙම්බා බවුමා 29, අන්දිල් පෙලුක්වායෝ 14, රීසා හෙන්ඩ්රික්ස් 11, අඩිල් රශීඩ් 3/51, සකීබ් මහමූද් 1/17.
එංගලන්තය – කඩුලු 8ක් දැවී ලකුණු 257 (පන්දුවාර 43.2)
ජෝ ඩෙන්ලි 66, ජෝ රූට් 49, ජොනී බෙයාස්ටෝ 43, ටොම් බැන්ටන් 32, ජේසන් රෝයි 21, මොයීන් අලි 17*, බියුරන් හෙන්ඩ්රික්ස් 3/59, ලුන්ගි න්ගිඩි 3/63, ලුතෝ සිපම්ලා 1/42.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<