ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයට ගොස් සිටින නිසා ඔහුගේ සේවය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.
33 හැවිරිදි රොෂේන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු අවසන් වරට 2019 පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළා.
එතැන් සිට මේ දක්වා වසර 3කට අධික කාලයක් ගෙවී තිබෙන නමුත් ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාගාරයේ අසුනක් හැරෙන්නට අවසන් ක්‍රීඩකයින් 11 අතර ක්‍රීඩා කිරීමට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ.
ඉනිම් 23ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ මුළු ලකුණු 702ක් ලබා ගැනීමට රොෂේන් සමත්ව තිබෙනවා.
දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ලකුණු 9000ක් සහ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 50කට ආසන්න මට්ටමක පවත්වාගෙන යනු ලබන රොෂේන් බංග්ලාදේශයට එරෙහිව Chattogram හිදී පැවැත්වුණු තරගයේ දී සිය හොඳම ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම දියත් කළා.
ඔහු එහි දී පන්දු 230ක දී ලකුණු 109ක් ලබාගෙන ශතකයක් ලබා ගත් අතර ඉන්දියාවට එරෙහිව Delhi හිදී පැවති ටෙස්ට් තරගයේ දී ලබා ගත් නොදැවුණු ලකුණු 74* නොවන්නට එම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට වැඩි ඉඩක් තිබුණා.
ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් බොහෝමයක් දෙනා දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන විට එවැනි බොහෝමයක් අවස්ථාවල දී ශ්‍රී ලංකා මැදපෙළ ගොඩනැංවීමේ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කරන්නට රොෂේන් සමත් වුනා.
කෙසේ වෙතත් එවැනි හැකියාවක් සහ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය තුල හොඳින්ම දස්කම් අතර සිටින රොෂේන් හට ජාතික කොන්ත්‍රාත්තුවක් හිමිව නොමැති වීම සහ ජාතික ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිව නොමැති වීම ඔහුගේ මේ සුපිරි ක්‍රිකට් දිවි ගමන අකාලයේ අවසන් වීම කෙරෙහි බලපා තිබෙන විශාල හේතුවක්.
- දිලුම් සුදීර Sebastianites පිතිකරුවන් අසරණ කරයි
- රන් මහා සටනේ වැඩි ගෞරවය මහානාම විද්‍යාලයට
- IPL පිටියේ වැඩ පෙන්වන අපේ සිංහයෝ
- ෂේන් වෝන් සහ සැබැඳියෝ!
නිමා වුනු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කළ රොෂේන් තරග 4ක දී ලකුණු 304ක් ලබා ගත්තා.
101.33ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ ලකුණු 174*ක නොදැවුණු ඉනිම සිය හොඳම ඉනිම බවට පත් කරගත් රොෂේන්ගේ එම දස්කම් නිසා ඔහුව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.
කෙසේ නමුත් ඔහුට අවසන් ක්‍රීඩකයින් 11 අතර ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබේ ද යන්න ගැටලුවක්ව තිබෙන නිසාවෙන් රොෂේන් එංගලන්ත Lancashire ප්‍රාන්ත ක්‍රිකට් ලීගයේ කොන්ත්‍රාත්තුව සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.
මේ වන විට එංගලන්තයේ සිටින රොෂේන් වෙනුවට නිමා වුනු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් කමිඳු මෙන්ඩිස් මේ සංචිතයට ආදේශ කිරීමට කටයුතු කර තිබෙන බව ද ThePapare.com වෙත වාර්තා වෙනවා.
දැනට තිබෙන තහවුරු වුනු කාලසටහන් අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර (බංග්ලාදේශයේ දී 2ක්, ඕස්ට්‍රේලියාව සමඟ 2ක් සහ පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාවේ දී 2ක්) එම තරගාවලිවල දී දඟපන්දු යවන්නන් සඳහා වැඩි හිතකර තණතීරු නිර්මාණය වෙනවා.
ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට රොෂේන් වැනි දක්ෂ ක්‍රීඩකයෙක්ගේ ක්‍රිකට් ගමන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිය වෙනුවෙන් රැකගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයින් දැඩි විශ්වාසයකින් පසුවනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<