උදම් රළ මට්ටු කළ ක්‍රිකට් තරංගය “පුලින”

1106

පුලිනලාගේ හැමදේකට ම උදව් කළේ මහ මුහුද. එහෙම කළ මුහුද එක්තරා අවස්ථාවක පුලිනලාට එරෙහි වෙනවා. පුලිනගේ අම්මා සුනාමිය විසින් බිළි ගන්නවා. ඊට අවුරුදු 4කට විතර පස්සේ පුලිනගේ තාත්තත් ඒ මුහුදට ම බිලි වෙනවා. ඒ වන විට පුලිනට අවුරුදු 15ක් විතර ඇති. 

එදා ඒ කොලු ගැටයා අද 27 හැවිරිදි වියේ පසුවෙන හොඳ නාඹර වයසේ යෞවනයෙක්. නමින් අශාන් පුලින තරංග. එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දසුන් ශානකගේ නායකත්වයෙන් Dambulla Viiking කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. මේ ඔහුගේ කතාව. 

පුලිනලාට නිතරම කරදර කළේ ආර්ථික ය. තාත්ත ඩී. එච්. නීල් සුසන්ත රැකියාවක් ලෙසින් කළේ මුහුදු යෑම. ඊට අමතරව හිටපු ගමන් හිරිගල් කඩන්නත් ගියා. ඒ වෘත්තීන් දෙකෙන් ම හිතන තරම් මුදලක් ලැබුණේ නැහැ. පුලින සමඟ අයියා කෝසල චතුරංගත්, නංගි දුලාංජලි සුසන්තිකාගේත් ඕන එපාකම් ඉටු කළේ ඒ විදිහට. අම්මා පී. එච්. රෝහිණි ලැබෙන මුදල අර පරිස්සමෙන් වියදම් කළත්, ඉතිරියක් නම් තිබුණෙ නැහැ. ඔය අතර අම්මත් ඉඳි ආප්ප තම්බමින් ගෙදර වියදම් වෙනුවෙන් මුදල් හොයා ගත්තා. 

“අපි ඔක්කෝම පාසල් ගියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට. පදිංචි වෙලා හිටියේ හික්කඩුව – වැරැල්ලානේ. මේ නිසා වියදමත් ටිකක් වැඩියෙන් තියෙන්න ඇති. අපි කවුරුත් අමතර පංති වගේ දේවල්වලට සහභාගි වුනේ නැහැ. ඒ වුනත් මම 2001 අවුරුද්දේ විතර ටේබල් ටෙනිස් ගහන්න යනවා. යාලුවන්ගේ රැකට් ඉල්ල ගෙන තමයි සෙල්ලම් කළේ. ඒත් ඉතිං ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ වද කිරීමට තමයි යන්න දුන්නේ.”

එහෙම ගියපු පුලින මේසපන්දු ක්‍රීඩාවෙන් දිස්ත්‍රික් ජයග්‍රහණ සේ ම සමස්ත ලංකා ජයග්‍රහණ ද ලබා ගන්නවා. ඒත් ඉතිං පුලිනගේ හිත තිබුණෙ ක්‍රිකට්වල. මේසපන්දු ක්‍රීඩා කරන අතරතුර ලැබෙන විවේකය පුලින යොදා ගත්තේ ක්‍රිකට් ගහන්න. 

“ගමේ ක්‍රිකට් ගැහුවා. පාසලේ දී මුලින් ම කැමැත්ත තිබුණේ ක්‍රිකට් ගහන්න. ඒත් වයස නැති නිසා ගත්තේ නැහැ. ඒ නිසා තමයි ටේබල් ටෙනිස් ගහන්න ගියේ. ඊට පස්සේ 2002 අවුරුද්දේ දී මට ක්‍රිකට් ගහන්න යන්න පුළුවන් වෙනවා. ටේබල් ටෙනිස් ගහන්න ගියා වගේ තමයි, මට කිසිම දෙයක් තිබුණේ නැහැ. සමහර දවස්වලට පාසල් ගිය ඇඳුමෙන් ම පුහුණුවීම්වලට සහභාගී වුන අවස්ථාත් තිබුණා. සපත්තු පවා යාළුවෝ දාල පරණ වුන දේවල් තමයි දැම්මේ.”

පුලිනගේ මුල් ම ක්‍රිකට් පුහුණුකරු වෙන්නේ එච්. යසරත්න ද සිල්වා මහතා. ඔහු යටතේ පුලින වයස අවුරුදු 11න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තේරෙනවා.  

“අම්මටත් තාත්තටත් ක්‍රීඩාව ගැන එතරම් ම දැනීමක් තිබුණේ නැහැ. මම ටේබල් ටෙනිස් ගහන ගමන් ම ක්‍රිකට් ගහන්නත් ගියා. ඒත් ගෙදරින් දන්නෙ මම ටේබල් ටෙනිස් ගහනවා කියලා විතරයි. ඔය අතර මගේ මුල් ම තරගය තියෙන බව සර් කිව්වා. තරගය තියෙන්නේ මාතර. දැන් මම දන්නව මට මේකට යන්න ලැබෙන්නේ නැහැ කියලා. එකක් ගෙදරින් දන්නෙ නැහැ මම ක්‍රිකට් ගහනවා කියලා. අනිත් එක යන්න සල්ලි නැහැ. මම යසරත්න සර්ට කිවුවා මට තරගයට එන්න වෙන්න නැහැ කියලා.”

පුලිනගේ ආදරණීය මව සහ පියා

මෙතැන දී යසරත්න ද සිල්වා මහතා ඉදිරිපත් වෙමින් ප්‍රශ්නය විසඳනවා. අම්මටත් තාත්තටත් එන්න කියලා පුලිනගේ ප්‍රශ්නය විසඳනවා. ඒ අනුව ඔවුන්ගේ කැමැත්ත ඇතිව පුලින තමන්ගේ පළමු ක්‍රිකට් තරගය සඳහා මාතර යනවා. ඒත් වර්ෂාව නිසා තරගය පවත්වන්න ලැබෙන්නේ නැහැ. 

“ගෙදරින් බැනුනුත් අහල ගුටිත් කාල එතැනින් මගේ ක්‍රිකට් නතර වෙනවා. ගෙදරින් ඒ තරගයට යන්න අවසර දීල තිබුණේ සර් කිව්ව නිසයි. නැතිව මගේ දක්ෂතා නිසාවත් මම කැමති වූ නිසාවත් නෙමේ.”

ඊට පස්සෙ පුලින අවුරුද්දක් විතර කිසිදු ක්‍රීඩාවක් නොකර ඉන්නවා. ඒ අතර පුලින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සහභාගි වෙනවා. පුලින හිටියේ ශිෂ්‍යත්වය සමත් වෙන හොඳ මට්ටමක. ගෙදරිනුත් පුලින ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් හිතුවක්කාර වූ පුලින ඒකට සහභාගී වෙන්නේ කිසිදු සූදානමකින් තොරව. පුලිනට ඕන වෙලා තිබුණේ තමන් කැමති ක්‍රීඩාව කරන්න නොදීම ගැන අම්මටත් තාත්තටත් පාඩමක් උගන්නන්න. 

“මම විභාගෙ ෆේල්. නැවත වතාවක් ගෙදරින් බැනුම් ඇහුවා. පාසලෙන් ‘අපරාදෙ’ කියලා කිවුවා. මේ සිද්ධියෙන් පස්සෙ අම්මත් තාත්තත් දැන ගත්තා මට ක්‍රිකට් ගහන්න දෙන්නෙ නැතිව මගෙන් කිසිම දෙයක් කරගන්න බැහැ කියලා. අන්තිමට මාව ක්‍රිකට්වලට දාන්න ඒ දෙන්න කැමති වුනා. අම්ම ඉඳි ආප්ප තම්බල ඉතිරි කර ගත්ත සල්ලිවලින් මට Soft Ball Bat එකක් අරගෙන දුන්නා. ඒක තමයි ගෙදරින් මට ක්‍රීඩාවකට කියල අරගෙන දුන්න මුල් ම දේ.”

අනිකුත් ළමුන් ඉදිරියේ පුලිනගේ දක්ෂතා කැපී පෙනුනත් අඩු-පාඩු ලොකුවට පෙනුණා. නමුත් පුලින ඒ වගක් ඇඟට නොගෙන ක්‍රීඩා කළා. ඒ අතර පුලිනගේ ක්‍රිකට් ජීවිතයේ දෙවැනි තරගයට සහභාගී වීමේ අවස්ථාව හිමි වෙනවා. නැවත වතාවක් තරගය පැවැත්වෙන්නේ මාතර.

“ඒ තරගය වෙද්දී අම්මා, ඉතිරි කර ගත් මුදල් සහ තවත් කාගෙන් ද මුදලකුත් ඉල්ල ගෙන මට සපත්තු දෙකක් අරගෙන දුන්නා. එතකොට ඉස්කෝලෙ ක්‍රිකට් පුහුණුකරු සහ ක්‍රිකට් භාර ආචාර්යවරයා විදිහට හිටියේ සුරාජ් සංජීව සර්. සර් මට ගොඩක් උදව් කළා. නමුත් අවාසනාවකට වගේ ඒ තරගයත් වර්ෂාව නිසා නතර කළා.”

තවත් විශේෂාංග ලිපි:

තමන්ගේ පළමු තරග දෙක ම වර්ෂාව විසින් බිලිගත්ත ද පුලිනගේ දක්ෂතා ඊට බිලි වූයේ නැහැ. ඔහු පාසලේ මෙන් ම ඉන් පිටදිත් ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින් පිළිගැනුනා. 

“දවසක් අම්මගෙ මල්ලි ඇවිත් කිවුවා සීනිගම ගුණ ජය සතුට පදනමෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට උදව් කරනවා. ගිහිල්ලා ලියුමක් දෙන්න කියලා. මම තාත්තත් එක්ක ගිහිල්ලා මගේ අඩු-පාඩු ගැන කියලා ලියුමක් දුන්නා. සතියක් යද්දී මට පදනමෙන් කොළඹ කෙනෙක්ට වගේ ගොඩක් ක්‍රිකට් භාණ්ඩ ලැබුණා. සපත්තු දෙක විතරක් තිබුණ මට මේක අදහාගන්නත් බැරි වුනා. කුෂිල් ගුණසේකර සර්ට පිං සිද්ධ වෙන්න මම ඊට පස්සේ හොඳින් ක්‍රිකට් ගැහුවා.”

පුලින, ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා සමඟ.

නමුත් පුලිනට එම ක්‍රීඩා භාණ්ඩත් සමඟ ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ වසරක පමණ කාලයකට පමණයි. පුලිනගේ ක්‍රීඩා භාණ්ඩ මෙන් ම ක්‍රිකට් සිහින ද මෙරට මහා විනාශයක් කළ සුනාමිය විසින් බිලි ගත්තා. ඊටත් වඩා පුලිනට දරා ගන්නට නොහැකි වූයේ ඊට තම මව ද ගොදුරු වීමයි. ඒ කාලකණ්ණි මොහොතේ දී පුලින සිටියේ අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ ක්‍රිකට් පුහුණුවිම්වල නිරත වෙමින්. 

“ඒක මම විශාල කම්පනයකට ලක් කළ ආරංචියක්. මම ගෙදරට ගියෙත් බොහොම අමාරුවෙන්. හැම තැනම හිතා ගන්න බැරි විදිහට විනාශ වෙලා. ඒ යනකොට ගෙදර තිබුණ තැනක්වත් නැහැ. අයියත් සමඟ පොළට ගිය අම්මා නැති වෙලා. අයියා වාසනාවකට වගේ බේරිලා තිබුණා. නංගි මාමලයි ගෙදර ගිහිල්ලා හිටියේ. තාත්තා මුහුදු ගිහිල්ලා. ඒත් තාත්තත් තුවාල වෙලා තිබුණේ. සුනාමියෙන් බේරුණ අපි හතර දෙනා එකට හමුවෙන්නෙත් දවසකට දෙකකට විතර පස්සේ.”

ඒ කම්පනය, තවමත් පුලිනගේ හදවත රිදුම් දෙයි. සුනාමියෙන් මවත් අනෙකුත් සියල්ලත් අහිමි වූ පුලිනලා ඊට පසුව මීටියාගොඩ – කිරළගහවෙළ පංසලේත්, තාත්තාගේ සහ අම්මාගේ ඥාතීන්ගේ නිවාසවලත් මාරුවෙන් මාරුවට කාලය ගත කළා. 

“ඒක හරි දුෂ්කර කාලයක්. කිසිම දෙයක් හිතා ගන්න බැරි කාලයක්. අපි පුංචි වුනත් ඒක අපේ හිත්වලට ගොඩක් දැනුණා. විශේෂයෙන් ම අම්ම නැති වුන එක දරා ගන්න අමාරු වුනා. එහෙම වෙච්ච ගොඩක් වේලාවල් වල අපි හතර දෙනා හිතේ දුක දරා ගන්න බැරිව බඳාගෙන ඇඬුවා. සුනාමියෙන් පස්සේ අපි පාසල් ගියේ පාට ඇඳුම් ඇඳගෙන. අපිට පොත්-පත් නිල ඇඳුම් කිසිම දෙයක් තිබුණේ නැහැ. මම කාලයක් ක්‍රිකට් ගහන දිහාවත් බැලුවේ නැහැ. ඒත් ඉතිං ක්‍රිකට් හිතින් අයින් වුනේ නැහැ.”

මේ අතර කාලයේ දී නැවත පාසලේ ක්‍රිකට් ආරම්භ කරද්දී පුලිනට නැවත පැමිණෙන්නට ආරාධනා කරනවා. පුලිනට ඒ වෙද්දී වෙනදටත් වඩා වැඩියෙන් අඩු-පාඩු තිබුණා. අඩුම තරමින් අඳින්න සුදු ඇඳුමක්වත් තිබුණේ නැහැ. නමුත් ඒ දේවල් එකින් එක පිරිමහ ගැනීමට පුලිනට හැකි වෙනවා. ඒ පවුලේ අයගේ සහ හිත මිතුරන්ගේ සහයෝගයෙන්.

“ඔය අතර නැවත මම තාත්තගෙ සහෝදරියක් සමඟ පදනමට ගිහින් මගේ ගැන කිවුවා. කුෂිල් සර් ඒ අවස්ථාවේදීත් මට උදව් කරන්න ඉදිරිපත් වුනා. මම නැවත ක්‍රිකට් ආරම්භ කළා.”

නමුත් පුලිනට මුහුණ දෙන්න වුන කරදර නම් අඩු වුනේ නැහැ. මහ මුහුදේ වූ සුනාමියෙන් මව බිළිගෙන එළඹි සිව්වැනි වසරේ දී පුලිනගේ ආදරණීය පියාත් මුහුදට ම ගොදුරක් බවට පත් වුනා. පුලිනලාට සිදු වුනේ කබලෙන් ලිපට වැටුණා වගේ සිදු වීමක්. ඒ වෙද්දී පුලිනට අවුරුදු 15ක් විතර ඇති. 

“තාත්තගේ මරණය අපිව නැවත වතාවක් අනාථ කළා. ඒ අවස්ථාවේ අපිව බලා ගත්තේ තාත්තගෙ මල්ලි සහ ආච්චි. නඩත්තු වුනේ බාප්ගෙ රස්සාවෙන්. අමතර කිසිම දෙයක් තිබුනේ නැහැ. අපිට බලකරන්නත් බැහැ. කොහොම හරි ඒ දවස්වල මට ධීවර රස්සාව ගැන පොඩි දැනීමක් තිබුණා. මම ඉඩ ලැබෙන විදිහට වැල්ලට ගිහිල්ලා දන්න අයට උදව් කරලා කීය කීය හරි හොයා ගත්තා. ඒ ක්‍රිකට් ගහන්න තිබුණ ආසාව නිසා අම්බලන්ගොඩ යන්න. හැබැයි ඉතිං, ඒ වෙද්දී මගෙන් පාසල් පාඩම් කටයුතු ටිකෙන් ටික දුරස් වුනා.”

පුලින පාසල් ගියේ ආවට ගියාට වුනත් ක්‍රිකට් පුහුණුවීම්වලට ගියා. ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම්වල නායකයා ලෙසින් ද කටයුතු කළා. 2008 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියා සංචාරයට පවා සහභාගී වෙනවා. 

ඒ වගේ ම පුලින වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් සේ ම යසෝධ ලංකාගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ දකුණු පළාත් කණ්ඩායම් ද නියෝජනය කළා. නමුත් වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම පුලිනගෙන් ඉබේම මඟ හැරෙනවා. 

“මම 2008 අවුරුද්දේ බිග් මැච් ගැහුවා. ඒකෙදි අර්ධ ශතකයක් ලබා ගත්තා. මේ අවුරුද්දේ ම මම සිංහ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. මම සිංහ ගැහුවේ සල්ලි දෙන්නම් කියපු නිසා. මොකද මට වියදමට සල්ලි ඕන වුනා. පාසල් ගමනට වඩා වැදගත් වුණේ ඒක. තරග 6ක් ක්‍රිඩා කරපු මට රුපියල් 12,000ක් ලැබෙනවා. එකෙන් රුපියල් 10,000ක් ආච්චිට දීලා මම රුපියල් 2,000ක් තියා ගන්නවා. සාමන්‍ය පෙළ ලිව්වත් ෆේල් වුනා. ඒක එච්චර හිතට දැනුනෙ නැහැ. නැවත වතාවක් විභාගය කරන්න හිත දුන්නෙත් නැහැ. මේ කාලයේ ම පදනමෙන් කොළඹ ක්‍රිකට් ගහන්න යන්න කතා කරනවා. මාව බලාගන්නම් කියලත් කියනවා. ඊට පස්සේ මම කොළඹ  යනවා. අම්බලන්ගොඩ ක්‍රිකට් අතහැරෙනවා.”

කොළඹ පැමිණි පුලින ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය හා එක්වෙමින් වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ සමඟම මුරලි කප් තරගාවලිය වෙනුවෙන් සීනිගම ගුණ ජය සතුට පදනම් කණ්ඩායම  නියෝජනය කළා. එහි නායකයා වුනෙත් පුලින. එහි තරග 5ක, තරගයේ දක්ෂතම පිතිකරු, පන්දු යවන්නා සහ තරගයේ වීරයා සම්මාන ත්‍රිත්වයන් ම සෑම තරගයක දී ම දිනා ගන්නවා. 

“කොළඹ ඇවිත් මම නතර වුනේ ටැමිල් යූනියන් ක්ලබ් හවුස් එකේ. අලුත් අත්දැකීමක්. හැම දෙයක් ම මට කරගන්න වුනා. මම ඒකටත් මුහුණ දුන්නා. ඊට පස්සේ කුෂිල් සර්ගේ ගෙදර නතර වෙන්න අවස්ථාව ලැබුණා. මම ඒ වෙද්දීත් අවුරුදු 19න් පහළ මට්ටමේ හිටියේ. ටැමිල් එකේ සහ මුරලි කප් තරගාවලියේ පෑ දක්ෂතා නිසා මාව වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට තේරෙනවා.”

පුලින, කුමාර් සංගක්කාරගෙන් උපදෙස් ලබමින්.

එතන දී පෑ දක්ෂතා හේතුවෙන් පුලිනට ඇන්ජලෝ ජයසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම හා එක්වෙමින් ඉන්දීය සංචාරයකට එකතු වෙන්නට අවස්ථාව උදා වෙනවා. එහි දී ඔවුන් මුහුණ දෙන්නේ ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව සමඟ සහභාගී වූ සිව්කොන් තරගාවලියකට. 

ඉන් අනතුරුව මැලේසියාවේ දී පැවති ආසියානු කුසලානය නියෝජනය කිරීමටත්, 2012 වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සනිත ද මෙල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වීමටත් අවස්ථාව ලැබෙනවා.

“ගමෙන් කිසිම දෙයක් නැතිව ආපු මට මේ තරම් දුර එන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේ ගමන එන්න මට හැකි වුනේ කුෂිල් ගුණසේකර සර් නිසා. ඔහු මාව දරුවෙක් වගේ බලා ගත්තා. ඔහු නොවන්න මම තවමත් ගමේ ක්‍රිකට් ගගහා ඇවිදිනවා. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි දේක නිරත වෙලා. ඒ වගේ ම සර්ගෙ හිතවතෙක් වන ඩිනාල් පිලිප් සර් ද ගොඩක් උදව් කළා.”

ඊට පසුව පුලිනගේ ක්‍රිකට් දක්ෂතා ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සේ ම වරාය අධිකාරිය ක්‍රිකට් සමාජයට ද ලැබෙනවා. ඔහු මේ වන විට තම දක්ෂතා මුදාහරිමින් සිටින්නේ හලාවත මේරියන්ස් කණ්ඩායම වෙත. එමෙන් ම වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී ඔහු ඩිමෝ කණ්ඩායම නියෝජනය කරනවා. පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ද පුලිනට අවස්ථාව උදා වෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා එක්ව පුහුණුවීම්වල නිරත වෙනවා.

“මේ ආපු ගමන ගැන ඇත්තට ම සතුටුයි. කුෂිල් සර්, ඩිනාල් සර් වගේ ම ඩිමෝ ආයතනයේ රංජිත් පණ්ඩිතගේ සර් ද මගේ ක්‍රිකට් ජීවිතයට ගොඩක් උදව් කළ අයෙක්. අධ්‍යාපනය අතරමග නතර කරගත්ත මට හොඳ රැකියාවක් ලබා දෙමින් මගේ ජීවිතයට ස්ථීර අඩිතාලමක් දා ගැනීමට පණ්ඩිතගේ සර් උදව් කළා. ඒ වගේ ම ඕස්ට්‍රේලියා ජාතික ඩේවිඩ් හුක්ස් මහතා සහ පාසලේ සුරාජ් සංජිව සර් ද මගේ ක්‍රිකට් ජීවිතයේ කොටස්කරුවන් ලෙසින් නම් කරන්න පුළුවන්” පුලින පවසනවා. 

මේ සියලු දෙනා සමඟ ආ ගමනේ අවසානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයකට පිවිසීම බැව් පුලින පවසනවා. ඔහුගේ එම බලාපොරොත්තුව සඵල වේවායි ThePapare.com හි ද ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<