ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හිටිහැටියේ නතර වෙන්නේ ලෝකයම වෙලාගත් කොරෝනා වසංගතය හේතුවෙන්. තවමත් පාසල් ක්‍රිකට් පිටිය හරි හැටි විවෘත වෙලා නෑ. ඒ කාලයේ ThePapare.com වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් තේරුවා. එහි 7 වැනි ස්ථානයට තේරෙන්නේ ලොහාන් ද සොයිසා.
“ඒ කණ්ඩායමේ මටත් තැනක් හිමිවීම ගැන ඇත්තට ම සතුටුයි. අපි ඒ වෙද්දී තරග 13ක් ක්‍රීඩා කරල තිබුණෙ. ඉතිරි වෙලා තිබුණෙ තරග දෙකක් සහ බිග් මැච් එක විතරයි. මගේ ඉලක්කය වෙලා තිබුණෙ නිමා වූ ඒ සීසන් එකේ දී ලකුණු 1000ක් වාර්තා කරලා කඩුලු 100ක් ද වාර්තා කරන්න. ඒත් මට ඒක මඟ හැරෙනවා. නමුත් මම එතෙක් පෑ දක්ෂතාවය ThePapare.com අගය කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.”
ලොහාන් අරෝෂ ද සොයිසා, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පළමු පෙළ තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කළ ඔවුන් තරග 13ක් අවසන් කරන විට ලොහාන් ඒ සෑම තරගයකටම ක්‍රීඩා කරමින් වමත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ලබා සිටි ලකුණු සංඛ්‍යාව 848ක්. වමතින් පා දඟපන්දු යවන්නෙක් ලෙසින් නොමැති නම් චයිනමන් පන්දු යවමින් ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 88ක්.
“මට මගේ ඉලක්කයට යන්න පුළුවන් වුනා නම් මම තමයි අපේ පාසලෙන් ලකුණු 1000ක් සම්පූර්ණ කරලා කඩුලු 100ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා” ලොහාන් පවසනවා.
නිමා වූ වසරේ ලොහාන්ලාගේ නායකයා වුනේ කවිඳු නදීශාන්. කවිඳු, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වෙමින් සිටි නිසා පාසල් ක්‍රිකට් තරග වාරය අහිමි වෙනවා. ඒ නිසා උපනායකයාව සිටි ලොහාන්ට ධර්මාශෝක විද්‍යාලය මෙහෙයවීමේ වගකීම ද පැවරෙනවා. ඔවුන් ක්‍රීඩා කළ තරග 13න් 12කම නායකත්වය දරන්නේ ලොහාන්. මේ වගකීමත් සමගින් ලොහාන් වඩාත් වැදගත් සාධනීය ගමනක් යනවා.
ඔහුගේ ලකුණු සංඛ්‍යාවට ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් ඇතුළත්. මොරටු විද්‍යාලයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලබා ගත් ලකුණු 150 තමයි ඔහුගේ හොඳම ඉනිම වුනේ. එම තරගයේ දී ඉනිම දෙකේ දී ම කඩුලු 5 බැගින් වාර්තා කරමින් තරගයේ දී කඩුලු 10ක් ද වාර්තා කරමින් මොරටු ක්‍රීඩකයන්ගේ හිංසකයා බවට පත් වුනේ ලොහාන්.
“ඒ තරගය මගේ ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන තරගයක්. මම කැමතිම ක්‍රීඩාංගණයේ දී මේ දක්ෂතාව කිරීමට මට හැකි වීම ගැන ඊටත් වඩා සතුටුයි. ගොඩක් දෙනෙක් මට සුබ පැතුවා. මගේ දෙමාපියන් සහ හිතවතුන් වැඩි පිරිසක් තරගය නරඹන්න පැමිණ සිටියා. තරගයේ දී තුන් ඉරියව්වෙන් පෑ දක්ෂතා ගැන සෑම මාධ්‍යයකින්ම විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. ගොඩක් දෙනෙක් මා ගැන වැඩියෙන් කතා කරන්න ගත්තේ ඒ තරගයත් සමඟයි.”
එම ඉනිමට අමතරව ලොහාන්, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 100ක් සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 109ක් ලබා ගන්නවා.
මොරටුවට එරෙහිව දියත් කළ සංග්‍රාමයට නොදෙවැනි සංග්‍රාමයක් කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව දියත් කිරීමට ද ලොහාන් සමත් වෙනවා. ඔහු එම තරගයේ දී ශතකයක් ලබා ගැනීමට අමතරව තරගයේ දී කඩුලු 11ක් වාර්තා කරනවා. එවැනි තවත් ඉනිමක් තමයි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව වාර්තා කරනු ලැබූ දක්ෂතාව. ඔහු එහි දී ඉනිම් දෙකේ දී ලකුණු 97ක් සහ ලකුණු 67ක් ලබා ගනිමින් තරගයේ දී කඩුලු 10ක් වාර්තා කරනවා.
ලොහාන්ගේ පාසල් ක්‍රිකට් වාරයේ තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා වෙනවා. ඒ මොරටු විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඩී .එස්. සේනානායක විද්‍යාලයට එරෙහිවයි.
“සෑම තරගයක දී ම මගෙන් ඉටු විය යුතු සේවයක් තියෙනවා, ඒක හරියට ඉටු කරන්න ඕන කියන හැඟීමෙනුයි මම ක්‍රීඩා පිටියට එන්නේ. ඒ වගේම තරගයක් ලේසියෙන් අතහරින්නත් මම කැමති නැහැ. අවසාන පන්දුව දක්වා ෆයිට් කරනවා. සමහර විට ඒ හැඟීමත් එක්ක වෙන්න ඇති මට මේ දක්ෂතා දක්වන්න ලැබුණේ. ඒකට මගේ කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.”
ලොහාන් 2019 වසරේ මෙරට දී පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 25 අතර රැඳී සිටියා. නමුත් ඔහුට එහි අවස්ථාවක් ලැබුණේ නැහැ. එසේ වූවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී රුවින් පීරිස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමට ලොහාන් සමත් වෙනවා.
එහි දී දඹුල්ල සමඟ පැවති පළමු තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 28ක් ද, පන්දු යවන්නෙක් ලෙසින් කඩුල්ලක් ද ලබා ගන්නවා. ලොහාන්ට මේ දක්ෂතාව මදිකමක්. ඊට පෙර පැවති තරග දෙක ද ලොහාන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. මේ නිසා ලැබෙන ඊළඟ තරගයේ දී දක්ෂතා අතරට පැමිණිය යුතුයි කියන සිතුවිල්ලේ ලු ලොහාන් සිටියේ.
“කණ්ඩායමේ පළමු 11 අතරට එන්න අපි අතර ලොකු තරගයක් තිබුණා. ලැබුණ තරගයේ දී මගෙන් හරි සේවයක් වුනේ නැහැ කියන හැඟීම හිතට ගොඩක් වද දුන්නා. ඊළඟ තරගයේ දී මීට වඩා දක්ෂතා දැක්විය යුතුයි කියන හැඟීමත් හිතට ලොකු වදයක් වුනා. එහෙම තියෙද්දී තමයි, මට ඊළඟ තරගයත් ලැබුණේ.”
එම තරගය පැවතියේ තම උපන් පළාතේ ක්‍රීඩකයන්ට එරෙහිව. ප්‍රතිවාදීන් වූයේ ගාල්ල කණ්ඩායම. එම තරගයේ දී ලොහාන් කඩුලු ත්‍රිත්වයක් සමගින් තරගය නිමා කරද්දී ලකුණු 48කට කඩුලු 5ක් ලබා ගන්නවා. එම තරගාවලියේ මංගල සහ එක ම ත්‍රිත්ව කඩුලු ලාභියා වෙන්නේ ලොහාන්. එමෙන්ම එම තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 44ක් ද ලබා ගැනීමට ලොහාන් සමත් වෙනවා. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙන්නේ ලොහාන්.
මේ ලෙසින් සටහන් වූ ලොහාන්ගේ ක්‍රිකට් ගමන ආරම්භ වෙන්නේ පාසලේ 2 පංතියේ සිට. එතැන් අවුරුදු දෙක තුනක් විතර යන තුරු ලොහාන්ගේ ගමනේ ක්‍රිකට් වෙනුවෙන් ලොකු දෙයක් සිදු වෙන්නේ නැහැ. “මම පුංචි නිසා ආරම්භයේ දී පුහුණුවීම්වලට පවා මාව ගත්තේ නැහැ. ඒත් මගේ වද කිරීමට තාත්ත මාව පුහුණුවිම්වලට එක්කගෙන ගියා. අන්තිමට මම අවුරුදු 3ක් විතර සැරින් සැරේ අවුරුදු 13න් පහළ B කණ්ඩායමේ ක්‍රීඩා කළා. ඊට පස්සෙ 13න් පහළ අවසන් අවුරුද්දේ තමයි මට A කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ” ලොහාන් පැවසුවා.
එතැන් සිට තමයි ලොහාන් හරියටම ක්‍රිකට් අල්ල ගන්නේ. ඒ අවුරුද්දේ 13න් පහළ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වීමට ලොහාන්ට හැකි වුනා. එහි පෑ දක්ෂතා නිසාම වයස අවුරුදු 15න් පහළ කඩඉමට පිවිසෙද්දීම ලොහාන්ට වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා.
ඒ 2017 වසර. ලොහාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මැලේසියා සංචාරයට එක් වෙනවා. එහි දී තරග දෙකක් ක්‍රීඩා කිරීමට ලැබුනත් එතරම් දක්ෂතා දැක්වීමට හැකි වුනේ නැහැ කියලයි ලොහාන් කියන්නේ. කොහොම වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනා ගන්නවා. ඒ ගැන නම් ලොහාන් සතුටින් කතා කළා.
තවත් විශේෂාංග ලිපි:
- පරණවිතානගේ පරණ නොවන මතකයන්
- පළමු පෙළ වේගවත්ම ශතකයේ හිමිකරු “සඳුන්”
- මලල ක්‍රීඩාවෙන් වාර්තා තැබූ ක්‍රිකට් ක්‍රීඩකයා “දුෂාන්”
- 2020 පාසල් මහා තරග වීරයෝ – බවන්ත ජයසිංහ
- පළමු යොවුන් තරගාවලියේ දී ම වීරයා වූ “සාලින්ද”
ඉන් අනතුරුව වයස අවුරුදු 17න් පහළ කාණ්ඩයේ දී ලොහාන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ දඟපන්දු යවන්නන්ගේ සංචිතයේ සාමාජිකයෙක් ලෙසින් සිටියා. එම කාලය වූ 2018/19 කාලයේ දී පාසලේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩයම ද නියෝජනය කළ ලොහාන් පාසල් ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන විට පිතිකරුවෙක් ලෙසින් ලකුණු 812ක් සහ පන්දු යවමින් කඩුලු 56ක් ලබා ගන්නවා.
“එතනින් තමයි මම ගැන ගොඩක් දෙනෙක් කතා කරන්න ගත්තේ. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට පවා එක් වීමට අවස්ථාව ලැබෙන්නේ එම දක්ෂතාත් සමඟින්. ඊට පස්සෙ අවුරුද්දේ මට ඒ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම මට මේ අවුරුද්දේත් වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙනවා. පාසල් කණ්ඩායමේ නායකත්වය ලබා දී තිබෙන්නේ මට. පසුගිය වසරේ දී කරන්න බැරි වුන දේවල් සමඟින් මේ අවුරුද්දේ දී පාසල් ක්‍රිකට් තරගාවලියට ඉතා හොඳින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.”
ලොහාන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් සමස්ත ලංකා මට්ටමේ දක්ෂතා දක්වන්න කලින් පදක්කම්ලාභී බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්. ඔහු සමස්ත ලංකා ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ ශූරයා. ඒත් ඉතිං ඒ සමග ම ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාවට තිත තියනවා.
“මගේ වැඩි කැමැත්තක් තිබුණෙ ක්‍රිකට්වලට. බැඩිම්න්ටන්, ක්‍රිකට්, ඉගෙනීම කියන තුන අතුරින් දෙකක් තෝර ගන්න වුනා. කොහොමටත් ඉගෙනීම තියෙන්න ඕන නේ. මම ක්‍රිකට් තෝර ගත්තා. බැඩ්මින්ටන් අතහැරියා කියල ලොකු කනගාටුවක් දැණුනෙ නැහැ. ක්‍රිකට් වෙනුවෙන් ඒ කාලයත් වැය කරමින් මම අද පැමිණි ගමන ගැන, ඉන්න තැන ගැන සතුටු වෙනවා.”
ලොහාන්ගේ සහෝදරයා හර්ෂාන් ද සොයිසා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු මේ වන විට රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන අතර එහි ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරනවා. ඔහුගෙන් ලොහාන්ගේ ක්‍රිකට් ජීවිතයට ලැබුණ දායකත්වය ද ඔහු අගේ කරනවා. එමෙන්ම පියා, නාගරික සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු සජීව ද සොයිසා ද, ගෘහණියක වන අමිතා ලුම්බිණි වඩුතන්ත්‍රි ද, නැගණිය පුන්සරණි ආරෝෂණ ද සොයිසා, ලොහාන්ගේ ක්‍රිකට් ජීවිතයේ නිරන්තරයෙන් සැරිසන්නෝ.
ලොහාන්ගේ ක්‍රිකට් ජීවිතය ගොඩනැංවීමේ දී නැසී ගිය හැළඹගේ ප්‍රේමසිරි සහ කුසුම් නන්දසිරි යන මහත්වරුන් දැක්වූ දායකත්වය ඉතා ඉහළින් අගය කරනවා. එමෙන්ම අසෝක කුමාර, යසරත්න ද සිල්වා. සමන් ලසින්ත, විරාජ් චමින්ද, ඉසුරු වික්‍රමසිංහ, තිලාන් මධුරංග සහ වර්තමාන පුහුණුකරුවන් වන කමල් කාරියවසම් සහ අජන්ත කුමාර යන මහත්වරුන් දැක්වූ සහයෝගය ද සුළුපටු නොවන බවයි ලොහාන් පවසන්නේ. එමෙන්ම විද්‍යාලයීය විදුහල්පති, ක්‍රිකට් භාර ආචාර්යවරුන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් සහ විද්‍යාලයීය සියලු ගුරුවරුන් ද සහෝදර සිසුන් දක්වන දායකත්වය ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ ක්‍රිකට් එකමුතුව ද ගෞරවයෙන් සිහිපත් කරනවා.
“මේ සියලුම දෙනා වගේම තවත් නම් නොකී බොහෝ දෙනෙක් මගේ ක්‍රිකට් ජීවිතයට විවිධාකාරයෙන් උදව් කරල තියෙනවා සහ උදව් කරනවා. ඒ සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.”
ලොහාන් දක්වන මේ දක්ෂතාත් සමගින් අනාගතයේ දී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තු වෙනවා. ඔහුගේ එම බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com අප ද සුබ පැතුම් එක් කරනවා.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<