දුනිත් සහ හර්ෂිතා ICC සම්මාන සඳහා නිර්දේශ ලබයි

ICC Player of the Month August 2024

4
Dunith Wellalage and harshitha Samarawickrama

ICCය විසින් ගෙවුණු අගෝස්තු මාසය සඳහා තෝරාගන්නා මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන සඳහා ශ්‍රී ලංකාවෙන් දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම දෙදෙනා යෝජනා වී තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ

ඉන්දියාව සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් කරා රැගෙන යාමට සමත් වූ දුනිත් විසින් තරග තුනක් තුළ ලකුණු 108ක් සහ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ පළමු තරගයේ දී ඔහු නොදැවුණු ලකුණු 67ක් ද සමඟ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, දෙවැනි තරගයේ දී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා.

තෙවැනි තරගයේ දී ඔහුට පිත්තෙන් එතරම් සාර්ථක වීමට නොහැකි වූ නමුත්, තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සිදු කළ දුනිත් එහි දී ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

දුනිත්ට අමතරව මෙම සම්මානය සඳහා දකුණු අප්‍රිකාවේ Keshav Maharaj සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Jayden Sealesගේ නම් ද යෝජනා වී තිබෙනවා.

හර්ෂිතා සමරවික්‍රම

නිමා වූ කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ හර්ෂිතා, ඉන් පසුව ගෙවුණු මාසයේ දී අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ද පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

අයර්ලන්තය සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවුණු ලකුණු 86ක් සහ 65ක් ලබා ගැනීමට සමත් වූ හර්ෂිතා, එතැනින් ද නොනැවතී එක්දින තරගාවලියේ දී පිළිවලින් ලකුණු 19ක්, 105ක් සහ නොදැවුණු ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා.

හර්ෂිතාට අමතරව මෙම සම්මානය සඳහා අයර්ලන්තයේ Olga Prendergast සහ Gaby Lewis යන දෙදෙනා ද සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම සම්මාන ද්විත්වයට හිමිකම් කියන්නේ කවුරුන් ද යන වග නුදුරේ දී ම දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<