ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවට ජය හිමිකර දෙමින් නිමා වූයේ තවත් එක් දිනක් ඉතිරිව තිබිය දී ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය කණ්ඩායම් ද්විත්වයටම අතිශයින්ම වැදගත් තරගාවලියක් විය. තරගාවලිය තුල කණ්ඩායම් දෙකෙහිම නායකයින් පිළිබඳව බොහෝදෙනා සිය අවධානය යොමුකර තිබුණි.
තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු නායකත්වය හිමිවූයේ Quinton De Kock හටය. පසුගිය පෙබරවාරි මාසයේ දී Faf Du Plessis නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව De Kock හට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක Graeme Smith දැඩි ලෙස විරුද්ධ වී තිබුණි. ඒ කඩුලු රකින්නා සහ කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු ලෙස ඔහුට පැවරී ඇති වගකීම් අධික වීම නිසාවෙනි.
කෙසේ වෙතත් තේරීම් කමිටුවේ තීරණය අනුව Quinton De Kock නායකත්වයකට පත්විය. සෙන්චූරියන් හි පැවති පළමු ටෙස්ට් තරගය Quinton De Kock නායකත්වය සැපයූ පළමු ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි. මීට පෙර ඔහු පළමු පෙළ ටෙස්ට් තරගයක් හෝ මෙහෙයවා නොමැත.
අනෙක් අතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබුණේ දිමුත් කරුණාරත්න හටය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වීමට පෙර පළමු පෙළ තරග 45ක් ක්‍රීඩා කර තිබුණි. ඉන් අනතුරුව 2012 වසරේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකයා ලෙස ඔහු දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟින් තරගාවලියක් සඳහා සහභාගී විය.
2019 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා ලෙස දකුණු අප්‍රිකාවේ සංචාරයක් සඳහා එක්වන දිමුත් කරුණාරත්න එහි දී ටෙස්ට් වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය.
ඩර්බන් හි පැවති ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එය ඒ වන විට ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාව තුල වාර්තා කළ ප්‍රබල ජයග්‍රහණවලින් එකක් විය. ඉන් අනතුරුව සාන්ත ජෝර්ජ් පාක් හි පැවති දෙවන ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරගාවලියේ ජයග්‍රහණය ද ලබා ගැනීමට සමත් විය. මෙම තරගාවලි ජයග්‍රහණය ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාව තුල වාර්තා කළ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
දිමුත් කරුණාරත්න යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන දකුණු අප්‍රිකානු සංචාරය වෙන වත්මන් සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි තරගාවලිය ආරම්භ වීමට පෙර බොහෝ දෙනා අනාවැකි පලකර තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කරමින් තරගාවලියට පෙර තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා තරගාවලියෙන් ඉවත්විය.
තවත් ක්‍රිකට් පුවත්:
- දකුණු අප්‍රිකාවේ lockdown නිසා තරගාවලියට බාධාවක් නැහැ!
- එළඹෙන අප්‍රේල් මාසයේ දී බංගලියෝ ශ්‍රී ලංකාවට
- දකුණු අප්‍රිකානුවෝ 2020ට සතුටින් සමුදෙති
- ටෙස්ට් තරගවල ක්‍රීඩක ආදේශය ගැන Mickey Arthurගෙන් යෝජනාවක්
- පාපන්දුවෙන් පටන්ගෙන ක්‍රිකට්වලින් දශකය අවසන් කළ ක්‍රීඩිකාව
ශ්‍රී ලංකා කණ්ඩායමේ අපලය අවසන් නොමැති බව තහවුරු කරමින් පළමු ටෙස්ට් තරගයට පෙර වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද ආබාධයකට ලක්විය. ඇන්ජලෝ මැතිව්ස් මෙරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය අතරතුර ආබාධයකට ලක්වූ අතර සුරංග ලක්මාල් දකුණු අප්‍රිකාවේ පැවති පුහුණු සැසියක් අතරතුර ආබාධයකට ලක්විය.
ආබාධ රැසක් මැද පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසිය ද තරගයේ පළමු දිනයේ දී ම කණ්ඩායම පසුබෑමකට ලක්කරමින් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ආබාධයකට ලක්වීමෙන් තරගයෙන් මෙන්ම තරගාවලියෙන් ද ඉවත්විය.
තරගයේ තුන්වැනි දිනය වන විට තවත් ආබාධ රැසක් වාර්තා වූ අතර ඒ අතරට කසුන් රාජිත, ලහිරු කුමාර, වනිඳු හසරංග සහ දිනේෂ් චන්දිමාල් ද ඇතුළත් විය. වනිඳු හසරංග ගේ සහ චන්දිමාල් ගේ ආබාධ එතරම් බරපතළ නොවූ අතර ලහිරු කුමාර සහ කසුන් රාජිත ඔවුන්ගේ ආබාධ හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා නොකරන බව වාර්තා විය.
“නායකයෙක් විදිහට මට මේක ලේසි දෙයක් නෙමෙයි” දිමුත් කරුණාරත්න තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමින් පවසා සිටියේය.
“මට මේ තත්වවලට ගැළපෙන විදිහට පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නන් හිටියේ නැහැ. ඒ නිසා දසුන් ශානක සිව්වැනි පන්දු යවන්නා වගේම පිතිකරුවෙකු විදිහටත් යොදාගන්න මට සිදු වුනා. අවාසනාවකට ඔහුට සිදු වුනා වැඩියෙන් පන්දු යවන්න. මොකද අපේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනාම හිටියේ නැහැ. ”
දැන් පළමු ටෙස්ට් තරගය අවසන් වී ඇත. දෙවන ටෙස්ට් තරගය සඳහා තවත් ඇත්තේ දින 6ක් පමණි.
“නායකයා විදිහට තරගාවලිය තවමත් අවසන් නැහැ කියන පණිවිඩය මම ක්‍රීඩකයන්ට ගෙනියන්න ඕනේ. අපිට තවත් තරගයක් තියනවා. අපි අපේ තත්ත්වය ගැන දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නායකයා විදිහට මම කණ්ඩායමේ මානසිකත්වය හදාගෙන දෙවෙනි තරගයට යන්න ඕනේ” කරුණාරත්න තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
දකුණු අප්‍රිකානු නායකත්වය හිමි වූ Quinton De Kock මීට පෙර එක්දින තරග 8ක් සහ විස්සයි විස්ස තරග 11ක් මෙහෙයවා තිබේ. නමුත් ටෙස්ට් තරගයක් මෙහෙයවීම එයට හාත්පසින්ම වෙනස් අභියෝගයකි. සැබැවින්ම එයට වඩා අසීරු අභියෝගයකි. නමුත් De Kock පවසා සිටියේ එය පහසු දෙයක් බවයි.
“මම හිතන්නේ ඒක පහසු වුනා. ටෙස්ට් තරගයක දී වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න අපිට වෙලාව තියනවා. අනෙක් තරගවල දී එහෙම නැහැ. මට මේ අභියෝගය පහසුවෙන්න තවත් හේතුවක් වුනේ අපේ කණ්ඩායමේ හොඳ නායකයන් රැසක් හිටියා. මට උදව්වක් ඕනේ වුනාම මම ඔවුන්ගෙන් ගිහින් ඇහුවා. Dean Elgar, Rassie Van Der Dussen, Temba Bavuma, Faf du Plessis මට ගොඩක් උදව් කළා.”
Quinton De Kock දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග 216කට ක්‍රීඩා කර ඇති අතර ඉන් 177ක්ම Faf du Plessis සමඟින් ක්‍රීඩා කර ඇත. එහි දී තරග 101කම නායකයා වූයේ Faf du Plessis ය.
“මම මීට කලින් ටෙස්ට් තරගයක නායකයා වෙලා නැහැ. පළමු පෙළ තරගයක දී වත්. මගේ ටෙස්ට් ක්‍රීඩා දිවියේ මම වැඩිපුරම හිටියේ Fafගේ නායකත්වය යටතේ. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔහු කණ්ඩායමේ ඉන්න නිසා මට ලොකු පීඩනයක් තිබුණේ නැහැ. ඇත්තෙන්ම මට නායකත්වය නිසා අභියෝගයක් එල්ල වුනේ නැහැ.”
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි මස 3 වැනිදා ජොහැන්ස්බර්ග් හිදී පැවැත්වීමට නියමිතව ඇත.
Cricbuzz ඇසුරිනි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<