ඉසිපතන සහ සාන්ත පීතර විද්‍යාල අපරාජිතව ඉදිරියට

Dialog Schools Rugby League 2024

2
Dialog Schools Rugby League 2024

2024 Dialog පාසල් රග්බි ලීගයේ 08 වැනි සහ අවසන් සතියේ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

රාජකීය විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

(සුගතදාස ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගය රාජකීය විද්‍යාලය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. තරගයේ පළමු අර්ධයේ පටන් ම රාජකීයයන් විසින් තරගයේ ආධිපත්‍යය සියතට ගනිමින් ක්‍රීඩා කළ අතර, පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතරවාරයේ තර්ස්ටන් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ රාජකීය විද්‍යාල විසින් තවත් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වූ අතර, තර්ස්ටන් විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 09ක් පමණයි.

මෙහි දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් 15ක් වාර්තා වූ අතර, ඉන් 6ක් දිදුල ජයසූරිය සතු වූ අතර, තවත් උත්සාහක දිනුම් 5ක් අමික සමරසිංහ සතු වුනා.

  • රාජකීය විද්‍යාලය 97(15T, 11C) – තර්ස්ටන් විද්‍යාලය 16 (1T, 1C, 3P)

තරගයේ වීරයා දිදුල ජයසූරිය (රාජකීය විද්‍යාලය)

වෙස්ලි විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

(හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කර සටනක නිරත වූ අතර, එහි දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ඉන් පසුව එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් වෙස්ලි විද්‍යාලය තරගය පහසු ජයක් කරා රැගෙන යාමට සමත් වුනා.

  • වෙස්ලි විද්‍යාලය 34(5T, 3C, 1P) – සාන්ත ජෝසප් විද්‍යාලය 12 (2T, 1C)

තරගයේ වීරයා – M. Fawas (වෙස්ලි විද්‍යාලය)

ත්‍රිත්ව විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

(පල්ලෙකැලේ දී)

මෙම තරගයත් ත්‍රිත්ව විද්‍යාලය පාර්ශවය බර වූ එකක් ලෙසින් ආරම්භයේ පටන් ම ඇදී ගියා. තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ධර්මරාජ විද්‍යාලයට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදෙමින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා. දෙවැනි අර්ධයේ දී ධර්මරාජ විද්‍යාලය ද ලකුණු 14ක් ලබාගැනීමට සමත් වූ නමුත් එය ඔවුන්ට පරාජයකින් බේරීමට කිසිසේත් ම ප්‍රමාණවත් වුනේ නැහැ.

  • ත්‍රිත්ව විද්‍යාලය 40(6T, 5C) – ධර්මරාජ විද්‍යාලය 14 (2T, 2C)

තරගයේ වීරයා දිනූශ පීරිස් (ත්‍රිත්ව විද්‍යාලය)

සහිරා විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

(බෝගම්බර දී)

මෙම තරගයත් සම්පූර්ණයෙන්ම පාහේ ඒක පාර්ෂවික තරගයක් ලෙස ක්‍රියාත්මක වූ අතර, මෙහි දී සහිරා විද්‍යාලය ඉතා පහසු ජයක් කරා යෑමට සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් ලකුණු 26ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා. නමුත් මෙම සමස්ත තරග කාලය පුරාවටම කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

  • සහිරා විද්‍යාලය 38(6T, 4C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 00

තරගයේ වීරයා ඉජාස් ඉනාම් (සහිරා විද්‍යාලය)

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය

(හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ දී ඉසිපතන විද්‍යාලය තම අපරාජිත ගමන රැක ගැනීම වෙනුවෙන් සටන් වැදුණු අතර, සාන්ත තෝමස් විද්‍යාලය මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සටන් වැදුණා.

එම නිසාම තරගයේ පළමු අර්ධය ඉතා තියුණු අන්දමින් ඇදී ගිය අතර, පළමු අර්ධය තුළ දෙපිළම ලකුණු 10 බැගින් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ දී ඉසිපතන විද්‍යාලය තරගයේ පෙරමුණට පැමිණි අතර, එහි දී ඔවුන් තවත් ලකුණු 31ක් ලබා ගන්නා අතරේ තෝමසුවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 17ක් පමණයි.

  • ඉසිපතන විද්‍යාලය 47(7T, 3C) – සාන්ත තෝමස් විද්‍යාලය 27 (4T, 2C, 1P)

තරගයේ වීරයා ශහීඩ් සුම්‍රි (ඉසිපතන විද්‍යාලය)

විද්‍යාර්ථ විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

(නිත්තවෙල දී)

මෙම තරගය සම්පූර්ණයෙන්ම පාහේ සාන්ත පීතර විද්‍යාලය සතු වූ අතර, එහි පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 21ක් ලබා ගන්නා අතරේ විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. එමෙන්ම තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත පීතර විද්‍යාලය තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතරම, ඔවුන් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ද නැහැ.

සාන්ත පීතර විද්‍යාලය 42 (6T, 6C) – විද්‍යාර්ථ විද්‍යාලය 03 (1P)

තරගයේ වීරයා – Raul Peter (සාන්ත පීතර විද්‍යාලය)

විද්‍යා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය

(සුගතදාස ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ පළමු අර්ධයේ දී දෙපිළම ඉතා තියුණු සටනක නිරත වූ අතර, විද්‍යා විද්‍යාලය ලකුණු 12ක් ලබා ගන්නා අතරේ ඩී.එස්. ක්‍රීඩකයින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ඩී.එස් ක්‍රීඩකයින් නතු වූ අතර, ඔවුන් එහි දී තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනේ විද්‍යා විද්‍යාලය ලකුණු අතරට පිවිසීම වළක්වන අතරේමයි.

  • ඩී.එස්. සේනානායක විද්‍යාලය 39(6T, 3C, 1P) – විද්‍යා විද්‍යාලය 12 (2T, 1C)

තරගයේ වීරයා ලංකේශ් වික්‍රමසිංහ (ඩී.එස්.සේනානායක විද්‍යාලය)

ශ්‍රී සුමංගල විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

(බෝගම්බර දී)

ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු වඩාත් තියුණු තරගයක් වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 15ක් ලබා ගන්නා අතරේ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

පළමු අර්ධයේ ලද ඉදිරිය රැක ගනිමින් දෙවැනි අර්ධය ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් මෙවර තරගවාරයේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනේ තවත් ලකුණු 10ක් ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. මෙම අර්ධයේ දී ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ද ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනත් එය ඔවුන්ට ජයග්‍රහණයක් කරා යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

  • සාන්ත අන්තෝනි විද්‍යාලය 25(3T, 2C, 2P) – ශ්‍රී සුමංගල විද්‍යාලය 17 (2T, 2C, 1P)

තරගයේ වීරයා ඔමිත දිසානායක (සාන්ත අන්තෝනි විද්‍යාලය)

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<