පාසල් රග්බි ලීගයේ සිව්වැනි සතියත් සාර්ථකව අවසන් වෙයි

Dialog Schools Rugby League 2024

8
Dialog Schools Rugby League 2024

Dialog පාසල් රග්බි ලීගයේ සිව්වැනි සතියට අදාළ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

(බෝගම්බර දී)

මෙම තරගයෙන් තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වූ අතර, තරගයේ ආරම්භයේ පටන් ඔවුන් සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වුනා.

පළමු අර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩ ලබා නොදෙමින් ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් ලකුණු 19ක් ලබා ගත්තා. මෙම අර්ධයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් ද ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනත් එය ජයග්‍රහණයක් කරා යෑමට කිසිසේත් ම ප්‍රමාණවත් වුනේ නැහැ.

කිංග්ස්වුඩ් විද්‍යාලය 31 (5T, 3C) – තර්ස්ටන් විද්‍යාලය 17 (2T, 2C, 1P)

තරගයේ වීරයා රිවින් බවුඩ්වීන් (කිංග්ස්වුඩ් විද්‍යාලය)

ඉසිපතන විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

(Havelock ක්‍රීඩාංගණයේ දී)

ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු ඉතා උණුසුම් තරගයක් වූ මෙම තරගයේ ආරම්භයේ පටන් ම දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වූ නමුත්, තරගයේ පළමු අර්ධය තුල වැඩි වාසි ලබාගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගත්තා. මේ අතරතුර ඉසිපතන ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණු අතර, ඔවුන් දෙවැනි අර්ධය තුල උත්සාහක දිනුම් දෙකක් සමඟින් ලකුණු 12ක් වාර්තා කිරීමට සමත් වුනා. නමුත් මේ අතරවාරයේ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

ඉසිපතන විද්‍යාලය 15 (2T, 1C, 1P) – ත්‍රිත්ව විද්‍යාලය 13 (1T, 1C, 2P)

තරගයේ වීරයා අවිශ්ක හිරාන් (ඉසිපතන විද්‍යාලය)

සහිරා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය

(මරදානේ දී)

ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු තවත් තියුණු තරගයක් වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලබාගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය පළමු අර්ධයටත් වඩා තරගකාරී වූ අතර, දෙපිළම කරට කර සටනක නිරත වෙමින් ලකුණු 03 බැගින් ලබා ගැනීමට සමත් වුනත්, පළමු අර්ධයේ ලද වාසියත් සමඟ සහිරා විද්‍යාලයට තරගයේ ජය හිමි වුනා.

සහිරා විද්‍යාලය 13 (1T, 1C, 2P) – විද්‍යාර්ථ විද්‍යාලය 10 (1T, 1C, 1P)

තරගයේ වීරයා බාසිත් මහීර් (සහිරා විද්‍යාලය)

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

(බම්බලපිටියේ දී)

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් සාන්ත පීතර ක්‍රීඩකයින් තරගය තමන්ට නතු කර ගැනීමට සමත් වූ අතර, ඔවුන් පළමු අර්ධය තුළ ජෝසප් ක්‍රීඩකයින්ට ලකුණු 03ක් පමණක් ලබා දෙන අතරේ, ඔවුන්ගෙන් ලකුණු 18ක් ඩැහැ ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ජෝසප් ක්‍රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළත් ඔවුන් පළමු අර්ධය ලද දැවැන්ත පසුබෑම නිසා එය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

සාන්ත පීතර විද්‍යාලය 25 (4T, 1C, 1P) – සාන්ත ජෝසප් විද්‍යාලය 10 (1T, 1C, 1P)

තරගයේ වීරයා විශේන්ක සිල්වා (සාන්ත පීතර විද්‍යාලය)

ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

(බෝගම්බර දී)

මෙම තරගයේ පළමු අර්ධය තරමක් මන්දගාමී ලෙස ඇදී ගිය අතර, එහි දී ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 05ක් ලබා ගන්නා අතරේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලබාගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ වඩාත් ක්‍රියාශීලී වූ ධර්මරාජ ක්‍රීඩකයින් තවත් ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා. නමුත් මෙහි දී ද සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

ධර්මරාජ විද්‍යාලය 24 (4T,2C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 06 (2P)

තරගයේ වීරයා නිම්ශ පීරිස්

විද්‍යා විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

(පොලිස් ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගය නම් සම්පූර්ණයෙන්ම පාහේ විද්‍යා විද්‍යාලය නතු එකක් වූ අතර, එහි පළමු අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගනිමින් තරගයේ වාසිය තමන් දෙසට හරවා ගැනීමට සමත් වුනා. එහි දී ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ සුමංගල ක්‍රීඩකයින් තවත් ලකුණු 05ක් ලබා ගන්නා අතරේ, විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් ලකුණු 24ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා.

විද්‍යා විද්‍යාලය 41 (7T, 3C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 12 (2T, 1C)

තරගයේ වීරයා ඕෂධ පෙරේරා

වෙස්ලි විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කර ගැටෙමින් ඉතා හොඳ තරගයකට අවතීර්ණ වුනා. එහි දී වෙස්ලි විද්‍යාලය විසින් ලකුණු 7ක් ලබා ගැනීමට සමත් වූ අතර, රාජකීය විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 06ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් රාජකීය ආගමනයක යෙදෙමින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ කාලය අතර තුර වෙස්ලි ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණ් 07ක් පමණයි.

රාජකීය විද්‍යාලය 27 (3T, 3C, 2P) – වෙස්ලි විද්‍යාලය 14 (1T, 3P)

තරගයේ වීරයා තිනෙත් ගමගේ

සාන්ත තෝමස් විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා සිටි අතර ඩී.එස්. ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 07ක් පමණයි.

දෙවැනි අර්ධය තුළ තෝමසුවන් විසින් තවත් ලකුණු 10ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමින් තරගයේ ජය ස්ථිර කර ගැනීමට සමත් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය 29 (4T, 3C, 1P) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 15 (2T, 1C, 1P)

තරගයේ වීරයා වෙනුක වික්‍රමසූරිය

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<