පාසල් රග්බි ලීගයේ තෙවැනි සතියත් සාර්ථකව අවසන් වෙයි

Dialog Schools Rugby League 2024

331
Dialog schools rugby league 2024 week 03

Dialog පාසල් රග්බි ලීගයේ තෙවැනි සතියට අදාළ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

විද්‍යාර්ථ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් පැවැත්වුණු මෙම තරගය සම්පූර්ණයෙන්ම විද්‍යාර්ථ ක්‍රීඩකයින් නතු වූ අතර තරගයේ පළමු අර්ධය නිමා වන විට විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර කිංග්ස්වුඩ් විද්‍යාලය වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.

දෙවැනි අර්ධය ද පළමු අර්ධයට නොදෙවෙනි අයුරින් ක්‍රීඩා කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමත් වූ අතර, ඔවුන් විසින් සමස්ත තරගයට පුරාවට උත්සාහක දිනුම් 8ක් වාර්තා කරන අතරේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් වාර්තා කළේ උත්සාහක දිනුම් දෙකක් පමණයි.

විද්‍යාර්ථ විද්‍යාලය 50 (8T, 5C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 13 (2T, 1P)

තරගයේ වීරයා ගයාන් පෙරේරා (විද්‍යාර්ථ විද්‍යාලය)

D.S. සේනානායක විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළ ම ඉතා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරමින් කරට කර ගැටෙන අයුරු පෙනෙන්නට තිබුණා.

මෙහි දී DS ක්‍රීඩකයින් මුල් අර්ධයේ දී ලකුණු 15ක් ලබා ගන්නා අතරේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගත්තත්, තරගයේ දෙවැනි අර්ධය තුළ මෙතෙක් තරගාවලියේ සිය අපරාජිත ගෞරවය තවදුරටත් රැක ගැනීමේ සටනක නිරත වූ DS ක්‍රීඩකයින් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත්තා.

D.S.සේනානායක විද්‍යාලය (5T,1C,1P) – සාන්ත අන්තෝනි විද්‍යාලය 17 (2T,2C,1P)

තරගයේ වීරයා ලංකේශ් වික්‍රමසිංහ (D.S.සේනානායක විද්‍යාලය)

සාන්ත ජෝසප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය විසින් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 12ක් ලබා ගන්නා අතරේ තර්ස්ටන් විද්‍යාලයෙන් ලකුණු 06ක් වාර්තා වුනා.

නමුත් දෙවැනි අර්ධය තුළ ජෝසප් ක්‍රීඩකයින් මෙම ලකුණු පරතරය තවත් ඉහළට දමමින් තරගයේ ජයග්‍රහණය ස්ථීර කර ගැනීමට සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය 47 (6T, 5C) – 9 (3P)

තරගයේ වීරයා ශෙහාන් මාලින්ද (සාන්ත ජෝසප් විද්‍යාලය)

රාජකීය විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මෙම තරගයේ දී රාජකීයයන් විසින් මෙවර තරගාවලියේ සිය තෙවැනි ජය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධයේ පටන් ඔවුන් සහිරා ක්‍රීඩකයින් පාලනය කරමින් ලකුණු රැස් කිරීමට සමත් වුනා. පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, සහිරා විද්‍යාලයෙන් වාර්තා එකදු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ.

දෙවැනි අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනත් එය ඔවුන්ගේ පරාජයේ අවමානයෙන් මිදීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

රාජකීය විද්‍යාලය 34 (5T, 3C, 1P) – සහිරා විද්‍යාලය (1T, 1C)

තරගයේ වීරයා අයාශ් ශියාම් (රාජකීය විද්‍යාලය)

සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

මෙම සතියේ එතෙක් පැවැත්වුණු තරගවලින් සමස්ත තරගය පුරාවට දෙපිළෙන් ම ඉහළ ගැටීමක් සිදු වූ තරගකාරී තරගයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගන්නා අතරේ වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු කරා යාම නතර කරමින් පීතර ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

සාන්ත පීතර විද්‍යාලය 25 (4T, 1C, 1P) – වෙස්ලි විද්‍යාලය 10 (2T)

තරගයේ වීරයා රෙවෝන් පෙරේරා (සාන්ත පීතර විද්‍යාලය)

ඉසිපතන විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

මෙම තරගය නම් ආරම්භයේ සිටම සම්පූර්ණයෙන්ම පාහේ ඉසිපතන විද්‍යාලය නතු වූ එකක් ලෙසටයි ක්‍රියාත්මක වුනේ. තරගයේ පළමු අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 31ක් ලබා ගනිමින් තරගයේ ආධිපත්‍ය පැතිරීමට සමත් වූ අතර, ධර්මරාජ විද්‍යාලය විසින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

දෙවැනි අර්ධය ද පළමු අර්ධය ලෙස ම ක්‍රියාත්මක වූ අතර, අවසානයේ ඉසිපතන ක්‍රීඩකයින් ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

ඉසිපතන විද්‍යාලය 46 (8T, 3C) – ධර්මරාජ විද්‍යාලය 08 (1T, 1P)

තරගයේ වීරයා ශහිඩ් සුම්රි (ඉසිපතන විද්‍යාලය)

ත්‍රිත්ව විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගය ද සම්පූර්ණයෙන්ම එක් පාර්ශවයකට බර වූ තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලයට හිමි වුනා.

තරගයේ පළමු අර්ධය ත්‍රිත්ව ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 06ක් සමඟින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් උත්සාහ දිනුම් 03ක් සමඟ සමස්ත ලකුණු සංඛ්‍යාව 49ක් කරා රැගෙන ගියා.

ත්‍රිත්ව විද්‍යාලය 49 (9T, 2C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 14 (1T, 3P)

මුරාඩ් රයිසාන් (ත්‍රිත්ව විද්‍යාලය)

සාන්ත තෝමස් විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

මෙම සතියේ ක්‍රියාත්මක වූ තියුණු ම තරගය මෙම දෙපිළ අතර ක්‍රියාත්මක වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගනිද්දී, තෝමසුවන් ලකුණු 13ක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් ඉතා ඉහළ තරගකාරීත්වයක් පෙන්නුම් කරමින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, තෝමසුවන් විසින් ලබා ගත්තේ ලකුණු 17ක් පමණයි. නමුත් පළමු අර්ධයේ ලද වාසියත් සමඟ තෝමසුවන් විසින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය 30 (5T, 1C, 1P) – විද්‍යා විද්‍යාලය (4T, 3C)

තරගයේ වීරයා සනේක්ෂ ලියනගුණවර්ධන (සාන්ත තෝමස් විද්‍යාලය)

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<