DS ක්‍රීඩකයින් ඉතිහාසගත ජයක් ලබමින් පාසල් රග්බි ලීගයේ දෙවැනි සතිය නිමා වෙයි

Dialog Schools Rugby League 2024

315
Dialog Schools Rugby League 2024

Dialog පාසල් රග්බි ලීගයේ දෙවැනි සතියට අදාළ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

වෙස්ලි විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

(රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

ලීගයට අලුතින් ම එක් වූ කණ්ඩායමක් වන තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ඉතා පහසු ජයග්‍රහණයක් කරා යෑමට වෙස්ලි විද්‍යාලය මෙම තරගයේ දී සමත් වූ අතර, තරගයේ පළමු අර්ධයේ දී වෙස්ලි ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් 7ක් සමඟින් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ සමස්ත තරග කාලය නිමා වන විට වෙස්ලි ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟින් ඔවුන් ලකුණු 70ක් කරා යාමට සමත් වුනා. නමුත් තර්ස්ටන් විද්‍යාලය මෙම තරගය පුරාවට ම සාර්ථක කර ගත්තේ එක් දඬුවම් පහරක් පමණයි.

වෙස්ලි විද්‍යාලය 70 (12T,5C) – තර්ස්ටන් විද්‍යාලය 03 (1P)

  • තරගයේ වීරයා – Kaizer Lye (වෙස්ලි විද්‍යාලය)

ධර්මරාජ විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

(බෝගම්බර දී)

වර්ෂාවෙන් ද යම් බලපෑම් එල්ල වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කර සටනක නිරත වෙමින් ලකුණු රැස් කිරීමට සමත් වූ අතර, එහි දී ධර්මරාජ විද්‍යාලය ලකුණු 13ක් ලබා ගත් අතර, ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ධර්මරාජ විද්‍යාලයට නතු වූ අතර, ඔවුන් මෙහි දී සුමංගල ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළක්වාලීමට සමත් වූ අතරම, තම කණ්ඩායම වෙනුවෙන් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට ද සමත් වුනා.

ධර්මරාජ විද්‍යාලය 32 (5T, 2C, 1P) – ශ්‍රී සුමංගල විද්‍යාලය (2T, 1C)

  • තරගයේ වීරයා නිම්ශ පීරිස් (ධර්මරාජ විද්‍යාලය)

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (මරදානේ දී)

දෙපිළම කරට කර ගැටෙමින් ක්‍රියාත්මක වූ මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, අවසානයේ එහි ජය ජෝසප් විද්‍යාල ක්‍රීඩකයින් හට හිමි වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ද සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 16 – 10ක් ලෙස සහිරා විද්‍යාලය අබිබවමින් සිටීමට සමත් වූ අතර, තරගයේ දෙවැනි අර්ධය තුළ ද ඔවුන් සිය ගෞරවය පෙර සේ ම රැක ගැනීමට සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය 26 (3T, 1C, 3P) – සහිරා විද්‍යාලය 22 (3T, 2C, 1P)

  • තරගයේ වීරයා හිමේෂ් ගමගේ (සාන්ත ජෝසප් විද්‍යාලය)

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

(ගල්කිස්සේ දී)

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගයේ ආරම්භයේ සිටම සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට තෝමසුවන්ගෙන් දැවැන්ත අභියෝගයක් යොමු වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට තෝමසුවන් උත්සාහක දිනුම් දෙකක් ද සමඟින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, අන්තෝනි ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධයේ දී දෙපිළම ලකුණු දහය බැගින් ලබා ගනිමින් තියුණු තරගයක යෙදුණු නමුත් පළමු අර්ධයේ ලද වාසියත් සමඟ තෝමසුවන් ජයග්‍රහණය හිමි කර ගත්තා.

සාන්ත තෝමස් විද්‍යාලය 24 (3T, 3C, 1P) – සාන්ත අන්තෝනි විද්‍යාලය 17 (3T, 1C)

ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

(Havelock ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගය ඩී.එස්.සේනානායක රග්බි ඉතිහාසයට කිසිදා අමතක නොවන මතකයක් බවට හරවා ගැනීමට ඔවුන් විසින් සමත් වුනා.

මෙතෙක් ඉතිහාසයේ ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව කිසි දා රග්බි තරගයක් ජයග්‍රහණය කර නොතිබූ ඩී.එස්.ක්‍රීඩකයින් මෙම තරගයේ පළමු අර්ධයේ දී ම තමන් එම ඉතිහාසය වෙනස් කිරීමට සූදානමින් පසු වන බවට ඉඟි සපයමින් ලකුණු 14ක් ලබා ගත් අතර, ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් වළක්වාලීමට ද සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය අඩුපාඩු මග හරවා ගනිමින් නැවත තරගයට අවතීර්ණ වූ අතර ඔවුන් එහි දී ඩී.එස්. ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබා නොදී ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් එය ඩී.එස්.සේනානායක විද්‍යාලය විසින් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ලබා ගත් ඓතිහාසික ජය වැළැක්වීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

ඩී.එස්.සේනානායක විද්‍යාලය 14 (2T, 2C) – ත්‍රිත්ව විද්‍යාලය 10 (2T)

  • තරගයේ වීරයා තිවේන් පෙරේරා (ඩී.එස්.සේනානායක විද්‍යාලය)

රාජකීය විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය

(නිත්තවෙල දී)

විද්‍යාර්ථ විද්‍යාල සත්කාරකත්වය යටතේ පැවැත්වුණු මෙම තරගය ආරම්භයේ පටන් ම රාජකීයයන් වෙත ලියැවුණු එකක් බව පෙනෙන්නට තිබුණා.

මෙහි දී තරගයේ පළමු අර්ධය තුළ රාජකීයයන් විසින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, විද්‍යාර්ථ ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

තරගයේ දෙවැනි අර්ධය තුළ දී ද විද්‍යාර්ථ ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වීමට යම් උත්සාහයක් දැරුවත් එය ව්‍යර්ථ කිරීමට රාජකීයයන් විසින් සමත් වුනා.

රාජකීය විද්‍යාලය 25 (5T) – විද්‍යාර්ථ විද්‍යාලය 10 (2T)

  • තරගයේ වීරයා – Naqeeb Mohamed (රාජකීය විද්‍යාලය)

සාන්ත පීතර විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

(බෝගම්බර දී)

මෙම තරගයටත් වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ල වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් තරගයට පිවිසෙමින් ලකුණු 22ක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු රැස් කිරීමට සමත් නොවුනු අතර, දෙවැනි අර්ධයේ දී ද ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. නමුත් අනෙක් පසින් දෙවැනි අර්ධය තුළ පීතර ක්‍රීඩකයින් තවත් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.

සාන්ත පීතර විද්‍යාලය 46 (8T, 3C) – 03 කිංග්ස්වුඩ් විද්‍යාලය 03 (1P)

  • තරගයේ වීරයා සලිත් ගාල්ලගේ (සාන්ත පීතර විද්‍යාලය)

ඉසිපතන විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

(ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම සටන්කාමී තරගයක් ඇති වුනු අතර, එයින් ජය ලැබූ ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගන්නා අතරේ විද්‍යා ක්‍රීඩකයින් ද ලකුණු 09ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් විද්‍යා විද්‍යාලයේ ලකුණු ලබා ගැනීම පළමු අර්ධයෙන් පසු නතර වූ අතර, එම නිසා ඉසිපතන ක්‍රීඩකයින්ට ඉතා පහසුවෙන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණා.

ඉසිපතන විද්‍යාලය 19 (2T, 2C) – විද්‍යා විද්‍යාලය 09 (3P)

  • තරගයේ වීරයා කලිඳු සිල්වා (ඉසිපතන විද්‍යාලය)

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<