තියුණු ජයග්‍රහණ කිහිපයක් මැද රාජකීයයින්ට දැවැන්ත ජයක්

Dialog පාසල් රග්බි ලීගය 2023

1264
Dialog Schools Rugby League 2023-week 2

පාසල් රග්බි පිටියට වසන්තය රැගෙන එමින් මේ දිනවල ක්‍රියාත්මක වන Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි සතිය ඊයේ (25) නිමාවට පත්වුනා.

නිමා වූ සතියේ දීත් තරග 6ක් පැවති අතර එම තරගවලින් ඩී. එස්. සේනානායක, ඉසිපතන, සාන්ත ජෝසප්, සහිරා, රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. සාන්ත අන්තෝනි, සාන්ත තෝමස්, වෙස්ලි, ධර්මරාජ, විද්‍යා සහ විද්‍යාර්ථ කණ්ඩායම් ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජයට පත්වුනා.

සාන්ත අන්තෝනි සහ ඩී. එස්. සේනානායක විදුහල් අතර තරගය

ඉකුත් සෙනසුරාදා (24) පැවති මෙම තරගයෙන් ලකුණු 23-19ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ඩී. එස්. ක්‍රීඩකයින් සමත් වුනා.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ගේ සත්කාරකත්වයෙන් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් ලකුණු පුවරුව සක්‍රීය කළේ සංචාරකයින් විසිනුයි. ඩී. එස්. ක්‍රීඩක ජනිදු විජේරත්න විසින් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ඔවුන්ට සාර්ථක කර ගැනීමට නොහැකි වුනා.

එම අභියෝගයට සාර්ථකව පිළිතුරු ලබා දෙමින් සාන්ත අන්තෝනි ක්‍රීඩක රොෂේන් කුමාර විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. අවසානයේ ප්‍රථම අර්ධය නිමා වන්නේ 8-5ක් ලෙස ඩී. එස්. ක්‍රීඩකයින් පෙරමුණ දිනා ගනිමිනුයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

ඉන් අනතුරුව දෙවැනි අර්ධයේ දී ලකුණු පරතරය 10ක් දක්වා වර්ධනය කරගන්නට ඩී. එස්. ක්‍රීඩකයින් සමත් වුනේ විජේරත්න විසින් වාර්තා කළ දෙවැනි උත්සාහක දිනුමත් සමඟිනුයි. ඉන් අනතුරුව සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ද ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් ලබා දෙමින් ලකුණු රැස් කළ අතර වරෙක ලකුණු පුවරුව දැක්වුණේ 18-19ක් ලෙස එක් ලකුණකින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පෙරමුණ ගනිමිනුයි.

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ විජේරත්න විසින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සතු වූ ජයග්‍රහණය උදුරා ගනිමින් ධවල රේඛාව පසු කර යන්නට සමත් වුනේ 23-19ක් ලෙස ලකුණු පුවරුව ඉහළ දමමිනුයි.

එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් තරගය අවසන් වුනේ ඩී. එස්. ක්‍රීඩකයින් ජයග්‍රහණය සඳහා හිමිකම් කියමිනුයි.

NDB තරගයේ වීරයා: ජනිදු විජේරත්න (ඩී. එස්.)

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 19 (3T,2C) – 23 (3T,1C,2P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ලකුණු ලාභීන්:

  • ඩී. එස්: ජනිදු විජේරත්න (3T), එස්. උමාගිලියගේ (1C,2P)
  • සාන්ත අන්තෝනි: සහන් කීර්තිසිරි (1T,2C), රොෂේන් කුමාර (2T)

සාන්ත තෝමස් සහ ඉසිපතන විදුහල් අතර තරගය

සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ සත්කාරකත්වය යටතේ 24 වැනිදා පැවති මෙම තරගයෙන් ලකුණු 20-29ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

සාන්ත තෝමස් විදුහල් පිටියේ දී පළමුවෙන් ලකුණු පුවරුව සක්‍රීය කරන්නේ සාන්ත තෝමස් ක්‍රීඩක යෙහාන් බුලත්සිංහලගේ විසිනුයි. ඒ දඬුවම් පහරක් ඔස්සේයි. ඉන් අනතුරුව ඉසිපතන ක්‍රීඩකයින් විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නේ කළිඳු සිල්වා විසින් සාර්ථක කර ගත් උත්සාහක දිනුම සහ එහි ප්‍රවර්තනයත් සමඟිනුයි.

ඉන් අනතුරුව ප්‍රථම අර්ධය නිමා වන තෙක් පිටියේ ආධිපත්‍ය රඳවා ගත් ඉසිපතන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක්, ප්‍රවර්තන දෙකක් සහ එක් දඬුවම් පහරක් සමඟින් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 17ක්.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

17-3ක් ලෙස අවසන් වූ ප්‍රථම අර්ධයට පසුව නැවතත් සත්කාරකයින්ට අභියෝග කරමින් ඉදිරියට ඇදුණු ඉසිපතන ක්‍රීඩකයින් විසින් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සමත් වුනා.

එහි පළමු උත්සාහක දිනුම සඳහා හෂේන් රිද්මාල් හිමිකම් කියද්දී දෙවැනි උත්සාහ දිනුමට හිමිකම් කීවේ චමත් ඉරුෂාන් විසිනුයි. දෙවැනි උත්සාහ දිනුමේ ප්‍රවර්තනය පමණක් සාර්ථක කර ගන්නට රිනේෂ් සිල්වා සමත් වුනා.

දෙවැනි අර්ධයේ අවසන් භාගයේ දී ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට සමත් වුනා. එකම ආකාරයේ උත්සාහක දිනුම් දෙකක් වූ ඒ සඳහා හිමිකම් කීවේ මොහොමඩ් හකීම් සහ ශෙනාල් ප්‍රනාන්දු විසිනුයි. එහි ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගන්නට බුලත්සිංහලගේ සමත් වුනා.

අවසානයේ නියමිත කාලය අවසන් වන විට 20-29ක් ලෙස ඉදිරියෙන් පසු වූ ඉසිපතන ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනා.

NDB තරගයේ වීරයා – රිනේෂ් සිල්වා (ඉසිපතන)

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 20 (2T, 2C, 2P) – 29 (4T, 3C, 1P) ඉසිපතන විද්‍යාලය

ලකුණු ලාභීන්:

  • ඉසිපතන: රිනේෂ් සිල්වා (2T, 3C, 1P), හෂේන් රිද්මාල් (1T), චමත් ඉරෝෂන් (1T)
  • සාන්ත තෝමස්: මොහොමඩ් හකීම් (1T), ශෙනාල් ප්‍රනාන්දු (1), යෙහාන් බුලත්සිංහලගේ (2C, 1P)

වෙස්ලි සහ සාන්ත ජෝසප් විදුහල් අතර තරගය

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 0-3ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසිනුයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ප්‍රථමයෙන් ලකුණු රැස් කළේ සාන්ත ජෝසප් ක්‍රීඩක රුචිත රුද්‍රිගෝ විසිනුයි. ලැබුණු දඬුවම් පහරක් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට ඔහු සමත් වූ අතර ප්‍රථම අර්ධයේ පමණක් නොව තරගයේ අවසානය වන තෙක්ම ලකුණු පුවරුවට එකතු වූ එකම ලකුණ වූයේ එයයි.

කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩා කරමින් ලකුණු ලබා ගැනීමට අවස්ථා කිහිපයක් නිර්මාණය කර ගත් නමුත් ඒවා සාර්ථකව අවසන් කරන්නට ඔවුන්ට නොහැකි වුනා. තරගය පුරාවට කහ කාඩ්පත් 3ක් නිකුත් වූ අතර ඒ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් වන සංදේෂ් ඉඳුවර, චමෝද් සෙනෙවිරත්න සහ නිතික් රුද්‍රිගෝ හටයි.

NDB තරගයේ ක්‍රීඩකයා – රුචිත රුද්‍රිගෝ (සාන්ත ජෝසප්)

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විදුහල 00 – 03 (1P) සාන්ත ජෝසප් විදුහල

ලකුණු ලාභීන්:

  • සාන්ත ජෝසප්: රුචිත රුද්‍රිගෝ (1P)

ධර්මරාජ සහ සහිරා විදුහල් අතර තරගය

සහිරා ක්‍රීඩකයින් 18-15ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කළ මෙම තරගය පැවැත්වුණේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දීයි. ලීගයේ 10 වැනි තරගය ලෙස සෙනසුරාදා පැවති මේ තරගයේ ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ සහිරා ක්‍රීඩකයින් විසිනුයි.

7 වැනි මිනිත්තුවේ දී සහිරා ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම් පහරක් full-back ක්‍රීඩක Ahamed Saad විසින් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට සමත් වුනා. ඉන්පසුව නැවත වරක් ධර්මරාජ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරැද්දකට සහිරා ක්‍රීඩකයින් හට දඬුවම් පහරක් ලැබුණු අතර Saad විසින් සාර්ථකව එය ලකුණු බවට පරිවර්තනය කළා. ඉන් අනතුරුව Saad විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක වුනේ නැහැ.

මෙතෙක් නිහඬව සිටි ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු වාර්තා කරන්නේ මින් පසුවයි. එහි දී සහිරා ආරක්ෂක පවුරු බිඳ දමමින් අකිල ජයසිංහ විසින් ධර්මරාජය වෙනුවෙන් ලකුණු වාර්තා කිරීම ආරම්භ කළා.

පළමු අර්ධය නිමා වීමට පෙර තවත් සම්පූර්ණ උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සහිරා ක්‍රීඩකයින් සමත් වූ අතර ඒ අනුව පළමු අර්ධය අවසන් වුනේ 18-5ක් ලෙසයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

දෙවැනි අර්ධයේ දී සහිරා ක්‍රීඩකයින් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර ධර්මරාජ ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගන්නට සමත් වුනා. එහි පළමු උත්සාහක දිනුම අකිල විසින් සාර්ථක කර ගත්තේ සිය දෙවැනි උත්සාහක දිනුම සඳහා හිමිකම් කියමිනුයි. අනෙක් උත්සාහක දිනුම වාර්තා කළේ ඉෂාර විජේවර්ධන විසිනුයි. එහි ප්‍රවර්තන අවස්ථා දෙකම අසාර්ථකයි.

NDB තරගයේ වීරයා: Ahamed Saad (සහිරා)

අවසන් ලකුණු තත්වය: ධර්මරාජ විදුහල 15 (3T) – 18 (2T,1C,2P) සහිරා විදුහල

ලකුණු ලාභීන්:

  • සහිරා: Ahamed Saad (1T,1C, 2P), M. R. Muhammad (1T)
  • ධර්මරාජ: අකිල ජයසිංහ (2T), ඉෂාර විජේවර්ධන (1T)

රාජකීය සහ විද්‍යා විදුහල් අතර තරගය

සෙනසුරාදා පැවති අවසන් තරගය වූ මේ තරගයේ දී 45-10ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට රාජකීය ක්‍රීඩකයින් සමත් වුනා.

විද්‍යා ක්‍රීඩකයින්ගේ සත්කාරකත්වය යටතේ පැවති මේ තරගයේ රාජකීය ක්‍රීඩක Philio Calyaneratne විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. ඔහුගේ උත්සාහයට උපරිම සාධාරණය ඉෂ්ට කරමින් Simak Shafeek විසින් අතිරේක ලකුණු එකතු කරන්නට සමත් වුනා.

ඉන් අනතුරුව පළමු අර්ධය පුරාවටම ආක්‍රමණශීලී ව ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයින් විසින් විද්‍යා ක්‍රීඩකයින් හට කිසිදු ලකුණක් වාර්තා කරන්නට අවස්ථාව ලබා නොදුන් අතර පළමු අර්ධය අවසන් වන විට උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්තන 2ක් සමඟින් රාජකීයයන් ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 19ක්.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

විද්‍යා ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නේ දෙවැනි අර්ධයේ ආරම්භයෙන් මිනිත්තු 10කට පසුවයි. රාජකීය ක්‍රීඩක කණිෂ්ක පොන්නුරෙයි හට විනිසුරු විසින් කහා කාඩ්පතක් ලබා දුන් අතර එහි දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් ඕෂධ පෙරේරා විද්‍යා විදුහල වෙනුවෙන් ලකුණු රැස් කළා.

ඉන් අනතුරුව නැවත වරක් ක්‍රියාත්මක වූ රාජකීය ක්‍රීඩකයින් විසින් සම්පූර්ණ උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තා. Idris Farouk උත්සාහක දිනුම සඳහා හිමිකම් කියද්දී Shafeek ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා.

එම අභියෝගයට ප්‍රතිඋත්තර දෙමින් විද්‍යා ක්‍රීඩක ඉසුරු පසිඳු විසින් ධවල රේඛාව පසු කර යන්නට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ඕෂධ සමත් වුනා.

කෙසේ නමුත් ඉන් අනතුරුව සිය ආක්‍රමණය දැඩි කළ රාජකීය ක්‍රීඩකයින් විසින් තවත් උත්සාහක දිනුම් තුනක් සාර්ථක කරගන්නට සමත් වූ අතර අවසානයේ 45-10ක් ලෙස රාජකීයයන් විසින් විද්‍යා ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනා.

NDB තරගයේ වීරයා: Philio Calyaneratne (රාජකීය)

අවසන් ලකුණු තත්වය: විද්‍යා විදුහල 10 (1T,1C,1P) – 45 (7T,5C) රාජකීය විදුහල

ගෝල ලාභීන්:

  • විද්‍යා: ඉසුරු පසිඳු (1T), ඕෂධ පෙරේරා (1C,1P)
  • රාජකීය: Philio Calyaneratne (2T), චාරුක සෙනෙවිරත්න (1T), තිනෙත් ගමගේ (1T), , Idris Farouk (1T), දිසස් පතිරණ (1T), තිවාන් පෙරේරා (1T), Simak Shafeek (4C), Nabil Yahiya (1C)

ත්‍රිත්ව සහ විද්‍යාර්ථ විදුහල් අතර තරගය

දෙවැනි සතියේ අවසන් තරගය ලෙස මෙම තරගය පැවැත්වුණේ බෝගම්බර දීයි. එහි දී විද්‍යාර්ථ ක්‍රීඩකයින් පරාජය කරමින් 20-10ක් ලෙස ජයග්‍රාහීව සතිය අවසන් කරන්නට ත්‍රිත්වයින් සමත් වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 17ක් පසු වෙද්දී ලකුණු රැස් කිරීම ආරම්භ කළේ ත්‍රිත්වයින් විසිනුයි. Manzil විසින් සාර්ථක කර ගත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය Shanට සාර්ථක කර ගැනීමට නොහැකි වුනා.

තරගයේ පළමු අර්ධයේ දී විද්‍යාර්ථයින් හට කිසිදු ලකුණක් වාර්තා කරගන්නට නොහැකි වූ අතර ත්‍රිත්වයින් උත්සාහක දිනුම් 2ක් සහ ප්‍රවර්තනයක් සමඟින් වාර්තා කර ගත් ලකුණු සංඛ්‍යාව 12ක්.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

දෙවැනි අර්ධයේ දීත් සිය අණසක පැතිර වූ ත්‍රිත්වයින් විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. Hooker ක්‍රීඩක Watagoda විසින් සාර්ථක කර ගත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය Shanට මග හැරුණා.

ඉන්පසුව විද්‍යාර්ථයින් වෙනුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ දේශාන් බාලසූරිය විසිනුයි. ඔහු විසින් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන දෙකම අසාර්ථක වුනා.

තරගයේ අවසානයට පෙර ත්‍රිත්වයින් හට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරමින් ඔවුන් ජයග්‍රාහීව දෙවැනි සතිය නිමා කරන්නට සමත් වුනා.

NDB තරගයේ වීරයා: දේශාන් බාලසූරිය (විද්‍යාර්ථ)

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විදුහල 10 (2T) – 20 (3T,1C,1P) ත්‍රිත්ව විදුහල

ලකුණු ලාභීන්:

  • ත්‍රිත්ව: Manzil (1T), Watagoda (1T, 1PT), Shan (1P)
  • විද්‍යාර්ථ: දේශාන් බාලසූරිය (2T)

Dialog පාසල් රග්බි ලීගයේ තෙවැනි සතියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<