රාජකීය හා ඉසිපතන ක්‍රීඩකයින්ට තියුණු ජයග්‍රහණ

Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය 2022

680

2022 Dialog පාසල් රග්බි ලීගයේ සුපිරි වට‍ය ආරම්භ කරමින් තරග දෙකක් පසුගිය දා පැවති අතර එහි දී රාජකීය සහ ඉසිපතන ක්‍රීඩකයින් විසින් පිළිවෙළින් වෙස්ලි සහ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනා.

රාජකීය විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

සුපිරි කණ්ඩායම් වටයේ පළමු තරගයේ දී කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 16-21ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා.

තරගය පැවැත්වුණේ කොළඹ CR&FC ක්‍රීඩාංගණයේ දීයි. රාජකීය ක්‍රීඩක දනුජ සමනරත්න උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස් කරගන්නට සමත් වීම මේ තරගයේ විශේෂත්වයක් වුනා.

වෙස්ලි කණ්ඩායම තරගයේ පෙරමුණ ගත්තේ ජයවර්ධන වාර්තා කළ දඬුවම් පහර ත්‍රිත්වයක් සමඟිනුයි. රාජකීය විද්‍යාලයේ Hooker ක්‍රීඩක සමනරත්න සිය කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ තරගය මිනිත්තු 30 සීමාවට ළඟා වෙද්දීයි. නබිල් යහියා අමතර ලකුණු එකතු කළා.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය  09 (3P) – 07 (1T 1C) රාජකීය විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භයේ දී ම ලකුණු රැස් කරන්නට රාජකීය විද්‍යාලය සමත් වුනා. සමනරත්න රාජකීය විද්‍යාලය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා. එහි අමතර ලකුණු ද එකතු කරන්නට යහියා සමත් වුනා.

සමනරත්න සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේ රාජකීය විද්‍යාලයට තරගයේ පහසු පෙරමුණක් ගෙනෙමිනුයි. යහියා තෙවැනි උත්සාහක දිනුමටත් අමතර ලකුණු එකතු කළා.

වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහර දෙකක් ලැබුනත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් තරගයේ අවසානයට වෙස්ලි කණ්ඩායම එකම උත්සාහක දිනුමක් රැස් කරන්නට සමත් වුනා. එම උත්සාහක දිනුම වාර්තා කළේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ජයවර්ධනයි. ඔහුම එහි අමතර ලකුණු රැස් කළා.

රාජකීය කණ්ඩායමට අවාසනාවන්ත ලෙස තරගයේ අමතර ප්‍රසාද ලකුණ රැස් කරගන්නට නොහැකි වුනේ සිය සිව්වැනි උත්සාහක දිනුම රැස් කරගන්නට නොහැකි වුණු නිසයි.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 16 (1T 1C 3P) – 21 (3T 3C) රාජකීය විද්‍යාලය

NDB තරගයේ වීරයා – දනුජ සමනරත්න (රාජකීය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • වෙස්ලි විද්‍යාලය – ජයවර්ධන 1T 1C 3P
  • රාජකීය විද්‍යාලය – දනුජ සමනරත්න 3T, නබිල් යහියා 3C

ඉසිපතන විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

සුපිරි කණ්ඩායම් හතර වටයේ දෙවැනි තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 16-13ක් ලෙස පරාජය කරන්නට ඉසිපතන විද්‍යාලය සමත් වුනා. තරගය පැවැත්වුණේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි.

ඉසිපතන විද්‍යාලය තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ Lock ක්‍රීඩක හෙට්ටිආරච්චි වාර්තා කළ අනර්ඝ උත්සාහක දිනුමක් ද සමඟිනුයි. බොතේජු අමතර ලකුණු එකතු කළා.

මේ අතරතුර අවාසනාවන්ත ලෙස සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රබල ක්‍රීඩකයින් වන දිල්හාර සුබාෂ් හා ඉසුරු කාංචන එකිනෙකා හා ගැටී ආබාධයකට ලක්වුණේ ජෝසප් කණ්ඩායමට දැඩි අවාසියක් ගෙනෙමිනුයි.

පළමු අර්ධය අවසන් වීමට පෙර සාන්ත ජෝසප් ක්‍රීඩක චමෝද් විමලසිරි හට කහ කාඩ්පතක් ද ලැබුණේ ජෝසප් කණ්ඩායම ප්‍රබල පීඩනයකට ලක් කරමිනුයි.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 07 (1T 1C) – 00 සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකටම දඬුවම් පහර අවස්ථා කිහිපයක් හිමි වුනා. ඉසිපතන කණ්ඩායමට දඬුවම් පහර තුනක් හිමි වූ අතර සිල්වා ඒ තුනම සාර්ථක කරගත්තා. සාන්ත ජෝසප් කණ්ඩායමට හිමි වුණු දඬුවම් පහර දෙක රුචිත රොද්‍රිගෝ සාර්ථක කරගත්තා.

ඉසිපතන ක්‍රීඩක දිනුසර හට කහ කාඩ්පතක් ලැබුණේ තරගයට නැවත පිවිසීමට සාන්ත ජෝසප් කණ්ඩායමට අවස්ථාවක් සකසා දෙමිනුයි. එම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත් නවීන් මාරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගය දෙපසටම විවර කරමිනුයි. රොද්‍රිගෝ අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා.

අවසන් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම තියුණු සටහනක නිරත වූ නමුත් එකදු කණ්ඩායමක් නැවත ලකුණු රැස් කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 16 (1T 1C 3P) – 13 (1T 1C 2P) සාන්ත ජෝසප් විද්‍යාලය

NDB තරගයේ වීරයා – නවීන් කණිෂ්ක (ඉසිපතන)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය – හෙට්ටිආරච්චි 1T, බොතේජු 1C, සිල්වා 3P
  • සාන්ත ජෝසප් විද්‍යාලය – නවීන් මාරසිංහ 1T, රුචිත රොද්‍රිගෝ 1C, 2P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<