රාජකීය, වෙස්ලි, විද්‍යාර්ථ හා සාන්ත ජෝසප් ජයග්‍රහණ අතරට

Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

2884

2022 Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තරග කිහිපයක් ඊයේ (17) පැවැත්වුණා. තරගාවලියේ තෙවැනි සතිය දිවයිනේ වත්මන් තත්වය හේතුවෙන් කල් දැමුණා.

ඊයේ පැවති තරගවලින් කොළඹ රාජකීය විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වූ අතර ඔවුන් හමුවේ පිළිවෙළින් සාන්ත තෝමස්, ත්‍රිත්ව, විද්‍යා හා ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම් පරාජයට පත් වුනා.

රාජකීය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 20-08ක් ලෙස පරාජය කරමින් මයිකල් ගුණරත්න කුසලානය නැවත වතාවක් තමන් සතු කරගන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා.

කවීන් සසංග හා අබ්දුල්ලා යූසුෆ් රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු අර්ධයේ දී උත්සාහක දිනුම් දෙකක් රැස් කළා. සාන්ත තෝමස් විද්‍යාලයට රැස් කරගන්නට හැකි වුනේ එක් දඬුවම් පහරක් පමණයි.

පළමු අර්ධය: විද්‍යාලය 10 (2T) – 03 (1P) සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් අකිල පෙරේරා දෙවැනි අර්ධය උත්සාහක දිනුමක් මඟින් ආරම්භ කළා. කෙසේ වෙතත් සසංග රාජකීයයන් වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළ අතර නබිල් යහියා දඬුවම් පහරක් ද රාජකීය ලකුණු පුවරුවට එකතු කළා.

මේ පරාජයත් සමඟින් සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමට සුපිරි වටයට යාමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 3ම පරාජය වූ නිසයි.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 20 (3T, 1C, 1P) – 08 (1T, 1P) සාන්ත තෝමස් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • රාජකීය විද්‍යාලය – කවීන් සසංග 2T, අබ්දුල්ලා යුසුෆ් 1T, නබිල් යහියා 1P, 1C
  • සාන්ත තෝමස් විද්‍යාලය – අකිල පෙරේරා 1T, යෙහාන් බුලත්සිංහලගේ 1P

සාන්ත ජෝසප් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 20-15ක් ලෙස පරාජය කරන්නට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. කණ්ඩායම් දෙකම 1A කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම් වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි නවීන් මාරසිංහ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම රැස් කළා. දිල්හාර සුභාෂ් එහි අමතර ලකුණු මෙන්ම තවත් දඬුවම් පහරක් ද සාර්ථක කරගද්දී, ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කරන්නට කොවිද වික්‍රමසිංහ සමත් වුනා.

පළමු අර්ධය නිමාවට පෙර රන්දික ධනංජය දෙවැනි සාන්ත ජෝසප් උත්සාහක දිනුම වාර්තා කළ අතර අශේන් විජේසූරිය ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් පළමු වතාවට උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියා.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 17 (2T 2C 1P) – 8 (1T 1P) ත්‍රිත්ව විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 20ක් යනතුරුම කණ්ඩායම් දෙකම ලකුණු රැස් කරන්නට සමත් වුනේ නැහැ. සුභාෂ් දඬුවම් පහරක් මඟින් ලකුණු රැස් කළේ දෙවන අර්ධයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

ත්‍රිත්ව කණ්ඩායම නැවතත් තරගයට රැගෙන එමින් අනුහස් කොඩිතුවක්කු උත්සාහක දිනුමක් වාර්තා කළත්, තරගයේ ජය ආපසු හරවන්නට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 20 (2T 2C 2P) – 15 (2T 1C 1P)  ත්‍රිත්ව විද්‍යාලය

NDB තරගයේ වීරයා – සචින්තන වෛද්‍යරත්න (සාන්ත ජෝසප්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය – නවීන් මාරසිංහ 1T, දිල්හාර සුබාෂ් 2C, 2P, රන්දික ධනංජය 1T
  • ත්‍රිත්ව විද්‍යාලය – කොවිද වික්‍රමසිංහ 1C, 1P, අනුහස් කොඩිතුවක්කු 1T, අශේන් විජේසූරිය 1T

විද්‍යාර්ථ විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 17-08ක් ලෙස පරාජය කරන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුනා.

පළමු අර්ධය ආරම්භයේ දී විද්‍යාර්ථයින් වෙනුවෙන් ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට මේනුක තිලකරත්න සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් කවිෂ්ක විජේරත්න විද්‍යාර්ථ කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා. එහි අමතර ලකුණු එකතු කරන්නට මේනුක සමත් වුනා.

පළමු අර්ධයේ දී ධර්මරාජ විද්‍යාලය ලකුණු රැස් කරන්නට සමත් වුනේ නැහැ. පළමු අර්ධය අවසානයේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 7-0ක් ලෙස විද්‍යාර්ථ කණ්ඩායම පෙරමුණේ හිඳිමිනුයි.

තේනුක වික්‍රමසිංහ දෙවැනි අර්ධය ආරම්භයේ දී ධර්මරාජය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා. සෞම්‍ය විජේසිරි හට පහසු ප්‍රවර්තනයක් මඟ හැරී ගියේ අවාසනාවන්ත ලෙසයි.

තරගය ධර්මරාජය දෙසට හැරෙන්නට ඉඩ නොදී නිපුන් වීරසිංහ දෙවැනි විද්‍යාර්ථ උත්සාහක දිනුමත් රැස් කළා. තිලකරත්න එහි අමතර ලකුණු සමඟින් තරග නිමාවට පෙර තවත් දඬුවම් පහරක් ද සාර්ථක කර ගත්තේ තරගයේ ජය තහවුරු කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 17 (2T, 2C, 1P)  – 08 (1T, 1P) ධර්මරාජ විද්‍යාලය

NDB තරගයේ වීරයා – මේනුක තිලකරත්න

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • විද්‍යාර්ථ විද්‍යාලය – කවිෂ්ක විජේරත්න 1T, නිපුන් වීරසිංහ 1T, මේනුක තිලකරත්න 2C, 1P
  • ධර්මරාජ විද්‍යාලය – තේනුක වික්‍රමසිංහ 1T, සෞම්‍ය විජේසිරි 1P

වෙස්ලි විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය

වෙස්ලි විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර තරගය නිමා වුනේ ලකුණු 38-10ක් ලෙස වෙස්ලි විද්‍යාලය ජය හිමිකර ගනිමිනුයි. කණ්ඩායම් දෙකටම මේ තරගයේ ජයග්‍රහණ ඉතා වැදගත් වීම නිසා තරගය ඉතා උණුසුම් වුනා.

වෙස්ලි කණ්ඩායම පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගත් අතර ඔවුන් පළමු අර්ධයේ දී උත්සාහක දිනුම් හතරක් රැස් කරගත්තා. ශවින් ජයවර්ධන දෙවරක්ම උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගිය අතර Shem Elisha හා Hafiz Thabeeth ද වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කළා.

පළමු අර්ධයේ දී වාර්තා වූ එකම විද්‍යා විද්‍යාලයීය උත්සාහක දිනුමට හිමිකම් කියුවේ මල්ෂාන් පෙරේරා.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 24 (4T,2C) – 05(1T) විද්‍යා විද්‍යාලය

දෙවැනි අර්ධයේ පළමුවෙන්ම ලකුණු රැස් කරන්නට සමත් වුනේ විද්‍යා විද්‍යාලයයි. කවිඳු නිම්සර විද්‍යා විද්‍යාලය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා.

වෙස්ලි විද්‍යාලය නැවත තරගයට රැගෙන එමින් නිතිල රොද්‍රිගෝ හා Hafiz Thabeeth දෙවැනි අර්ධයේ දීත් උත්සාහක දිනුම් රැස් කළා.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 38 (6T,2C) – 10 (2T) විද්‍යා විද්‍යාලය

NDB තරගයේ වීරයා – ශවීන් ජයවර්ධන (වෙස්ලි)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • වෙස්ලි විද්‍යාලය – නිතිල රොද්‍රිගෝ 1T, ශවින් ජයවර්ධන 1T 3C, Shem Elisha 1T, Hafiz Thabeeth 2T, මලීෂ තිරනගම 1T, රිගේෂ් මුරලිදරන් 1C
  • විද්‍යා විද්‍යාලය – මල්ෂාන් පෙරේරා 1T, කවිඳු නිම්සර 1T

සිව්වැනි සතියේ තවත් තරග කිහිපයත් අද (17) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<