ආබාධ රැසකින් අඩපණ වූ ගුවන් හමුදා කණ්ඩායම තියුණු සටනකින් පසුව ලකුණු 29 – 21ක් ලෙස පරාජය කල නාවික හමුදා කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් විය.
පසුගිය ලිපි: CR හමුවේ ජයග්‍රහණය ප්‍රභල මහනුවරට
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේදී සත්කාරක නාවිකයන් හට ක්‍රීඩා කිරීමට සිදුවුනේ ඔවුන්ගේ සෙන්ටර් ක්‍රීඩක ලී කීගල් නොමැතිවයි. සාලිය හඳපාන්ගොඩ විවේක ගන්වන්නට ඔවුන් පියවර ගෙන තිබූ අතර ඔවුන් වෙනුවට කෝසල තිසේරා සහ සුපුන් දිල්ශාන් කණ්ඩායමට ඇතුලත් විය.
ගුවන් හමුදා කණ්ඩායමට වෙනස්කම් 5 ක් සිදු කිරීමට සිදුව තිබූ අතර ඉන් 4 දෙනෙක්ම ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් විය. එමෙන්ම ගුවන් හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් අතර සිටි සෙන්ටර් ක්‍රීඩක චරිත් සෙනෙවිරත්නටද මෙම තරගය අහිමි වීම කැපී පෙනුනි. නායක ගයන්ත ඉද්දමල්ගොඩ ස්ක්‍රම් හාෆ් ස්ථානය භාර ගනිද්දී ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට සේවය කලේ නුවන් පෙරේරායි.
තිලින වීරසිංහ තරගය ආරම්භ කලේ දැඩි අවු රශ්මියක් වැටී තිබු වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනය හරහා සිසිල් සුළඟක් ද හමා යමින් තිබු අවස්ථාවකයි.
ගුවන් හමුදාව සත්කාරකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විශ්මයට පත් කලේ තරගයේ දෙවන මිනිත්තුව තුලදීම උත්සහක දිනුමක් වාර්තා කරමිනුයි. නුවන් පෙරේරා ඉදිරියට එල්ල කල පන්දුව නිසි අයුරින් රැක ගැනීමට නාවික හමුදා විඟර් ක්‍රීඩකයා අසමත් වූ අතර එම පන්දුව පසුපස හඹා ආ ගයන්ත ඉද්දමල්ගොඩ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සමත් විය. එහි ප්‍රවර්තනය රුමේෂ් රාම්දාස් ගෙන් ගිලිහී යන ලදී. (නාවික හමුදාව 00-05 ගුවන් හමුදාව)
කෙසේ වෙතත් රුමේෂ් රාම්දාස් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ ගුවන් හමුදාව තවත් ඉදිරියට ගෙන යමිනුයි. (නාවික හමුදාව 00-08 ගුවන් හමුදාව)
පළමු අදියරේ මුල් කොටස තුල තවත් ලකුණු ගලා ආවේ නාවිකයන් දෙවරක් ගුවන් හමුදා ගෝල සීමාව ආක්‍රමණය කිරීමත් සමඟයි. එම උත්සාහක දිනුම් ද්විත්වයේම අයිතිය චානක චන්දිමාල් සතු වූ අතර ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගන්නට තිලින වීරසිංහ සමත් විය. (නාවික හමුදාව 14 – 08 ගුවන් හමුදාව)
තරගයේ ඊළඟ මිනිත්තු 23ම ලකුණු ලබා ගැනීමෙන් තොරව ගෙවී ගිය අතර පළමු අර්ධය අවසානයට ලං වත්ම කණ්ඩායම් දෙකම දඬුවම් පහර බැගින් ලබා ගැනීමට සමත් විය. (නාවික හමුදාව 17 – 11 ගුවන් හමුදාව)
පළමු අර්ධය: නාවික හමුදාව 17 (2T, 2C, 1P) – ගුවන් හමුදාව 11 (1T, 2P)
රුමේෂ් රාම්දාස් ගුවන් හමුදාව වෙනුවෙන් දෙවන අර්ධය ආරම්භ කරන ලදී.
නාවිකයන් ඔවුන්ට හිමිවූ ස්ක්‍රම් අවස්ථාවකින් ඉතා මනස්කාන්ත උත්සාහක දිනුමක් වාර්තා කලේ දිනුෂ ප්‍රනාන්දු, චානක චන්දිමාල් සහ කෝසල තිසේරාගේ එකමුතුවෙනුයි. තිසේරා ගෝල කණු අතරින්ම පතිත කල පන්දුවේ ප්‍රවර්තනය පහසුවෙන්ම එල්ල කරන්නට තිලිණ සමත් විය. (නාවික හමුදාව 24 – 11 ගුවන් හමුදාව)
අනතුරුව එම උත්සාහක දිනුම වාර්තා කල තිසේරාට කහ කාඩ්පතක් ලැබුණු අතර ධනුෂ්ක පෙරේරාට එරෙහිව ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට ගුවන් හමුදාව සමත් විය. (නාවික හමුදාව 24 – 14 ගුවන් හමුදාව)
නාවිකයන් තරගයේ රිද්මය ගිලිහී යාමට ඉඩ නොදුන් අතර චන්දිමාල් විසින් යොමු කල පන්දුවක් දුලංජන පෙරේරා වෙත ලැබුණු අතර ගුවන් හමුදාවට එරෙහිව ලැබුණු තරමක් අවාසිදායක දඬුවම් පහරක්ද උපයෝගී කරගත් ඔහු නාවිකයන්ගේ සිවු වන උත්සාහක දිනුම වාර්තා කලේ ඔවුන්ට බෝනස් ලකුණේ අයිතියද ලබා දෙමිනුයි. (නාවික හමුදාව 29 – 14 ගුවන් හමුදාව)
කාංචන පෙරේරා විනිසුරු සමඟ වචන හුවමාරුවක පැටලීම හේතුවෙන් ඔහුටද පිටියෙන් ඉවත් වන්නට සිදුවුනේ නාවිකයන් හට තවත් ක්‍රීඩකයෙක් අහිමි කරමිනුයි.
තරගය අවසානයට ලඟා වෙද්දී ආදේශක ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ඉසුරු ජයරත්න උත්සාහක දිනුමක් වාර්තා කලද එය ගුවන් හමුදා කණ්ඩායමට සැනසිලි ත්‍යාගයක් පමණක් වූ අතර රුමේෂ් රාම්දාස් එය ප්‍රවර්තනය කිරීමත් සමගම විනිසුරුගේ තරග අවසන් බව හැඟවෙන නලා ශබ්දය නිකුත් විය.
අවසන් ලකුණු තත්ත්වය: නාවික හමුදාව 29 (4T, 3C, 1P) – ගුවන් හමුදාව 21 (2T, 1C, 3P)
ThePapare.com තරගයේ වීරයා: චානක චන්දිමාල් (නාවික හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක)
ලකුණු ලබාගත් ක්‍රීඩකයන් :
නාවික හමුදාව
උත්සාහක දිනුම්: චානක චන්දිමාල් (2), කෝසල තිසේරා, දුලංජන විජේසිංහ
තිලිණ වීරසිංහ – ප්‍රවර්තන (3), දඬුවම් පහර (1)ගුවන් හමුදාව
උත්සාහක දිනුම්: ගයන්ත ඉද්දමල්ගොඩ, ඉසුරු ජයරත්න
රුමේෂ් රාම්දාස් – ප්‍රවර්තන (1), දඬුවම් පහර (3)
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට