ඩයලොග් 19 වැනි වරටත් ඓතිහාසික නිල් මහා සටන බලගන්වයි!

The 145th Battle of the Blues

210
Battle of the Blues

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC විසින් 19 වැනි වරටත් කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වීමට නියමිත “නිල් මහා සටන” මහා ක්‍රිකට් තරගයට අනුග්‍රාහකත්වය පිරිනැමීමට සූදානම්ව සිටිනවා. 

මෙරට පාසල් මහා ක්‍රිකට් තරග වංශකථාවේ විශාලතම පරිච්ඡේදයකට හිමි කම් කියන මෙම නිල් මහා සටන, මෙවර 145 වැනි වරටයි පැවැත්වීමට නියමිත වන්නේ. එමෙන්ම මෙය ලොව දීර්ඝතම ක්‍රිකට් තරගාවලිවලින් එකක් ලෙස ද විශාල ගෞරවයක් ලැබූ තරගාවලියක්. 

දිවංගත ගරු ඩී.එස්.සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගය එළඹෙන මාර්තු මස 7,8 සහ 9 යන දින වල දී කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී (SSC) පැවැත්වීමට නියමිත අතර, තරගයේ සජීවී දසුන් ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානමින් සිටිනවා. 

ඒ අනුව ThePapare Tv Hd (ඩයලොග් නාලිකා අංක 126) ඔස්සේ, ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සහ Dialog Viu හරහා ද මෙම තරගය නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇති. 

එමෙන්ම මෙම මහා ක්‍රිකට් තරගයේ දී වාර්තා වන සෑම ලකුණක් සඳහා ම රුපියල් 1,000ක මුදලක් සහ දැවී යන සෑම කඩුල්ලක් සඳහා ම රුපියල් 10,000ක මුදලක් වෙන් කරමින් රට පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැංවීමේ මෙහෙවරේ ප්‍රමුඛයන් ලෙස Dialog විසින් සිය සුපුරුදු Play for a Cause වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වැඩසටහන මඟින් පසුගිය වසරේ එකතු වූ රුපියල් 1,128,000ක මුදලක් දෙවිදුහල් හි විදුහල්පතිවරුන් විසින් තෝරා ගත් පාසල් හතරක් සඳහා ප්‍රදාන කෙරුණා. 

එමෙන්ම දෙවිදුහල් අතර 47 වැනි වරට පැවැත්වීමට නියමිත Mustang’s කුසලාන සීමිත පන්දුවාර තරගය එළඹෙන මාර්තු මස 16 වැනි දා SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මේ අතර මෙවර මහා ක්‍රිකට් තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට නායකත්වය දීමේ වගකීම 19න් පහළ ලෝක කුසලානයට ද නායකත්වය ලබා දුන් සිනෙත් ජයවර්ධන හට හිමි වී තිබෙනවා. එමෙන්ම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට මහිත් ජයවර්ධන විසින් නායකත්වය ලබා දීමට නියමිතයි. 

මෙතෙක් පැවැත්වුණු මහා ක්‍රිකට් තරග 144න් තරග 36ක් රාජකීයයන් විසින් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, තෝමසුවන් විසින් ජයග්‍රහණ 35ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. අවසන් වරට පසුගිය වසරේ පැවැත්වුණු තරගයෙන් රාජකීයයන් විසින් ලකුණු 181ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, තෝමසුවන් විසින් අවසන් වරට මහා තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ 2019 වර්ෂයේ දීයි. 

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් මෙන්ම, ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මැතිතුමන් ද සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් මෙම මහා තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතර කැපී පෙනෙනවා. එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් මෙන්ම හිටපු විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමන් ද රාජකීයයන් නියෝජනය කරමින් මෙම මහා ක්‍රිකට් තරගයට සහභාගී වී තිබෙනවා. 

එවන් ගෞරවනීය අතීතයක් සහිත මෙම තරගාවලියේ වර්තමාන පුරුක් විසින් එකිනෙකා හා ගැටෙන මෙම තරගය, දේශීය ක්‍රීඩාව බල ගැන්වීමේ ප්‍රමුඛයා වන Dialog Axiata අනුග්‍රාහකත්වය යටතේ ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

ඡායාරූපයඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති, ගරු මාර්ක් බිලිමෝරියා පියතුමන් සහ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා වෙත අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කළ අවස්ථාව. රාජකීය විද්‍යාලයේ, රෝයල් තෝමියන් තරඟ සංවිධායක කමිටුවේ සම සභාපති, රෙහාන් ගුණසේකර (වමේ) සහ ශාන්ත තෝමස් විද්‍යාලය, රෝයල් තෝමියන් තරඟ සංවිධායක කමිටුවේ සම-සභාපති අර්ජුන වෛද්‍යසේකර (දකුණේ) යන මහත්වරුන්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<