සෝන්ඩර්ස්, බ්ලූ ස්ටාර් හට තියුණු ජයක්

324
Dialog Champions League 2016

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ තෙවැනි සිතියේ තරග 10ක් ඉකුත් සෙනසුරාදා (09) සහ ඉරිදා (10) යන දිනයන්හි පැවැත්විනි. එම තරගවලින් යුධ හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, සොලිඩ් ක්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

මාතර ක්‍රීඩා සමාජයට එදිරිව යුධ හමුදා ක්‍රීඩා සමාජය

ඉකුත් සෙනසුරාදා මාතර පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති මෙම තරගයෙන් ගෝල 03 : 01 ලෙස ජය වාර්තා කිරීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

විනිසුරුගේ නලා නාදය සමඟ අැරඹි තරගයේ ප්‍රථම අර්ධය නිමාවට පත්වන්නේ ගෝල 02 – 01 ලෙස යුධ හමුදාව පෙරමුණ ගනිමිනි. යුධ හමුදාව විසින් ලබා ගත් ගෝල 2ම වාර්තා කරනු ලබන්නේ මොහොමඩ් ඉසඩීන් විසිනි. ඒ තරගයේ 10වැනි සහ 22වැනි මිනිත්තු වලදීය. මාතර කණ්ඩායම වෙනුවෙන් වාර්තා කල ගෝලය 17 වැනි මිනිත්තුවේදි ඔචුකෝ ෆ්‍රැන්ක් විසින් වාර්තා කරන ලදි.

කෙටි විවේකයකින් පසුව අැරඹි දෙවැනි අර්ධයේදි මාතර කණ්ඩායම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත් නොවන අතර යුධ හමුදාව වෙනුවෙන් සිය තෙවැනි ගෝලය වාර්තා කිරීමට ඉසඩීන් සමත් විය. ඒ තරගයේ 64වැනි මිනිත්තුවේදීය.

අවසන් ලකුණු – මාතර ක්‍රීඩා සමාජය 01 : 03 යුධ හමුදා ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – ඒ. ඩි. ප්‍රභාත් (මාතර ක්‍රීඩා සමාජය), එම්. ඒ. ඒ. රහුමාන් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)


ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එදිරිව තිහාරිය යූත්

ඒකල ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදි පැවති පහසු තරගයකින් ගෝල 03 : 00 ලෙස ජය වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හැකි විය.

ගුවන් හමුදා සමාජය වෙනුවෙන් කවින්දු ඉෂාන් තරගය අාරම්භ වී මිනිත්තු 05ක් යන තැන ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඉන් අනතුරුව ඩි. කේ. දුමින්ද විසින් 20වැනි මිනිත්තුවේදි තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ප්‍රථම අර්ධය නිමා වන්නේ ගෝල 02 – 00 ලෙස ගුවන් හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවෙමිනි.

තරගයේ දෙවැනි අර්ධයේදි ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට තිහාරිය සමාජය අසමත් වන අතර ගුවන් හමුදාව වෙනුවෙන් ලබා ගත් අවසන් ගෝලය 42වැනි මිනිත්තුවේදි නිපුන බණ්ඩාර විසින් ලබා ගන්නා ලදි.

අවසන් ලකුණු – තිහාරිය යූත් 00 : 03 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – කේ. එන්. එච්. ෆර්නැන්ඩෝ, ටි. එල්. ජයසිංහ (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය) අප්පයියා ඩ්සීයා, වි. එස්. බි. විමුක්ති, එම්. ඔ්. පැට්‍රික්, පි.ටි. මදුඅබුරුචි, එම්. උමර් මුන්නවර් (තිහාරිය යූත්).


සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එදිරිව සුපර් සන් ක්‍රීඩා සමාජය

අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයක් වන මෙයින් ගෝල 03 : 02 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විය.

ප්‍රථම අර්ධයේ සිටම දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිශාන්ත අබේසේකර 7වැනි මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. 45+1 මිනිත්තුවේදි ලැබුනු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් වු අතර සුපර් සන් කණ්ඩායමටද 45+2 මිනිත්තුවේදි දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය. ප්‍රථම අර්ධය නිමා වන විට ගෝල 02 – 01 ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පෙරමුණේ පසුවිය.

තරගයේ දෙවැනි අර්ධයේදි අබ්දෙල් මොහොමඩ් විසින් සෝන්ඩර්ස් කණ්ඩායම ලබා ගන්නා අවසන් ගෝලයත් වාර්තා කරන ලදි. ඒ 70වැනි මිනිත්තුවේදීය. සුපර් සන් ක්‍රිඩා සමාජයද දෙවන අර්ධයේදි ගෝලයක් වාර්තා කිරීමට සමත් වන අතර ඒ නුවන් ප්‍රියංකර විසින් 63වැනි මිනිත්තුවේදීය.

අවසන් ලකුණු – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 03 : 02 සුපර් සන් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – එම්. ෆාරූඩ් සහ බි. ක්වාබෙරා (සුපර් සන් ක්‍රීඩා සමාජය)


මීගමුව යූත් සමාජයට එදිරිව බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

මෙම තරගය පසුගිය ඉරිදා (10) කැළණිය පාපන්දු සංකීර්ණයේදි පැවති අතර ගෝල 02 : 03 ලෙස ජය වාර්තා කිරීමට බ්ලු ස්ටාර් සමාජය සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට ගෝල 1 බැඟින් ලබා සම තත්වයක කණ්ඩායම් දෙකම පසුවිය. මීගමුව සමාජය වෙනුවෙන් 45වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඉඩුවෝ හමීඩ් සමත් වන අතර බ්ලූ ස්ටාර් සමාජය වෙනුවෙන් ප්‍රියංකර සිල්වා 26 වැනි මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

කෙටි විවේකයකින් පසුව අැරඹි දෙවන අර්ධයේදි සම තත්වය බිඳ දමමින් 49වැනි මිනිත්තුවේදි සිල්වා සිය දෙවැනි ගෝලය වාර්තා කරන ලදි. බ්ලූ ස්ටාර් සමාජය වෙනුවෙන්ද සිය දෙවැනි දඬුවම් පහර වාර්තා කිරීමට 81වැනි මිනිත්තුවේදි  ඉඩුවේට හැකි විය. බ්ලූ ස්ටාර් සමාජය වෙනුවෙන් ගෝල දිනුමක් ලබා ගැනීමට 78වැනි මිනිත්තුවේදි ඒ. ජිබෝලා සමත් විය.

අවසන් ලකුණු – මීගමුව යූත් 02 : 03 බ්ලූ ස්ටාර් සමාජය

කහ කාඩ්පත් – හරින්ද්‍ර පීරීස්, කමල් සිලවා සහ ඊ. බී. ඒ. අැකූටි (මීගමුව යූත්)


නාවික හමුදා ක්‍රීඩා සමාජයට එදිරිව ජාවා ලේන් ක්‍රීඩා සමාජය

පසුගිය ඉරුදින වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි මෙම තරගය පැවත්වු අතර ජය පරාජයකින් තොරව තරගය අවසන් විය.

ප්‍රථම අර්ධයේ දි කිසිදු ලකුණක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වන අතර 50වැනි මිනිත්තුවේදි නාවික හමුදා ක්‍රීඩක චතුරංග සංජීව විසින් ගෝලයක් රැස් කරන ලදි. ඉන්පසුව ජාවා ලේන් කණ්ඩායමද 88 වැනි මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒ ජනක චමින්ද විසිනි.

අවසන් ලකුණු – නාවික හමුදා ක්‍රීඩා සමාජය 01 : 01 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – එම්. සී. චමීර, ජී. අයි. ජී. ෆර්නැන්ඩෝ, ඊ. ඒ. සී. සංජීව සහ ජේ. අාර්. පි. පෙරේරා (ජාවා ලේන්)


නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජයට එදිරිව රිනවුන් ක්‍රීඩා සමාජය

ජුලි 10වැනිදා වෙන්නප්පුව සර් අැල්බට් එෆ්. පීරීස් ක්‍රීඩා පිටියේදි තරගය නිමා වන්නේ නිව් යන්ග්ස් කණ්ඩායම ලකුණු නොලබාම පරාජය වෙමිනි. තරගය 00 : 03 ලෙස පෙරමුණ ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට ගෝල 2ක් වාර්තා කිරීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ජොබ් මයිකල් විසින් 22 වැනි මිනිත්තවේ සහ මොහොමඩ් රිෆ්නාස් 41වැනි මිනිත්තුවේදි ලබා ගත් ගෝලයි.

ඉන් අනතුරුව තරගයේ දෙවැනි අර්ධය අාරම්භ වී 60වැනි මිනිත්තුවේදි සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට මයිකල් සමත් විය.

අවසන් ලකුණු – නිව් යන්ග්ස් 00 : 03 රිනවුන් ක්‍රීඩා සමාජය

කහ කාඩ්පත් – අෆාම් අක්‍රම් සහ මොහොමඩ් රිස්නි (රිනවුන් ක්‍රීඩා සමාජය)


සොලිඩ් ක්‍රිඩා සමාජයට එදිරිව ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය

ඉරිදා අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදි පැවති තරගයෙන් ගෝල 03 : 00 ලෙස ජය වාර්තා කිරීමට සොලිඩ් කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධයේ 36 වැනි මිනිත්තුවේදි සිය පළමු ගෝලය වාර්තා කිරීමට තක්ෂිල දනෝජ් විජේතුංග සමත් විය.

ඉන්පසුව අනෙක් ගෝල 2ම තරගයේ දෙවැනි අර්ධයේදි වාර්තා විය. එම ගෝල දෙකද ලබා ගත්තේ විජේතුංග විසිනි. ඒ තරගයේ 74වැනි සහ 8වැනි මිනිත්තුවලදීය.

අවසන් ලකුණු – සොලිඩ් සමාජය 03 : 00 ක්‍රිස්ටල් පැලස්

කහ කාඩ්පත් – සගයම් ගොඩ්වින් (සොලිඩ් සමාජය) සි. උබොඩුයිසි රැස්ටස්, කේ. ඩීන් ෆ්‍රැන්සිකෝ (ක්‍රිකස්ටල් පැලස්)

රතු කාඩ්පත් – අමිත් කුමාර (සොලිඩ් 45+2 මිනිත්තුව)


සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජයට එදිරිව කොළඹ ක්‍රීඩා සමාජය

සිටි පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවති තරගයේ කොළඹ සමාජයට අභියෝගයක් කිරීමට සිවිල් අාරක්ෂක ක්‍රීඩකයින්ට නොහැකි විය. තරගය නිමා වුයේ ගෝල 03 : 00 ලෙස වැඩි ගෞරවය කොළඹ සමාජයට ලැබෙමිනි.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට කෙළඹ සමාජය ගෝල 02ක් වාර්තා කිරීමට සමත් විය. ඒ 21 සහ 28 වැනි මිනිත්තුවලදි අෆිස් ඔලායෙමි විසිනි.

තරගයේ දෙවැනි අර්ධයේදි ද තවත් ගෝලයක් වාර්තා කිරීමට අෆිස් සමත් විය. ඒ 73වැනි මිනිත්තුවේදීය.

අවසන් ලකුණු – සිවිල් අාරක්ෂක සමාජය 00 : 03 කොළඹ පාපන්දු සමාජය

කහ කාඩ්පත් – එස්. එම්. අයි. ඩි. කුමාරි (සිවිල් අාරක්ෂක සමාජය) එම්. සිල්වා (කොළඹ සමාජය)

රතු කාඩ්පත් – එම්. ඒ. එන්. මදුසංක (සිවිල් අාරක්ෂක සමාජය 83වැනි මිනිත්තුවේදි)