ධම්මිස්සර විද්‍යාලය පාසල් වොලිබෝල් පිටියේ පෑ පංච මහා විප්ලවය

613

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක්ව DSI පාවහන් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් යුතුව 21 වැනි වරටත් සංවිධානය කළ DSI සුපර් ස්පෝට්ස් ශූරතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතා 5ක් දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමත් වුනා. 

තරගාවලිය ජයග්‍රහණය කරන්න ඕන කියන හැඟීම හැම කණ්ඩායමකට ම තිබුණා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා පුහුණු වුනා. හැමදෙනා ම එක ම අයුරින් විශාල කැපවීමකින් මේ දේවල් සඳහා සහභාගී වුනා. මම හිතනවා ඒකේ ප්‍රතිඵලය තමයි මේ. ලැබුණු ජයග්‍රහණය ගැන විශාල සතුටක් තියෙනවා,” ධම්මිස්සර ජාතික පාසලේ ක්‍රීඩා භාර ආචාර්ය කීර්ති ජයසේකර මහතා ThePapare.com සමඟ එකතු වෙමින් පැවසුවා. 

ඔහු වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ වොලිබෝල් බාලක කණ්ඩායම්වල පුහුණුකරු මෙන් ම එම කණ්ඩායම් භාර නිලධාරීවරයා ලෙසින් ද කටයුතු කරනවා.

60 දශකයේ දී වොලිබෝල් පිටියට පිවිසි ධම්මිස්සර ක්‍රීඩකයෝ පළමු වරට සමස්ත ලංකා ශූරතා කුසලානයක් දිනා ගන්නේ 1981 වසරේ දී. එතැන් සිට පැවති සමස්ත ලංකා ප්‍රධාන පෙළේ තරගාවලිවල දී කුමන හෝ ශූරතා කුසලානයක් දිනා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

ඒ අනුව ගත වූ සෑම වසරක දී ම පාසල් වොලිබෝල් පිටියේ කුමන හෝ පෙරළියක් කරන ධම්මිස්සර ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දී වයස අවුරුදු 11න් පහළ බාලක/බාලිකා, වයස අවුරුදු 13න් පහළ බාලක/බාලිකා සහ වයස අවුරුදු 15න් පහළ බාලක යන තරග ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. 

ඔවුන් මීට පෙර ද 2004 වසරේ දී සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ දී ශූරතා කුසලාන 5ක් දිනා ඇති අතර මෙවර ද ඔවුන් එවන් දක්ෂතාවක් සිදු කරමින් පාසල් වොලිබෝල් පිටියේ එවන් දක්ෂතාවක් කළ පළමු පාසල බවට ද පත් වෙනවා. 

අපි සෑම ඉසව්වක් සඳහා ම කණ්ඩායම් ඉදිරිපත් කළා. ඒ අතරින් මේ ජයග්‍රහණය කළ කණ්ඩායම් ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඔවුන් ශූරයන් වන්නේ අපරාජිත කණ්ඩායම් ලෙසයි. නමුත් අවාසනාවකට වගේ අපිට 17න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩවල දී අවසන් කණ්ඩායම් දක්වා පැමිණීමට හැකි වුනේ නැහැ. නමුත් ඔවුන් ද තරගාවලියේ දී ඉතා ඉහළ දක්ෂතා දැක්වූවා.” 

ධම්මිස්සර ක්‍රීඩකයෝ පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දී ම වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල ක්‍රීඩකයෝ දක්ෂතා දැක්වුවා. නමුත් දැනට වසර කිහිපයක සිට ම එම වයස් කාණ්ඩයෙන් ඔවුන්ගේ දක්ෂතා කලඑළි බසින්නේ නැහැ.  

ඒ ගැන අපි හැම දෙනා ම කනගාටු වෙනවා. නමුත් දැක්වූ දක්ෂතා ගැන සෑහීමකට පත් වෙන්න වගේ ම ඉදිරියේ දී ඔවුන් ද මේ මට්ටමට ඒවි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ මත සිටිමින් අපි අපේ අනාගතය සැලසුම් කරනවා. ඉතා ඉක්මනින් ම ඔවුන් ද විද්‍යාලයීය ගෞරවය ඉහළින් ඔසවා තබාවි.” 

ධම්මිස්සර විද්‍යාලය 2016 වසරේ දී එවකට පැවති වයස අවුරුදු 18න් පහළ බාලක/බාලිකා සහ 16න් පහළ බාලක ඉසව්වල අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ගනිමින් එහි අනුශූරතාවන් දිනා ගන්නවා. ඊට පසුව 2017 දී 19න් පහළ ලෙසින් වයස් කාණ්ඩ වෙනස් වෙන අතර එවර ඔවුන් ශූරතාව දිනා ගැනීමට සමත් වෙනවා.  

අනතුරුව 2018 වසරේ දී ද වයස අවුරුදු 19න් පහළ ශූරතාව රැක ගැනීමට ඔවුන් සමත් වන අතර 2019 වසරේ දී නැවත වරක් ඔවුන්ට සිදු වූයේ අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමටයි.  

ඉන්පසුව අපිට ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල එවැනි දක්ෂතා දකින්නට ලැබුණේ නැහැ. නමුත් ඒ හිඩැස කනිෂ්ඨ කණ්ඩායම් මගින් පිරෙව්වා. ඔවුන් විශාල ප්‍රගතියක් කරා පැමිණෙමින් පදක්කම් රාශියක් දිනා ගත්තා.” 

පසුගිය අවුරුද්දේ දී ද ධම්මිස්සර විද්‍යාලය වයස අවුරුදු 11න් පහළ බාලක සහ බාලිකා අංශ ද්විත්වයේ ම ශූරයන් වන අතර වයස අවුරුදු 13න් පහළ බාලකයන් ශුරයන් වන අතර බාලිකාවන් අනුශූරතාව දිනා ගන්නවා.   

ධම්මිස්සර විද්‍යාලය නියෝජනය කරමින් ජයග්‍රහණය ලැබූ කණ්ඩායම් 

11න් පහළ බාලිකා

මෙම ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ධම්මිස්සර විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නේ අවසන් පූර්ව වටයේ දී මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරමින්.  

ඒ අනුව ඔවුන්ට අවසන් මහා තරගයේ දී හමුවෙන්නේ ඇල්පිටියට ප්‍රාථමික විද්‍යාලයයි. එහි දී තරග වට 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ධම්මිස්සර ක්‍රීඩිකාවෝ සමත් වන අතර ලකුණු පුවරුව කියැවුණේ 15-05ක් සහ 15-04ක් ලෙසයි.  

එම ඉසව්වේ ශූරතාවයට අමතරව දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසින් ශෂිනි මධුශිකා ද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙසින් විනුති තෙහාර ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින්  කණ්ඩායම් නායිකා යෙන්සදී ඉමායා ද ධම්මිස්සර විද්‍යාලය වෙනුවෙන් සම්මාන ලබා ගන්නවා.  

ජයග්‍රාහී ධම්මිස්සර කණ්ඩායම: යෙන්සදී ඉමායා (නායිකාව), ශෂිනි මධුෂිකා, හසඳි ඉසත්මා, රසිඳි ඔමායා, ජොහානා සත්‍යාංජලී, ගෙසඳි සුදම්සා, විනුති තෙහාරා, රොෂෙන්දි ඒන්ජල්, සනුලි නෙත්‍යා, පහන්දි සේයා, ඔනේජා සයුමිණි, යෙනුලි බිමල්‍යා, කේෂානි ලිමන්සා, බිමන්‍යා රිසිනි. 

11න් පහළ බාලක

මෙම ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ධම්මිස්සර විද්‍යාලය සමඟින් සුදුසුක්ම ලබා ගත්තේ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයයි. ඔවුනොවුන් අතර පැවති අවසන් මහා තරගයේ දී තරග වට 2-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

මෙම කණ්ඩායමට ද අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කිරීමට හමුවෙන්නේ මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යාලයයි.  

ලකුණු පුවරුව කියැවුණේ 15-08ක් සහ 15-11ක් ලෙසයි.  

එහි දී තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසින් විනුජ මන්දිල් ද සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් කවිත මෙත්මල් ද ධම්මිසරයන් වෙනුවෙන් සම්මාන දිනා ගන්නවා.  

ජයග්‍රාහී ධම්මිස්සර කණ්ඩායම: ඉශාමෙත් මේධ (නායක), කවිත මෙත්මල්, පූජාන් මානෙත්, සසිඳු එළීෂ, ඉඳුසර ප්‍රනාන්දු, විනුජ මන්දිල්, විදූෂ දෙව්ශාන්, සෙනුක උදාන්, හිමාෂ් මිහිනාත්, නවීන් කේසර, රිෂේන් ෂෙයාල්, මහන්ත නිකේෂණ, කුෂේන් දසුන්, පිනිඳු දෙව්මිණ. 

13න් පහළ බාලක

මෙම ඉසව්වේ දී ධම්මිස්සර ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය 2-0ක් ලෙසින් පරාජය කරමින්. ජයග්‍රාහී ඔවුන් සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ නාත්තන්ඩියේ ම ජනාධිපති ජාතික පාසලයි. එම තරගයෙන් තරග වට 2-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වූ අතර අවසන් ලකුණු පුවරුව කියැවුණේ 21-15ක් සහ 21-10ක් ලෙසයි.  

එහි දී ප්‍රධාන සම්මාන ත්‍රිත්වය ධම්මිස්සර ක්‍රීඩකයෝ විසින් දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා. ඒ අනුව තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසින් අසිවිද පෙරේරා, තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් නායක යුමීර දිල්නාත් සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් තෙනුජ තරුල් ද සම්මාන දිනා ගත්තා.  

ජයග්‍රාහී ධම්මිස්සර කණ්ඩායම: යුමීර දිල්නාත් (නායක) නිමේෂ් ලක්ෂාන්, අභිත් සේනිත, ජයිත් කිත්සර, උෂාන් කවීෂ, අමීෂ හිරුෂාන්, ගිජිඳු ඉඳුසර, තෙනුජ තරුල්, පැහැඳුල් අස්විද පෙරේරා, වොතිෂ නෙත්මිර, චෙනුල් අශේන්, අකිඳු ලෙව්මිත, විරුණු භාතිෂ, හසඳු නෙත්මිර. 

13න් පහළ බාලිකා

මෙම ඉසව්වේ අවසන් මහා තරගයට ධම්මිස්සර ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලබා ගන්නේ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට එරෙහිව තරග වට 2-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.  

ජයග්‍රාහී ඔවුන් සමඟින් අවසන් මහා තරගයට මාබිම විද්‍යාකර විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව පැවති අවසන් මහා තරගයේ දී තරග වට 2-0ක් ලෙසින් ධම්මිස්සර ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරන්නේ 21-17ක් සහ 21-17ක් ලෙසයි.  

එහි දී තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙසින් ධම්මිස්සරයේ අශාලි ටාන්‍යා ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ධම්මිස්සරයේ ඩිනේකා දිනාංජලී ද සම්මාන දිනා ගත්තා.  

ජයග්‍රාහී ධම්මිස්සර කණ්ඩායම: තිසඳි තුෂ්මිණි (නායිකාව), අශාලි ටාන්‍යා, රිතිනි සහන්සා, සුසිනි රුවනාරා, ජනීෂා දෙව්මිණි,  ගගුනි වෙතුම්‍යා, ඩිනේකා දිනාංජලී, ෂෙහාරා නවමිණි, ගිත්මි රසෝද්‍යා, සයුමි තසන්‍යා, ජනුද් ෂෙනාරා, ලියාරා ඕෂදී, යෙහෙනි ගවේෂි, විංහසා සිතුමි. 

15න් පහළ බාලක 

ධම්මිස්සර ක්‍රීඩකයෝ මෙම වයස් කාණ්ඩ ඉසව්වේ දී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඌරාපොළ මහා විද්‍යාලය සහ අවසන් පූර්ව වටයේ දී ගලපිටමඩ වලගම්බා ජාතික පාසල පරාජය කරමින්.  

ඒ අනුව ඔවුන් අවසන් මහා තරගය සඳහා එක් වෙන්නේ හුංගම විජබා ජාතික පාසල සමඟින්. එම තරගයේ දී 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වුනා. එහි අවසන් ලකුණු පුවරුව කියැවුණේ 25-17ක්, 25-18ක් සහ 25-15ක් ලෙසයි.  

ජයග්‍රාහී කුසලානයත් සමඟින් තරගාවලියේ දක්ෂතා දැක්වූවන් සඳහා ප්‍රදානය කරන සම්මාන ත්‍රිත්වය ද දිනා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා. ඒ අනුව තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසින් තිමෙත් අරෝෂ ද, තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් විදුල දහම් ද සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නායක බිහු නිම්සත් ද සම්මාන දිනා ගත්තා.   

ජයග්‍රාහී ධම්මිස්සර කණ්ඩායම: බිහඳු නිම්සත් (නායක), ජනිතු බිම්සර, විදුල දහම්, දිලුම් ප්‍රමෝද්‍යා, ජනිරු විදෙව්, සිසුරු සඳරුවන්, නවීන් රත්සර, තිමෙත් අරෝෂ, මලිත් නෙත්සර, ටාජ් මිහිනාත්, හිරුජ දින්සර, සේනුල දේවින්ද. 

මේ ජයග්‍රහණ පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් නොවන්නට අපිට මේ ගමන මේ ආකාරයෙන් යන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ම සිහිපත් කළ යුත්තේ මේ කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්. ඔවුන් තරාතිරම නොබලා පාසලේ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් උදව් උපකාර කරනවා,” කීර්ති ජයසේකර මහතා පැවසුවා. 

විදුහල්පති නීල් සියඹලාපිටිය මහතා, ප්‍රාථමික අංශයේ වැඩබලන විදුහල්පති සජිත් ප්‍රනාන්දු මහතා, 11න් පහළ බාලිකා සහ බාලක කණ්ඩායමේ පුහුණුකරු හරිත ගිශාන් මහතා, සහ කණ්ඩායම් භාර ආචාරිනී උත්පලා මාධවී මහත්මිය, 13න් පහළ බාලිකා කණ්ඩායමේ පුහුණුකරු චාල්ස් තිලකරත්න මහතා සහ කණ්ඩායම් භාර ආචාරිනී සජීවනී ප්‍රනාන්දු මහත්මිය මෙන් ම වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ පුහුණුකරු චන්න ජයසේකර මහතා ද විද්‍යාලයීය වොලිබෝලි ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරත වෙන බැව් කීර්ති ජයසේකර මහතා පවසනවා. 

එමෙන් ම ඊට අමතර ව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන් ම විද්‍යාලයීය සමස්ත දරු දැරියන් ද මේ වෙනුවෙන් දක්වන දායකත්වය මෙම ජයග්‍රහණවලට ආශීර්වාදයක් බව ද ඔහු පවසනවා.  

පාසල් වොලිබෝල් පිටියේ දිගින් දිගට ම දක්ෂතා දැක්වූ සහ මේ වසරේ දී සුවිශේෂී දක්ෂතාවන් දැක්වූ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයීය වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com හී සුබ පැතුම්! 

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<