David Warner විස්සයි විස්ස පිටියට සමුදෙයි!

ICC Men's T20 World Cup 2024

95
David Warner's international retirement

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයෙන් ඕස්ට්‍රේලියාවට ඉවත් වීමට සිදුවීමත් සමඟින් සුපිරි පිතිකරු David Warnerගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය ද සනිටුහන් වුනා. 

ඊයේ පැවැත්වුණු ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාවට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වීමට සිදු වුනා. 

ඒ අනුව මෙවර ලෝක කුසලානයෙන් පසුව සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියට සමුදීමට තීරණය කර තිබූ ආරම්භක පිතිකරු David Warnerගේ ක්‍රීඩා දිවියේ නිමාව ද සනිටුහන් වුනා. 

ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ අවසන් තරගය ලෙස පසුගිය සඳුදා (24) ඉන්දියාව සමඟ තරග වැදුණු අතර, එහි දී ඔවුන්ට ලකුණු 24ක පරාජයක් උරුම වුනා. 

මෙම තරගයේ දී Warner විසින් එක් හතරේ පහරක් සමඟින් පන්දු හයක් තුළ ලකුණු හයක් ලබා ගැනීමට සමත් වූ අතර, Arshdeep Singh විසින් යොමු කළ පන්දුවකට Suryakumar Yadav අතට උඩපන්දුවක් ලබා දීමත් සමඟ ඔහුගේ ඉනිම අවසන් වුනා. 

කෙසේ වෙතත් ඒ මොහොත වන විට මෙය Warnerගේ අවසන් විස්සයි විස්ස තරගය වනු ඇති බවට කිසිවකුට හෝ පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. 

ගෙවුණු 2023 වසරේ පැවැත්වුණු එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වුණු අවසන් මහා තරගය ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහු පාකිස්තානයට එරෙහිව සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළා. 

එම කාල සීමාවේ දීම ඔහු විසින් තමන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට ද සමුදීමට සූදානම් බවට ඉඟි පළ කළා. 

ඕස්ට්‍රේලියාව විසින් බිහි කළ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවකු ලෙස සැලකුම් ලබන Warner සිය අවසන් කාලයේ පිතිකරණ දක්ෂතා අතින් යම් පසුබෑමකට ලක් වූ බව ද පෙනෙන්නට තිබුණා. 

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් Warner කෙරේ විශ්වාසය තැබූ අතර, නිමා වූ IPL තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ Jake Fraser-McGurk වැනි පිතිකරුවකුට ඉහළින් අත්දැකීම් බහුල Warnerට ඕස්ට්‍රේලියානු සංචිතය වෙත කැඳවීම් ලැබුණා. 

කෙසේ වෙතත් සිය සමුගැනීම තහවුරු වීමත් සමඟින් සිය Instagram පිටුවේ Story එකක් ලෙස Jake Fraser-McGurkව අමතමින් ඔහු මෙසේ සටහනක් තබා තිබුණා. 

ශූරයෝ, දැන් හැමදේම ඔබේයි 

වසර 15ක් මුළුල්ලේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ රැඳී සිටිමින් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ Warner විසින් තරග 110ක් තුළ ලකුණු 3277ක් ලබා ගැනීමට සමත් වුනේ 33.43ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි. 

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<