වීසා (Visa) ගැටලුවක් නිසාවෙන් ශ්රී ලංකා පන්දුවාර 20 ක්රිකට් කණ්ඩායමේ නව නායක දසුන් ශානක හට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යෑමට නොහැකි වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කර සිටියා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර තිබුණේ වීසා බලපත්රයේ ඇති වූ ගැටලුවක් නිසාවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා නම් කළ තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක හට කණ්ඩායම සමඟින් පිටත් වීමට නොහැකි වූ බවයි.
වසර පහක් සඳහා නිකුත් කළ ඇමරිකානු වීසා (Visa) සහිත ඔහුගේ ගමන් බලපත්රය (passport) අස්ථානගත වී ඇති අතර ඔහුගේ නව ගුවන් ගමන් බලපත්රය සඳහා නව වීසා (Visa) මේ දක්වා නිකුත් නොකිරීම නිසාවෙන් ඔහුට මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇත.
තවත් ක්රිකට් පුවත්:
එම සිදුවීම පිළිබඳව ESPNcricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් දසුන් ශානක ප්රකාශ කර සිටියේ,
“මගේ විදෙස් ගමන් බලපත්රය මීට අවුරුදු දෙකකට පෙර නැති වුනා. ඒ නිසා අදාල නිලධාරීන් දැනුම් දුන්නා නව බලපත්රයට වීසා ලබා දෙන්න කලින් මගේ පරණ බලපත්රය යොදාගෙන යම් කෙනෙක් ඒ රටට ගිහින් තියනවා ද කියලා පරීක්ෂා කරන්න ඕනේ කියලා”
එමෙන්ම ඔහු හට නැවත ඇමරිකානු වීසා ලබා ගැනීමට සිදු වූ ප්රමාදය පිළිබඳව අදහස් දැක්වූ දසුන් ප්රකාශ කර සිටියේ ළහිරු තිරිමාන්න හට කොරෝනා ආසාදනය වීම නිසාවෙන් නිරෝධානය වීමට සිදු වූ නිසා ඔහු හට අදාළ ලියකියවිලි බාර දීමට නොහැකි වූ බවයි.
“මම මීට කලින් මේ ගැන සාකච්ඡා කරන්න ඔවුන් එක්ක වෙලාවක් වෙන් කරගෙන තිබුණේ. ඒත් ඇතිවුන තත්ත්වය නිසා ඒක කල්දාන්න සිදු වුනා” යැයි ඔහු වැඩි දුරටත් ප්රකාශ කර සිටියා.
මෙම ගැටලුව පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම අරඹා ඇති අතර හැකි ඉක්මනින් මෙම වීසා (Visa) ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරමින් සිටී.
තරගාවලිය සඳහා සහභාගි වන ශ්රී ලංකා සීමිත පන්දුවාර ක්රිකට් කණ්ඩායම ඊයේ (22) රාත්රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර මෙම ගැටලුව විසදා ගත් වහාම දසුන් ශානක සිය කණ්ඩායම හා එක්වීමට නියමිතව ඇත.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<