හිටපු කොදෙව් නායකයාට විශේෂ වගකීමක්

469

බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු කොදෙව් නායක Daren Sammy පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ සිට ඔහු සිය නව තනතුරේ කටයුතු කරන අතර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ද කොදෙව් පුහුණුකරුවා වන්නේ ඔහුයි.

කොදෙව් ටෙස්ට් සහ ‘A’ කණ්ඩායමේ නායකයා ලෙස Andre Coley පත් කර තිබෙන අතර ඔහු ඉන්දියාව සමඟ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ සිට වැඩ ආරම්භ කිරීමට නියමිතයි.

“ඒක ඉතා අභියෝගාත්මක එකක් වුනත් මම ලෑස්තියි ඒකට. මම මගේ වැඩ ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා වගේම මම විශ්වාස කරනවා ක්‍රීඩකයෙකු විදියට මට තිබුණ ආශාව, සාර්ථකත්වය සහ කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආදරය ඒ විදියටම කණ්ඩායමට ගේන්න පුළුවන් වෙයි කියලා.”

“කණ්ඩායමේ ඉතාමත් හොඳ දක්ෂ ක්‍රීඩකයින් සිටිනවා. නව නායකයින් යටතේ පැවති දකුණු අප්‍රිකා සංචාරයේ දී කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. ඒක අපිට මේ දෙය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ගේනවා,” යැයි Sammy ප්‍රකාශ කළා.

2012 සහ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Sammy,  Peshawar Zalmi සහ  St. Lucia Zouks යන කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර ඔහු කොදෙව් කණ්ඩායමේ අතුරු පුහුණුකරුවෙකු ලෙස ද වැඩ කර තිබෙනවා.

“කොදෙව් කණ්ඩායමේ අතුරු පුහුණුකරුවෙකු ලෙස වැඩ කිරීමෙන් පසු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙන්න ලැබීම මට ඉතා ගෞරවයක්. මම ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දෙන්න සූදානම් අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීම සහ 2025 ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම තමා ප්‍රධාන ඉලක්කය.

ඒ වගේම නවක ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක් සහ ඔවුන්ව සූදානම් කිරීම සඳහා ‘A’ කණ්ඩායම සමඟ වැඩ කරන්න ලැබෙන එකට මම ගොඩක් සතුටු වෙනවා. මම විශ්වාස කරනවා මගේ හැකියාවන් සහ Sammy සමඟ එක්ව වැඩ කරලා ක්‍රීඩකයින්ගේ සංවර්ධනයට සහ කණ්ඩායමේ දියුණුවට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා,” යැයි Andre Coley ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<