දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්

Lanka Premier League 2024

107

මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන දඹුල්ල කණ්ඩායම සඳහා නව හිමිකරුවෙකු සම්බන්ධ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර තිබෙනවා.  

ඒ අනුව මෙවර තරගවාරයේ දඹුල්ල කණ්ඩායමේ නාමයේ වෙනසක් සිදු වීමට නියමිත අතර නව හිමිකරුවා යටතේ කණ්ඩායම Dambulla Sixers ලෙස තරග වැදීමට නියමිතයි.  

එම කණ්ඩායම Sequoia Consultants, Inc ආයතනය විසින් මිල දී ගෙන තිබෙන අතර  DeSilva Holdings යටතේ නව කණ්ඩායමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. 

මෙම Sequoia Consultants, Inc ආයතනයේ ප්‍රධානියා ලෙස ප්‍රියංග ද සිල්වා මහතා කටයුතු කරන අතර ඔහු 1983 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.  

එමෙන්ම ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ දී අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන ඔහු වර්තමානයේ ඇමරිකානු අවුරුදු 60න් ඉහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. 

ක්‍රීඩා කිරීමට අමතරව ඔහු කැලිෆෝනියා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ස්වෙච්චා සේවයක් සිදු කරමින් සිටින අතර ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඇමරිකාව තුළ ව්‍යාපාර කිහිපයක හිමි කරුවෙක් වීම ද කැපී පෙනෙනවා.  

“ක්‍රිකට් ක්‍රීඩාව, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඇති ආසාව මම මේ කණ්ඩායම මිල දී ගැනීමට පෙළඹීමක් ඇති කළා. මෙම ලීගය පසුගිය වසර කිහිපයේ හොඳ වර්ධනයක් ලබා ගන්නා ආකාරය මම දුටුවා. ඒක අපේ වගේ රටකට ඉතාමත් හොඳ දෙයක්.  

එම වර්ධනයක් පෙන්නුම් කළ ලීගයක කොටස් කරුවෙක් වීමට හැකි වීම පිළිබඳ මම මහත් සතුටට පත් වෙනවා.” යැයි කණ්ඩායමේ නව හිමිකරු වන ප්‍රියංග ද සිල්වා මහතා ප්‍රකාශ කළා.  

මෙම නව හිමිකරුවා සම්බන්ධ වීම ගැන අදහස් දක්වමින් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කළේ, 

“දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක් ලැබීම පිළිබඳ අපි ගොඩක් සතුටු වෙනවා. විශේෂයෙන්ම ප්‍රියංග ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ පළමු පෙළ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වීම එයට තවත් වටිනාකමක් එක් කරනවා.”  

මෙවර තරගාවලියට සහභාගී වන දඹුල්ල කණ්ඩායම මීට පෙර වෙනත් හිමිකරුවෙකු යටතේ පාලනය වූ නමුත් එහි හිමිකරුවා තරග පාවාදීමේ චෝදානවකට සම්බන්ධ වීම නිසා ඔහුගේ හිමිකාරිත්ව අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර ජූලි 01 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය දඹුල්ල, කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.  

2024 LPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<