දිනෙන් දින ලෝකය දියුණුවට පත්වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව ද අදහා ගත නොහැකි පරිවර්තනයකට ලක්වී තිබේ. කොටින්ම අද තියෙන්නේ එදා තිබුණ ක්‍රිකට් නොවේ. නීති රීති අතින් ගත්ත ද, උපාය අතින් ගත්ත ද, රිද්මය අතින් ද එය අතිශය වෙනස් වීමකට භාජනය වී තිබේ. තරගකාරීත්වය අතින් බැලුව ද අද තත්ත්වය එදා තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස්ය. ක්‍රිකට් උඩු යටි කුරු වී ඇත.
කාලයට වඩා වැඩි වේගයකින් වෙනස් වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තනයන් බොහෝමයක් සිදුවී ඇත්තේ ක්‍රිකට් ලෝක කුසලාන අතරතුර දී වීම විශේෂත්වයක් වේ. ලෝක කුසලාන උණුසුම ළං වෙත්වත්ම ඒ පිළිබඳව කෙරෙන ප්‍රත්‍යාවලෝකනයේ 08 වැනි තීරු ලිපිය වන මෙය වෙන් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවී තිබෙන වෙනස්කම් සඳහා බලපෑමක් සිදු කරන ලද ලෝක කුසලාන අවස්ථාවන් කීපයක් පිළිබඳවය.
ලෝක කුසලාන අවසන් සටනේ ශූරයින් මෙන්න
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමෙන් පසු මේ ගෙවී යන්නේ 45 වැනි වසරය. එතෙක් සිට මේ….
ක්‍රිකට් වෙනස් වුනේ විස්සයි විස්ස ද…?
ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම වෙනසකට භාජනය වූයේ විස්සයි විස්ස තරග ආරම්භය නැතහොත් එතෙක් පැවති සාම්ප්‍රදායික මෙවලම් වූ සුදු ඇඳුම් සහ රතු පන්දුව වෙනුවට වර්ණ ඇඳුම් සහ සුදු පන්දු භාවිතා කිරීමට පටන් ගැනීමෙන් පසුව බව යැයි වර්තමානයේ කියැවෙයි.
ක්‍රීඩාව පැත්තෙන් එසේ වුවද, ව්‍යුහාත්මකව බැලීමේ දී එසේ නොව වග ඊට එහා ඉතිහාසය ගැන අවධානය යොමු කිරීමේ දී පැහැදිලිවම පෙනී යයි. එහි පළමු පියවර ලෙස එවකට ක්‍රිකට් ලොව දැවැන්තයින් ලෙසින් ආධිපත්‍ය පතුරුවා ගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් කපිල් දේව් ප්‍රමුඛ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් 1983 වසරේ පැවති ලෝක කුසලාන දිනා ගැනීම සඳහන් කළ හැක.
මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශාලතම වෙළඳපොළ බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි. තවත් අයුරකින් සඳහන් කරන්නේ නම් ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තයටවත් අහලකටවත් පැමිණීමට නොහැකි අයුරින් ලොව බලවත්ම ක්‍රිකට් ආයතනය බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වීමට අත්තිවාරම වැටෙන්නේ කපිල් දේව් ප්‍රමුඛ නඩය එකී ලෝක කුසලාන දිනා ගැනීමත් සමඟය.
මෙම ලෝක කුසලානයත් සමඟ සමස්ත ඉන්දියානුවන්ගේ තවත් එක් ආගමක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්විය. ඒ හරහා දක්ෂතා අතින් ගත්ත ද, මූල්‍යමය ආධිපත්‍යය අතින් ගත්ත ද, පරිපාලන අතින් ගත්ත ද ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුවම බලපෑමක් කළ හැකි ලොව එකම රට බවට පත්වීමට ඉන්දියාවට හැකි වී තිබේ. එවන් වූ සුවිශේෂී ස්ථානයකට පැමිණීමට අඩිතාලම වැටුණේ එදා දිනූ ලෝක කුසලාන ජයග්‍රහණයයි.
ඉන් පසුව පැවති ලෝක කුසලාන තරගාවලිය හෙවත් 1987 තරගාවලිය ද ඉන්දියාවට හා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දුන්නේය. එසේ සත්කාරකත්වය දරා සිටිද්දී තරගාවලියක් ඇවෑමෙන් හෙවත් 1992 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවති 1996 ලෝක කුසලාන තරගාවලියේ ද සත්කාරක අවස්ථාව ඉන්දීය උප මහද්වීපයට හිමි වන්නේ එකී බලාධිකාරයේ බලපෑම නිසාමය. මෙහි දී සෙසු රටවල් වූ පාකිස්තානය 1992 වසරේ දී ද, ශ්‍රී ලංකාව 1996 වසරේ දී ද පැවති ලෝක කුසලාන දිනා ගැනීමට සමත් වීම ද ඉන්දියාව කේන්ද්‍ර කර ගත් ක්‍රිකට් ආධිපත්‍ය තවත් ශක්තිමත් කරවමින් ලෝක සිතියමේ බලවත් ක්‍රිකට් කලාපයක් බවට ආසියාව පත්වීමට හේතු විය. මෙකී කරුණු සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට ලොව ධනවත්ම සහ බලවත්ම ක්‍රිකට් පරිපාලන ව්‍යුහය බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වී සිටියි.
ඩක්වර්ත් සහ ලුවිස්ගේ උපත
ක්‍රිකට් තරගයකට වර්ෂාව හරස්වීමේ දී භාවිතයට ගෙනෙන ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය බිහි වන්නේ ද ලෝක කුසලාන තරගාවලියේ සිදු වූ සිදුවීමක් පාදක කරගෙනය. ඩක්වර්ත් ලුවිස් බලාත්මක වනු වන්නේ 2001 වසරේ දී වුවත් එහි අවශ්‍යතාව මතු වන්නේ 1992 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සිටය.
වර්ණ භේදවාදය හේතුවෙන් වසර ගණනාවක් ජාත්‍යන්තරයේ තහනමකට ලක්ව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩයමට යළිත් ජාත්‍යන්තරයේ වේදිකාව නිර්මාණය වූයේ 1992 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිටය.
ලැබුණු අවස්ථාවේ දී උපරිම දක්ෂතා දක්වමින් කුසලාන දිනා ගැනීමේ බලාපොරොත්තු ඇතිව පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීමේ කෞෂල්‍යා උපරිම විදහා දක්වමින් අපහසුවකින් තොරවම අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාවට හැකි විය.
එංගලන්තය සමඟ යෙදී තිබූ එම තරගයේ දී ජයග්‍රහණය හඹා ගිය දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා එක් අවස්ථාවක දී පන්දු 13කට ලකුණු 22ක් ලබාගත යුතුව තිබුණි. දෙපිළටම තීරණාත්මක අවස්ථාවක් බවට පත්වූ එම අවස්ථාවේ දී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තාවකාලිකව නතර කෙරුණු අතර නැවත තරගාරම්භයේ දී දකුණු අප්‍රිකානු පිලේ නව ඉලක්කය බවට එක් පන්දුවකට ලකුණු 22ක් ලබා ගත යුතු විය.
ඕස්ට්‍රේලියානු ගණිතඥයින් දෙපළක් විසින් සකසන ලද ක්‍රමයක් එම තරගාවලියේ දී භාවිතාවට ගැනුණු අතර ක්‍රමවේදයට අනුව එය නිවැරදි ඉලක්කයක් විය. සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම නිරුත්තරත්වයට පත්වූ සිදුවීමක් බවට පත්වූ එම තීන්දුව බොහෝ දෙනා එය හැඳින්වූයේ කැකිල්ලේ තීන්දුවක් බවට පත්වූවක් ලෙසිනි. කෙසේ වෙතත් එංගලන්තයට අවසන් මහ තරග අවස්ථාව ලබා දෙමින් අකමැත්තෙන් වුව ද සිය රට බලා යෑමට දකුණු අප්‍රිකාවට සිදු විය.
කෙසේ වෙතත් මේ සිදුවීම හරහා ප්‍රායෝගිකව වඩාත් ගැළපෙන, දෙපිළටම එක සේ සාධාරණ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන්ම සමස්ත ක්‍රිකට් ප්‍රජාවටම දැනුණි. ඩක්වර්ත් ලුවිස් යනුවෙන් දැන් භාවිතයට ගැනෙන ක්‍රමවේදය බිහිවන්නේ ඒ හරහාය.
ෆ්‍රන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් නම් බ්‍රිතාන්‍ය ගණිතඥයන් දෙදෙනාගේ සුසංයෝගයෙන් සැකසුණු මෙම ක්‍රමවේදය, ඔවුන් දෙදෙනාගේ නම් වල කොටස් දෙකක් වූ ඩක්වර්ත් සහ ලුවිස් වශයෙන් එකතු කොට ඩක්වර්ත් ලුවිස් යනුවෙන් නම් කොට තිබේ.
1999 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ක්‍රමවේදය උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වුවත් එය ක්‍රියාත්මක ආරම්භ වූයේ 2001 වසරේ සිටය. එතැන් පටන් ලොව ලොව සියලුම මට්ටම්වල ක්‍රිකට් තරගයන්හිදී ‘වැහි චක්කරය’ ලෙසින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යොදා ගන්නා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝග කර සිටියේය. හඳුන්වා දෙන අවස්ථාවේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය පිළිබඳව යම් යම් විවේචන එල්ල වුනි ද කාලයත් සමඟම ඒ සියල්ල යටපත්ව ගියේය.
යම් ලෙසකින් 1992 වසරේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය භාවිතයට ගෙන තිබුණේ නම් දකුණු අප්‍රිකානු පිලට හිමි ඉලක්කය ඊට වඩා අඩු වනවා නියතය. කෙසේ වෙතත් මෙහි කණගාටුදායක තත්ත්වය බවට පත්වූයේ 2003 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය දෙස අවධානය යොමු කිරීමේ දී ය.
තමන් වෙනුවෙන්ම ඉපදුණු ඩක්වර්ත් ලුවිස් න්‍යාය, දකුණු අප්‍රිකාවට හරස් වූයේ ලකුණු ගණනයේ දී සිදු වූ අතපසුවීමකින්ය. තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීම සඳහා ජයග්‍රහණය තීරණාත්මක වූ එම තරගයේ දී සිදු වූ එම අතපසුවෙන් තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වූ අතර දකුණු අප්‍රිකාවට තරගාවලියෙන් ඉවතට වීමට සිදු විය. ඒ අනුව සත්කාරකයන් ලෙසින් කටයුතු කරමින් පළමු වටයෙන්ම ඉවතට විසි වූ ලොව පළමු රට බවට පත්වීමට දකුණු අප්‍රිකානුවන්ට සිදු විය.
ජොන්ටි රෝඩ්ස් සුපර් මෑන් කෙනෙක් වුන හැටි
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු රැකීමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කෙතරම් දක්ෂ පිතිකරුවකු වුවද, පන්දු යවන්නකු වුවද, පන්දු රැකීමේ හැකියාවක් ඔහුට නොවන්නේ නම් කණ්ඩායමට පැමිණීමේ ඉඩ ඇහිරෙන තරමටම පන්දු රැකීමේ අංශය වැදගත් කොටසක් බවට පත්ව තිබේ. වර්තමානයේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් සැලකෙන්නේ ද පිතිකරණය සහ පන්දු යැවීමට අමතරව පන්දු රැකීමේ දී ද දක්වන ලද දක්ෂතාවයන් හේතුවෙනි.
ක්‍රිකට් ආරම්භයේ සිට 90 දශකය වන තෙක්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය තීන්දු වූයේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් දක්වන දක්ෂතා මත පදනම්වය. මේ අංශ දෙක හැරෙන්නට එවකට පිටියේ ඒ හැටි අවධානයක් යොමු වූයේ නැත. එහෙත් පන්දු රැකීම යනු හුදෙක්ම සාමාන්‍ය දෙයක් නොවන බව ලෝකයට කියුවේ ජොන්ටි රෝඩ්ස් නම් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාගේ දක්ෂ පන්දු රැකීම නිසාමය. පන්දු රැකීම යනු කිසි විටෙකත් අහක දැමිය නොහැකි ඉරියව්වක් බවත් එය තරගයක ප්‍රතිඵලය කෙරෙහි සෘජුවම බලපාන සාධකයක් බව එම තරගාවලිය අතරතුර දී පෙන්වා දීමට ජොන්ටි රෝඩ්ස් සමත් විය.
මේ සඳහා වූ ප්‍රධානතම සිදුවීමක් බවට පත්වූයේ 1992 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු පිතිකරු ඉන්සමාම් උල්හක් දවා ගැනීම වෙනුවෙන් ජොන්ටි රෝඩ්ස් ගන්නා ලද උත්සාහයයි. ලකුණක් කරා පැති මාරු කර ගැනීම සඳහා උල්හක් පැමිණෙද්දී කඩුල්ලට අඩි ගණනාවක් පසු පස සිට පන්දුව අහුලා ගත් රෝඩ්ස් එය කඩුල්ලට දමා ගසනවා වෙනුවට සිදු කරන ලද්දේ ඇසිල්ලක වේගයෙන් පන්දුව ද රැගෙන කඩුල්ල වෙත පියඹා යෑමය.
පන්දුව දමා ගැසීමේ දී එය කඩුල්ලට නොවැදීමේ වැඩි සම්භාවිතාවක් ඇති බැවින්, එය තම අතින්ම සුරක්ෂිතව බිඳ දැමීමට රෝඩ්ස් පියවර ගනු ලැබීය. කඩුල්ල බිඳ දමන අවස්ථාවේ දී ජොන්ටි රෝඩ්ස් ශරීරය තනිකරම පොළොවට සමාන්තරව ඉහළින් තිබූ අතර එම වික්‍රමාන්විත පන්දු රැකීම ‘සුපර් මෑන්ගේ පැනිල්ල’ යනුවෙන් අදටත් ලොව හඳුන්වයි.
එම තරගය ආවරණය කරන ලද ඡායාරූප ශිල්පියකු විසින් එම අවස්ථාව ඡායාරූපගත කිරීමට සමත්ව තිබූ අතර මෙය ලෝක කුසලාන තරගාවලියේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේම විශේෂ දසුනක් ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු සිදු කෙරෙන බොහෝ ස්ථානයන් වල ප්‍රදර්ශනය වන අයුරින් තබා තිබේ.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වන විට පන්දු රැකීම ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශයින්ම වැදගත් අංශයක් ලෙසට පත්වීමට මූල බීජය බවට පත්ව ඇත්තේ ජොන්ටි රෝඩ්ස් එදා දක්වපු දක්ෂතාවයයි. අද වන විට ලොව ක්‍රිකට් ක්‍රීඩාවෙන් දියුණු සෑම රටකටම පාහේ ප්‍රධාන පුහුණුකරුට අමතරව පන්දු රැකීම පිළිබඳව විශේෂඥ පුහුණුකරුවකු යොදා ගැනීමට මූලිකම හේතුව වූයේ පන්දු රැකීමෙන් ජොන්ටි රෝඩ්ස් එදා දක්වන ලද දක්ෂතාවය යැයි කිවහොත් නිවැරදිය.
යාර තිහට ඉහළින් තිබූ ලකුණු ඉල්ලම
වර්තමානය එක්දින තරගයක දී ජයග්‍රාහී ඉලක්කය ලකුණු 300කට වඩා වැඩි ඉලක්කයකි. ඒ සඳහා පළමු පන්දුවාර 15 අවසන් වන විට අවම වශයෙන් ලකුණු 100 සීමාව ඉක්මවා සිටීම සාර්ථක පදනමක් ලෙසින් සැලකෙයි. එහෙත් 90 මැද භාගය වන තෙක්ම එක්දින තරගයකට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 200ත් 220ත් අතර සීමාව වූ බැවින් ඒ සඳහා පළමු පන්දුවාර 15 දී කඩුලු බිඳ නොවැටී ලකුණු 40ක් හෝ 50ක් රැස් කර තිබීම එවකට සාර්ථක පදනමක් ලෙසින් සැලකූහ. අද මෙන් නොව එවක භාවිතා කරන ලද නීතියට අනුව පළමු පන්දුවාර 15 ඇතුළත යාර 30 සීමාවෙන් එහා රැඳවිය හැකි වූයේ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණි.
නිරන්තරයෙන්ම අලුතින් යමක් හිතන්නට උත්සාහ කරනු ලබන අර්ජුන රණතුංග මෙන්ම එවකට කණ්ඩායමේ පුහුණුකරු වූ ඩේව් වට්මෝර් එතෙක් ක්‍රීඩා කරන ලද සාම්ප්‍රදායික ක්‍රමයේ සිදුරක් දුටුවහ.
පන්දුව බිම දිගේ යෑමට සලස්වනවා වෙනුවට යාර 30න් එහා ලකුණු ඉල්ලමක් තිබෙන බව ඔවුහු සොයා ගන්නේ ඒ හරහාය. සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදුණු ඔවුහු පන්දුව බිම දිගේ යවන පිතිකරුවන් වෙනුවට යාර 30ට ඉහළින් පන්දුව යැවිය හැකි පිතිකරුවන් දෙදෙනෙකු ඒ වෙනුවෙන් අත්හදා බැලීමට තීරණය කළහ. සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යුගලය ලොව පෙරළිකාර ආරම්භක පිතිකරු යුගලයක් බවට පත්වන්නේ මෙන්න මේ අත්හදා බැලීමේ සාර්ථක වූ ප්‍රතිඵලයක් ලෙසිනි.
ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති බෙන්සන්ඩ් ඇන්ඩ් හෙජස් තරගාවලියේ දී මෙය අත් හදා බැලුණු නමුත්, එහි සෑබෑම සාර්ථකත්වය අපට දැක ගැනීමට හැකි වූයේ 1996 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂය බවට පත්වූ එම ලෝක කුසලාන දිනා ගැනීම සඳහා මාස්ටර් බ්ලාස්ටර් සහ ලිට්ල් ඩයිනමයිට් හෙවත් සනත් – කලූ සුසංයෝගය මහඟු ශක්තියක් වූහ.
ශ්‍රී ලංකාව විසින් එම ලෝක කුසලාන තරගාවලියේ දී ලෝකයට හඳුන්වා දුන් මෙම ක්‍රමය පසුව ලොව බොහෝමයක් රටවල් අනුකරණය කිරීම කැපී පෙනුණි. ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඇඩම් ග්‍රල්ක්‍රිස්ට් සහ මැතිව් හේඩ්න් එම අනුකරණයන් අතර සාර්ථකම ප්‍රතිඵල ලද පිතිකරුවන් යුගලය පත්වූ අතර විරේන්ද්‍ර ෂෙවැග් පැමිණීමත් සමඟ ඉන්දියාව ද එහි තරමක් දුරට සාර්ථකත්වයකට පැමිණියහ. ප්‍රථමයෙන්ම සචින් ටෙන්ඩුල්කාර් ද පසුව ගෞතම් ගාම්බීර් ද ෂෙවැග්ගේ සහායක පිතිකරුවන් වූහ. එතෙක් කලක් අඩු ලකුණු සංඛ්‍යාවන් මත ජය පරාජය තීරණය වූ එක්දින ක්‍රීඩාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 300 සීමාව දක්වා ඉහළ යන ලද්දේ 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ලෝකයට හඳුන්වා දුන් එම ක්‍රමවේදය හරහා ය.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<