ශ්‍රී ලංකා ක්‍රිකට් උප්පත්ති කතාව

556

එය සිදු වුනේ 1975 වසරේ එංගලන්තයේ පැවති සමාරම්භක ලෝක කුසලාන තරගාවලියේ දී ය.

ශ්‍රී ලංකාව එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය තුළ සැලකුණේ ඉතා දුර්වල කණ්ඩායමක් ලෙසයි. මහත්මා ගුණයෙන් යුතු ආධුනිකයන් එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කර දරන්නන් බවට පත්ව සිටි අතර ඔවුන්ට එමගින් ලැබුණු එකම ප්‍රතිඵලය වුනේ තමන් ආගමක් මෙන් භක්තියෙන් ඇදහූ ක්‍රීඩාවේ යෙදීමෙන් හිමි වන ආත්ම තෘප්තිය පමණකි.

ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ

ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා..

පළමු ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගැනුණු ශ්‍රී ලංකා කණ්ඩායම අතිශයින් දක්ෂ සහ තාක්ෂණයෙන් පිරිපුන් මහත්වරු පිරිසක් විය. තරගාවලියට සහභාගී වීමට පෙර ඔවුන් සියලු දෙනාම ඉටු කළ යුතුව තිබූ ප්‍රධාන කර්තව්‍යය වුනේ සිය සේවා ස්ථානවලින් නිවාඩු අනුමත කර ගැනීමයි. එම කාර්ය ඉටු කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෙස එංගලන්තය බලා පියාසර කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL) ලෙස එවක හැඳින්වුණේ මෙරට ක්‍රිකට් පරිපාලන ඒකකය මගින් සූදානම් කර තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා යන ගුවන් යානයට ගොඩ වැදුණේ වීරයන් බවට පත්වීමේ සුළු බලාපොරොත්තුවක් හෝ හිතේ රඳවා ගෙන නම් නොවේ.

1975 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතය

  • අනුර තෙන්නකෝන් (නයක)
  • බන්දුල වර්ණපුර
  • මයිකල් තිසේරා
  • අනුර රණසිංහ
  • H. S. M. පීරිස්
  • ටෝනි ඕපාත
  • දුලිප් මෙන්ඩිස්
  • ලලිත් කළුපෙරුම
  • ඩේවිඩ් හේන්
  • රංජිත් ප්‍රනාන්දු (කඩුලු රකින්නා)
  • D. S. ද සිල්වා
  • අජිත් ද සිල්වා
  • සුනිල් වෙත්තමුණි

1975 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ කාණ්ඩ දෙකක් යටතේ යි.

  • A කාණ්ඩය – එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, නැගෙනහිර අප්‍රිකාව.
  • B කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ශ්‍රී ලංකාව

තරගාවලියේ සිව්වැනි තරගයේ දී එසේත් නොමැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වුනේ එවකට ක්‍රිකට් කරළියේ වඩාත්ම සමබර සහ අත්දැකීම් බහුල කණ්ඩායමක් ලෙස සැලකූ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වය යටතේ පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින වරම් ලද ක්‍රීඩකයන් දෙදෙනෙක් ද සිටි අතර ඒ පසුකලක පන්දුවේ වේගයෙන් ලොවම සලිත කළ ඇන්ඩි රොබර්ට්ස් සහ ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන විවියන් රිචර්ඩ්ස් ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම කොදෙව් වේගපන්දුවේ අණසකට පහසුවෙන් යටත් වූ අතර සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 86ක් පමණි. කොදෙව්වන් රෝයි ෆෙඩ්රික්ස්ගේ කඩුල්ල පමණක් පූජා කරමින් පන්දුවාර 20.4ක් තුළ ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වීමට සමත් විය.

තරගාවලියේ හත් වන තරගයේ දී ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදු වුනේ අනුකම්පා විරහිත වේගපන්දුව සිය ප්‍රධාන අවිය කර ගත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිවයි. කෙසේ වෙතත් එදින ක්‍රීඩාංගණයට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් හට ශ්‍රී ලාංකිකයන් යනු අධිෂ්ඨානයෙන් සහ චිත්ත ධෛර්යයෙන් යුතු ජාතියක් බව දැක ගන්නට ලැබුණි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව නායක ඉයන් චැපල්ගේ තීරණයෙන් පිති අතට ගත් ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 60 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 328ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනගන්නට සමත් විය. ලකුණු 101ක් සමඟින් ඇලන් ටර්නර් එහි ප්‍රධාන දායකත්වය සපයද්දී, රිකී මැක්කොස්කර් ලකුණු 73ක්, ඩග් වෝල්ටර්ස් ලකුණු 59ක් සහ ග්‍රෙග් චැපල් ලකුණු 50ක් රැස් කරන ලදි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලාංකිකයන් සිටගත්තේ ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්සන් නම් වේගපන්දු චණ්ඩ මාරුතයකට එරෙහිවයි. නමුත් ඔවුන් නිර්භයව සහ අවබෝධයෙන් යුතුව සිය ගමන ආරම්භ කරන්නට සමත් විය.

තොම්සන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රංජිත් ප්‍රනාන්දු ලකුණු 22කට දැවී ගිය අතර ලකුණු 31ක් ලබා සිටි බන්දුල වර්ණපුරගේ ඉනිම අවසන් වුනේ ඈෂ්ලි මැලට්ගේ පන්දුවක් හමුවේ රොඩ්නි මාෂ්ගේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි.

ක්‍රිකට් පිටියේ සිංහ සලකුණ පර්සි

ඔබ ක්‍රිකට් ලෝලියෙක් නම් මේ සොඳුරු මිනිසා ඔබ නිසැකවම ක්‍රීඩා පිටිය තුල දැක ඇතුවාට..

අංක 4 පිතිකරු ලෙස දුලිප් මෙන්ඩිස් පිටියට පිවිසුණේ සිය පළමු ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකරු සුනිල් වෙත්තමුණි සමඟ තුන්වැනි කඩුල්ල සඳහා එක්වීමටයි. වෙත්තමුණිගේ ජාත්‍යන්තර ක්‍රිකට් බෞතිස්මය ගිනි සිළු වැනි වේගපන්දු වලින් පිරී ගියත් ලිලී, තොම්සන් වැනි විශිෂ්ට වේගපන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙන්නට ඔහු සමත් විය. ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියානු ආධිපත්‍ය තුළට නොසිතූ ප්‍රහාරයක් එල්ල කරද්දී සිදුවීමට හැකි නරකම ප්‍රතිඵලය දවසින් මෙන් දුටු නායක ඉයන් චැපල් හොඳින් හෝ නරකින් තරගය ජය ගැනීමට තීරණය කළා විය හැකිය.

Australian players gather around Sunil Wettimuny after he was struck in the chest by a Thomson delivery during the 1975 Prudential World Cup between Sri Lanka and Australia at the Oval, England. (© PA Photos)

සිය පළමු පන්දුවාර කිහිපය තුළ වෙත්තමුණිගේ කලවා ප්‍රදේශය වෙත දෙවරක්ම පන්දුවෙන් ප්‍රහාර එල්ල කරන්නට තොම්සන් සමත්ව සිටි අතර එතැනින් නොනැවතුණු ඔහුගේ පන්දු වෙත්තමුණිගේ උකුල ප්‍රදේශය වෙත ද ඉලඇට කූඩුව වෙත ද යොමුව තිබුණි. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස වෙත්තමුණිගේ ඉලයේ එක් ඇටයක සුළු පිපිරීමක් ද සිදුව තිබූ බව කිසිවෙක් දැන සිටියේ නැත.

වේගපන්දු යවන්නන්ට මුහුණ දීමේ දී නූතන පිතිකරුවන් මධ්‍ය කාලීන යුද පිටියක නයිට්වරුන් සිහිගන්වන අයුරින් හිස් මුදුනේ සිට දෙපතුල දක්වා ආරක්ෂක උපාංග පලඳින්නට පුරුදුව සිටිය ද, එවක පිතිකරුවන් හට එවන් සුඛෝපභෝගී ක්‍රීඩා රටාවක් උරුම වී තිබුණේ නැත.

යලිත් වරක් ජෙෆ් තොම්සන් කැඳවූ ඕස්ට්‍රේලියානු නායකයා ඔහුට පන්දුව භාර දුන්නේ උපදෙස් කිහිපයක් ද සමඟයි.

තොම්සන් අනුකම්පා විරහිත සහ ආක්‍රමණශීලී විලාශයකින් දුලිප් මෙන්ඩිස් වෙත පන්දු යැවූ අතර බලාපොරොත්තු නොවූ පරිද්දෙන් ඉපිලී ආ පන්දුවක් නතර වුනේ මෙන්ඩිස්ගේ නළලේ වැදීමෙන් පසුවයි. ඒ වන විට පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටි සුනිල් වෙත්තමුණි, සිය සගයා කපා හෙළූ ගසක් පරිද්දෙන් මුනින් තලා වැටුණු ආකාරයත්, උඩුබැලි අතට පෙරලී වේදනාවෙන් මිරිකුණු ආකාරයත් සිහි කරයි. දහදියෙන් සහ කඳුලින් තෙත්වූ මුහුණින් යුතු මෙන්ඩිස් රෝහල් ගත කිරීම සඳහා ගිලන් මැස්සක ආධාරයෙන් පිටියෙන් ඉවතට ගෙන යන විට ක්‍රීඩාලෝලීන්ගෙන් නැගී ආ හූ හඬ යොමුව තිබුණේ තොම්සන් වෙතයි. අතරමග දී මෙන්ඩිස්ගේ තත්ත්වය පිළිබඳ විමසා බැලීමට මොහොතක් ගත කළ නායක අනුර තෙන්නකෝන් පිටියට පැමිණ තම ඉන්න සටහන් කරන ලදි.

වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් ක්‍රිකට් තරග..

ඉන් අනතුරුව තොම්සන් සිය වේගපන්දු අවිය යොමු කළේ පිටියේ ස්ථාවරව සිටි අනෙක් පිතිකරු වෙතයි. පිට පිට ප්‍රහාර එල්ල වෙද්දී පවා හිස නමන්නට අකමැති වූ සුනිල් වෙත්තමුණි සමඟින් ජෙෆ් තොම්සන් ද්වන්ද සටනකට අවතීර්ණ වී තිබුණි. තොම්සන්ගේ මීළඟ පන්දුවාරයේ තෙවැනි පන්දුව නොවරදින ලෙස යොමු වුනේ වෙත්තමුණිගේ පා ඇඟිලි වෙතයි. ඔහු වේදනාවෙන් ඇඹරෙමින් කොර ගසන විට ක්‍රෘර තොම්සන් සිදු කළේ පන්දුව ගෙන කඩුල්ල බිඳ දමා විනිසුරුගෙන් පිතිකරු දැවී ගිය ලෙස ඉල්ලීමක් කිරීමයි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුවත් තම සැලසුම අත් නොහළ තොම්සන් වෙත්තමුණි වෙත ගොස් ඔහු මානසිකව ද ඇද දැමීමට උත්සාහ කළේ දැන්ම පිටියෙන් ඉවත් නොවුනහොත් ඊළඟ පන්දුවෙන් ඔහුගේ පිටිපතුළ බිඳ දමන බවට තර්ජනය කරමිනුයි. තොම්සන්ගේ තර්ජනය හුදෙක් වචන හරඹයක් පමණක් නොවන බව ඊළඟ පන්දුවෙන්ම තහවුරු වූ අතර පැවසූ ඉලක්කයටම යොමු වූ පන්දුවෙන් තුවාල වූ වෙත්තමුණි සිය සගයා ගමන් ගත් පාරෙන්ම ගෙන ගියේ ක්‍රීඩාංගණයට යාබදව තිබූ සාන්ත තෝමස් රෝහල වෙතයි.

අනතුරුව පිටියට පිවිසි මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන් සමඟ එක්ව තීරණය කළේ තවත් දිනක් සටන් වැදීම සඳහා ජීවත් වීම වඩාත් නුවණැති ක්‍රියාව බවයි. වසර 21කට පසු එම දිනය උදා කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන පරම්පරාව සමත් විය. කෙසේ වෙතත් එදා තිසේරා සහ තෙන්නකෝන් අවදානමක් නොගනිමින් ස්ථාවරව සහ විශ්වාසයෙන් යුතුව පිතිකරණයේ යෙදුනි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 52ක් සහ 48ක් රැස් කළ අතර නියමිත පන්දුවාර 60 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුනේ කඩුලු 4කට ලකුණු 276ක් ලෙසයි. ලකුණු 52ක පරාජයක් කිසි ලෙසකින් හෝ සැනසිල්ලට කරුණක් නොවුවද ශ්‍රී ලංකාව නම් කුඩා දූපත් වාසීන් එදින ක්‍රීඩාංගණයේ සිටි සියලුම ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම තරගය පිළිබඳ ගුවන්විදුලියේ ප්‍රචාරය වූ වාර්තාවක කොටසක් කනවැකුණු ඕවල් ක්‍රීඩාංගණය අසල සිටි පොලිස් නිලධාරියෙක් තේරුම් ගෙන තිබුණේ ජෙෆ් තොම්සන් නම් පුද්ගලයෙක් ශ්‍රී ලාංකිකයන් පිරිසකට ශාරීරික අඩත්තේට්ටම් සිදු කර ඇති බවකුයි. වහා රෝහලට ගිය එම නිලධාරියා, ”ඔබ ජෙෆ් තොම්සන් මහතාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරනවා දයනුවෙන් දුලිප් මෙන්ඩිස්ගෙන් විමසන්නට ද පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකාව සිය අවසන් තරගයේ දී තරග වැදුණේ පාකිස්තානු කණ්ඩායම සමඟයි. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානුවන් කඩුලු 6කට ලකුණු 330ක් රැස් කළ අතර පෙර තරගයේ දී තුවාල ලැබූ ක්‍රීඩකයන් ද නොමැතිව පිතිකරණයේ යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50.1ක් තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 138ක් පමණි. ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන අවසන් වූ අතර යහපත් සහ කටුක මතක රැසක් සමඟින් ඔවුන් නැවත සිය රට බලා එන්නට පිටත් විය.

පළමු ලෝක කුසලාන අත්දැකීම මෙරට ක්‍රිකට්ලෝලී ප්‍රජාව තුළ පොදු කතිකාවතක් ගොඩ නැගීමට ද හේතු වී තිබුණි. බොහෝ දෙනාගේ හිත් තුළ පැවති නිහඬ ගැටලුව වුනේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙතනින් කොයිබට ද?” යන්නයි. එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර රඳා පවතින ප්‍රධාන සාධකය ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමි වීමබවත් බෙහෝ දෙනා දැන සිටියහ. නමුත් ඒ කෙසේ ද? කවදාද? මේ ප්‍රශ්නයට මෙන්ම තවත් බොහෝ ක්‍රිකට් සම්බන්ධ ගැටලු වලට පිළිතුරු ජාතියේ සිහින බවට පත් විය. ඇතැම් විට නපුරු සිහින බවට පත්වූ ගැටලු ද නැතුවාම නොවේ.

(‘Winds Behind The Willows’ ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක සිංහල අනුවාදයකි.)

2019 ක්‍රිකට් ලෝක කුසලානය කරා – ප්‍රශ්ණ අංක 01

‘Winds Behind the Willows’ ග්‍රන්ථයේ පිටපතක් සහ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තණ තීරුවෙන් ගත් තණකොළ ඔබ්බවා නිෂ්පාදනය කළ සුවිශේෂී පොත් සලකුණු (bookmarks) 5ක් දිනා ගන්න.

ඔබ කළ යුත්තේ පහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අප වෙත යොමු කිරීම පමණි. 2018 ජූලි මස 31 වැනිදා ග්‍රිනිච් මධ්‍ය වේලාවෙන් මධ්‍යාහ්න 12.00 වන තෙක් ලැබෙන නිවැරදි පිළිතුරු අතරින් ජයග්‍රාහකයන් තෝරා ගැනෙනු ඇති.

එක් විද්‍යුත් තැපැල් ලිපිනයකින් එක් පිළිතුරක් පමණක් භාර ගන්නා අතර, ජයග්‍රාහකයන් විද්‍යුත් තැපැල් පණිවුඩ මගින් දැනුවත් කෙරෙනු ඇති.

ප්‍රශ්නය – 1975 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නැගෙනහිර අප්‍රිකාකණ්ඩායම ලෙස ඉදිරිපත් වී සිටි රටවල්  4 මොනවා ?