රංගන භායි, සලාම්!

3000

2014 වසරයි. 

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක මිස්බා උල් හක් තීරණය කළේ මුලින්ම පන්දුවට පහර දීමටයි. 

පළමු ඉනිමේ පන්දුවාර 21ක් අවසන් වන විට පාකිස්තානු කණ්ඩායම ලකුණු 55කට කඩුලු 2ක් දැවී තරමක් අසීරු ස්ථානයක සිටි අතර තරගයේ 22 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටියේ රංගන හේරත් ය.

ඒ මොහොත වන විට පිතිකරණයේ යෙදෙමින් සිටියේ අසාර් අලී ය. පිටියේ පන්දු රකින්නන් නිසි පරිදි ස්ථානගත වී සිටින්නේ දැයි යළිත් පරීක්ෂා කළ රංගන මද වේලාවක් පිතිකරුවා දෙස බලාසිටීමෙන් අනතුරුව පන්දුවාරයේ අවසන් පන්දුව යැවීම සඳහා සෙමින් සීමා ඉර වෙත දිව ආවේය. පෙර පන්දුව විනිසුරුවරයා අසලින්ම පැමිණ යැවූ නමුත් මෙම අවසන් පන්දුව යැවීම සඳහා රංගන පැමිණියේ විනිසුරුවරයාගෙන් ඈත් වී වයිඩ් සීමා ඉර ආසන්නයෙනි. එසේ පැමිණ එතෙක් වේලා තමන් පන්දු යැවූ ඉරියව්ව මදක් වෙනස් කරමින් අත තරමක් ඈත් කර වැඩි ආයාසයක් හා ආනතියක් සහිතව ඔහු පන්දුව අතින් නිදහස් කළේය. 

‍රංගනගේ අතින් ගිලිහුණු එම පන්දුව, පළමු පන්දු පහටම වඩා වැඩි වේගයකින් සුළං කපාගෙන අසාර් අලීගේ පාදය දෙසට ගුවනේ පාවී ඇවිත් මැද ඉන්න හා පිට ඉන්න අතර පතිත වෙමින් පිටතට දඟ කැවුන අතර එය අසාර් අලීගේ පිත්තේ පිටත දාරයේ ගෑවී නොගෑවී මෙන් ඇදී ගොස් කඩුල්ලේ පිට ඉන්නේ දැවටුණේ රංගන හේරත්ගේ නම ඉදිරියෙන් තවත් ජාත්‍යන්තර ටෙස්ට් කඩුල්ලක් සටහන් කරමිනි. 

මේ සිදුවීම දෙස සාමාන්‍ය පරිදි බලා සිටි අයෙකුට නම් එය පෙනෙන්නේ රංගන හේරත් විසින් දවා ගත් තවත් එක් ජාත්‍යන්තර ටෙස්ට් කඩුල්ලක් ලෙසින් පමණි. 

නමුත් නොකඩවා පන්දු 14 තුළ අසාර් අලී හට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ ලබා නොදී, පන්දු කිහිපයක් ගුවනේ පා කර යවා ඔහුව ඉදිරි පාදයට ගෙන්වා ගෙන, පසුව එක් පන්දුවක් වේගයෙන් දඟකවමින් ඔහුගේ කඩුල්ල දවා ගැනීම පසුපස තිබූ රංගනගේ සූක්ෂම සැලසුම තේරුම් ගත හැකි වන්නේ තරගය දෙස හොඳින් බලා සිටි අයෙකුට පමණි. පන්දුවාර පහක් මුළුල්ලේ රංගන දියත් කළ මේ සැලසුම බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැත.

එසේ ඉතා සූක්ෂම ලෙස සැලසුම් ක්‍රියාත්මක කරමින් ඔහු ලෝක පූජිත පිතිකරුවන් දවා ගත් වාර ගණන මෙතෙකැයි කියා කිව නොහැක. නමුත් ඒ බොහෝ අවස්ථාවල දී විනිසුරුකරු දැවී යාම සටහන් කළ විට ඔහු තණතීරුව දිගේ ඇවිදයන්නේ ඒ කිසිවක් නොදන්නා ලෙස සිනාමුසු මුහුණෙනි. තමාට පැවරුණ රාජකාරිය නිහඬවම ඉටු කළ රංගන කවදත් එසේය.

තම ක්‍රීඩා දිවියේ බොහෝ කාලයක් මුත්තයියා මුරලිදරන්ගේ දැවැන්ත සෙවණැල්ලට යට වී ගෙවා දමන්නට සිදු වූ නිසා 1999 වසරේ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් අනතුරුව 2008 වසර දක්වා පුරා වසර 9ක කාලයක් තුළ රංගනට ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමි වූයේ ටෙස්ට් තරග 14ක් පමණි.

නමුත් ඔහු ඉන් අධෛර්‍යමත් වූයේ නැත. දිගින් දිගටම දේශීය පළමු පෙළ තරගාවලිවල මෙන්ම විදේශීය පළමු පෙළ තරගාවලි තුළ දී ද නිරන්තරයෙන් දස්කම් අතර සිටීමට රංගනට හැකියාව ලැබුණු නිසා ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස රංගනට 2009 වසරේ දී නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටු විවර විය. ඒ මුත්තයියා මුරලිදරන් ආබාධයකට ලක්වීමත් සමඟය. 

ඒ පිළිබඳව රංගන සිහිකරන්නේ මෙසේය.

ඒ වෙලාවේ මම එංගලන්තයේ ලීග් තරගාවලියක ක්‍රීඩා කරමින් සිටියේ. ඒ අවස්ථාවේ දී මට දුරකථන ඇමතුමක් ආවා කුමාර් සංගක්කාරගෙන්. ඔහු කිව්වා මුරලි ආබාධයකට ලක්වුණා කියලා. ඊට පස්සේ ඔහු මගෙන් ඇහුවා කොහොමද මේ දවස්වල ඔයාගේ ක්‍රීඩාවේ තත්ත්වය කියලා. ඒ විස්තර අහලා ඔහු මගෙන් ඇහුවා ලංකාවට එන්න පුළුවන් ද කියලා. මම කිව්වා ඔව් එන්න පුළුවන් කියලා. 

ඒ වෙලාවෙ මම හිටියේ ලන්ඩන් වලිනුත් පැය තුන හමාරක් විතර ඈතට වෙන්න මැන්චෙස්ටර් කිට්ටුව. කොහොම හරි ඉතිං අවශ්‍ය විදිහට ගුවන් ටිකට්පතකුත් ලෑස්ති කරගෙන මං ආවා. ඇවිත් ඒ තරගයටත් මම ක්‍රීඩා කරා. ඒ තරගය අපි ජයග්‍රහණයත් කරා. ඒ තරගයේ දී මට තරගයේ වීරයා සම්මානයත් දිනා ගන්න පුළුවන් වුනා.

එම තරගාවලියෙන් ආරම්භ කළ දෙවැනි ගමන ඔහු නිමා කළේ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ගණනක් දවා ගත් වමත් පන්දු යවන්නා බවට පත් වෙමිනි. ලොව බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන වසීම් අක්‍රම් පවා සිටින්නේ ඔහුට පසුපසිනි. රංගන ඔහුගේ ටෙස්ට් දිවියේ දවාගෙන ඇති කඩුලු 433න් 106ක් ම දවාගෙන ඇත්තේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිවය. 

ඉහතින්ම සඳහන් කළ ටෙස්ට් තරගාවලිය අතරතුර රංගනගේ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ පාකිස්තානු ඉනිම කඩා වැටුණු එක් අවස්ථාවක එක්තරා විස්තර විචාරකයෙකු පාකිස්තානු නායක මිස්බා උල් හක්ගෙන් “What happened?” (සිදු වූයේ කුමක්ද?) යනුවෙන් අසා සිටි අවස්ථාවේ එයට මිස්බාගේ පිළිතුර වූයේ “Herath happened” (හේරත් තමයි සිදු වුනේ) යන්නයි.

නමුත් පුදුමයට කරුණ නම් පාකිස්තානයට එරෙහිව එතරම් කඩුලු ප්‍රමාණයක් දවා ගෙන තිබියදීත් පාකිස්තානු ප්‍රේක්ෂකයින් රංගන හේරත් හට දැඩි සේ ඇලුම් කිරීමයි. මෙය ආදී විවිධ සමාජ මාධ්‍ය ජාලයන් හරහා හොඳින්ම දැකගත හැක. ඒ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා පිටිය තුළ මෙන්ම ඉන් පිටතදීත් ඔහුගේ ඇති නිහතමානී බව නිසා ය.

පාකිස්තානයට එරෙහිව මේ අයුරින් දස්කම් දැක්වීමේ විශේෂත්වය පිළිබඳව ඔහු දරන්නේ මෙවැනි මතයකි.

පාකිස්තානු කණ්ඩායමට කියලා වෙනසක් නැහැ. මම එකම ඉරියව්වෙන් තමයි පන්දු යවන්නේ. හැබැයි මම හිතන්නේ මම පාකිස්තානයත් එක්ක තරග විස්සක් විතර ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවල දී  අපි දකිනවා ඒ පිතිකරුවන්ගේ යම් යම් දුර්වලතා තියෙනවා වමතින් පන්දු යවන්නන්ට පිතිකරණයේ යෙදෙද්දී. ඒක වාසියක් වෙන්න ඇති පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු සියයක් ලබා ගන්න පුළුවන් වීමට.

රංගන ක්‍රීඩාවේ නිරත වන අවධියේ දී තමාගේ විනය ඉතා හොඳින් පවත්වා ගෙන ගිය ක්‍රීඩකයෙක් වශයෙන් කීර්තියක් උසුලයි. නමුත් එක් අවස්ථාවක දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් පැනවූ දඩයකට යටත් වන්නට ඔහුට සිදු විය. 

මේ ඒ පිළිබඳව මතකයයි.

මං හිතන් ක්‍රීඩකයෝ වුනහම වැදගත්ම දේ තමයි ක්‍රීඩාවට අපි ගෞරව කරන්න ඕනේ. ක්‍රීඩාව ඇතුළේ නීති රීති ගොඩක් එනවා. ඒ නීති රීති වලට ගරු කරලා තමා ක්‍රීඩා කරන්න ඕනේ. මට එක දඩයක් තියෙනවා. ඒක ගැන මතක් කරොත් නම් ඉතින් නවසීලන්තයේ දී වැරදි හිස් ආවරණයක් පාවිච්චි කරලා තමයි ඒක වුනේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ තරගයේ දී තමයි කුමාර් සංගක්කාර ලකුණු දෙසීයක් ලබා ගත්තේ. 

ඉතින් ඔහු පිටියට යන්න කලින් මොනයම් හෝ හේතුවක් නිසා මගේ හිස් ආවරණය දාගෙන ගියා. ඉතින් මමත් තව තිබුණු ආවරණයක් දාගෙන ගියා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ ඒ හිස් ආවරණයේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින නීති රීති රීති වලට අනුකූල නැති ලෝගෝ එකක් තියෙනවා කියලා. ඒක නිසා තමයි මට ඒ දඩය ලැබුණේ. හරි විදිහට නම් මේ සිද්ධියට සංගක්කාරට තමා දඩමුදල යන්න ඕන.

සංගක්කාර ඉතින් මගේ හිස්වැසුම පැළඳගෙන නොවෙයි හිස් වැසුමක් නැතුව වුනත් හැමදාම ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක්. ඉතිං මං හිතන්නේ ඒ වගේ ක්‍රීඩකයෝ අපි ආදර්ශයට ගන්න ඕනේ. සෙල්ලම් කරද්දී ලංකාවේ ද ලංකාවෙන් පිට ද කියලා අදාල නෑ හැමවෙලේම කැප වීමත් එක්ක ක්‍රීඩා කරන්නේ. ඒකෙ ප්‍රතිඵල තමයි ඔය විදියට ලකුණු රැස් කිරීමෙන් පේන්නේ.”

රංගන ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහු ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කර තිබුණි. ඔහුට පෙර ක්‍රීඩාවෙන් සමුගත් විශිෂ්ටයන් දෙදෙනෙක් වන අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා යන දෙදෙනා ද ක්‍රීඩාවෙන් සමුගන්නා ලද්දේ ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය. එසේ බලන විට අංක 93 ශ්‍රී ලංකාවට අවාසිදායක අංකයක් යැයි යමෙකුට සිතිය හැක. 

ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා නොකර තරග 93ක දී සමුගැනීමට ගත් තීරණය දෙස රංගන හැරී බලන්නේ මෙසේය.

ඇත්තටම මම නං ඒක අංකයක් ගැන හිතල ගත්ත තීරණයක් නෙවෙයි. මම හිතුවා සමුගන්න ඕනේ හරිම කාලේ ඒක කියලා. ඒ වගේ මගේ ශාරීරික යෝග්‍යතාවය වගේ ඔක්කොම දේවල් හිතලා තමයි ඒ තීරණය ගත්තේ. ඉතින් මම හිතුවා ඒක තමයි හරිම වෙලාව සහ හොඳම විදිහ කියලා. 

ටෙස්ට් තරග සීයක් කියන්නේ ඇත්තටම ලොකු කඩඉමක්. ඉතිං එතෙන්ට යන්න තිබුණා නම් හොඳයි. හැබැයි මම හැමවෙලේම කියන දෙයක් තමයි මගේ දනිස් දෙකේ සැත්කමක් කරලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් ගැනත් හිතලා තමයි ඒ තීරණය ගත්තෙ. ඇත්තටම ඉතින් කිසිම දුකක් කලකිරීමක් නැහැ ටෙස්ට් තරග සීයක් ක්‍රීඩා කරන්න බැරි වුනා කියලා.

මාලිගාවත්ත, කොරෝනා සහ ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස 2011 වසරේ දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ අවස්ථාව දැක්විය හැක. එම තරග ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයීමට රංගනට අවස්ථාව හිමි විය. 

එම සුවිශේෂී ජයග්‍රහණය ඔහු සිහි කරන්නේ මෙසේය.

“2011 ජයග්‍රහණය ගත්තොත් අපිට ඒක විශේෂයි. මොකද ඒ වෙනකොට අපි දකුණු අප්‍රිකාවෙ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා තිබුණෙ නැහැ. අනිත් කාරණය තමයි පළවෙනි ටෙස්ට් තරගයේ දී ජොහැනස්බර්ග් වලදී අපි ඉනිමකින් තමයි පැරදුණේ. ඉතින් අපිට ලොකු කලකිරීමක් තිබුණා. මොකද අපි ඊට වඩා හොඳ දක්ෂ කණ්ඩායමක්. ඒ ටෙස්ට් තරගය දවස් තුනෙන් ඉවර වුන එක ලොකු වේදනාවක් වුනා. 

ඉතින් ඒ තරගයෙන් පස්සේ අපි ගොඩක් පුහුණු වීම් කළා. අපි කණ්ඩායම් රැස්වීම් ගොඩක් තිබ්බා. ඊළඟ ටෙස්ට් තරගය තිබුනෙ ඩර්බන් වල. සාමාන්‍යයෙන් ඩර්බන් තණතීරුව දඟ පණ වන්නන්ට තරමක් යෝග්‍යයි. ඉතින් ඒ තරගයේ දී සිදු වුන සිදුවීම් ගත්තොත් කුමාර් සංගක්කාර ලකුණු සීයක් ගත්තා, තිලාන් සමරවීර ලකුණු සියයක් ගැහුවා, ඊට අමතරව චන්දිමාල් තමන්ගෙ පළමු තරගයට සහභාගි වෙලා ලකුණු 50 ඒවා දෙකක් ගැහුවා, චානක වෙලගෙදර පළමු ඉනිමේ කඩුලු 5ක් ගත්තා, ඒ වගේම මටත් දායකත්වය සපයන අවස්ථාව ලැබුණා. ඉතිං ඒ අවස්ථාවේ කණ්ඩායමක් විදිහට අපි හැමෝම එකතු වෙලා ජයග්‍රහණය කරපු තරගයක් තමයි ඒක. ඒ වගේ මේක ඉතාමත් නොවැදගත් තරගයක් මොකද ඒ ඒක තමයි දකුණු අප්‍රිකාවේ දී අපි ලබපු පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය.

එම දකුණු අප්‍රිකානු ටෙස්ට් ජයග්‍රහණය සේම තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසින් හැඳින්විය හැකි අවස්ථාවක් වන්නේ 2014 වසරේ එංගලන්තයේ දී, එංගලන්තයට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයයි. ඒ සඳහා ද රංගන පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ද සුවිශේෂී දායකත්වයක් සැපයීමට සමත් විය.

ඒ පිළිබඳව ද ඔහු මෙසේ සිහි කරයි.

ඒ තරගයට කලින් ලෝඩ්ස් වල තිබ්බ තරඟයේ දී තරගය යන්තමින් ජය පරාජයෙන් තොරව නිමා කර ගන්න අපිට අවස්ථාව ලැබුණේ අවසාන පන්දු ඕවරයෙ දී. හෙඩින්ග්ලි තරඟයේ දීත් මමත් ඇන්ජලෝත් ඒ සම්බන්ධතාවය පවත්වන්න කලින් අපේ කණ්ඩායම එතරම් හොඳ තැනක තිබුනෙ නෑ. මම පිතිකරණයට යනකොට ඇන්ජලෝ මට කිව්වේ අපි මේ කඩුල්ලට පුළුවන් තරම් ලකුණු රැස් කරන්න උත්සාහ කරමු කියලා. එයා මට ඇත්තටම කිව්වෙ අයියට ගහන්න පුළුවන් විදියට ගහන්න කියලා. ඉතින් එදා අපි ගහන ගහන පාරට අපිට ලකුණු හම්බුනා. මං හිතන්නේ අපි ලකුණු එකසිය පනහකට ආසන්න සම්බන්ධතාවයක් පැවැත්වූවා. ඒකෙන් තමයි අපිට ලොකු ලීඩ් එකක් හම්බුනේ. 

එම තරගයේ දී අනවශ්‍ය අවස්ථාවක අපරීක්ෂාකාරී පහරක් එල්ල කිරීම නිසා කණ්ඩායමේ සගයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමට කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් වූ ධම්මික ප්‍රසාද් හට සිදුවූ බව පැවසේ.

ඒ පිළිබඳවත්, එම තරගය ජයග්‍රහණය කිරීමට ඉවහල් වූ දේවල් පිළිබඳවත් රංගන සිහිකරන්නේ මෙසේය.

මං හිතන්නේ ධම්මික ඇත්තටම ඒ වෙලාවේ හිටපු පන්දු රකින්නාව දැක්කේ නැහැ. ඒ වෙලාවේ ඔහු තර්ඩ් මෑන් කලාපයට පහර දීලා තමයි දැවී ගියේ. හැබැයි ඉතින් ඔහු හිතන්න ඇති දැන් වෙච්ච දේ ගැන හිතලා වැඩක් නැහැ, ඊට පස්සේ ඇවිල්ල පන්දු යවලා කඩුලු අරන් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ධම්මික ප්‍රසාද් ඉතාමත්ම හොඳින් පන්දු යැවුවා. ඒ කඩුලු 5 ඉතාමත්ම වැදගත් කඩුලු පහක්. අපේ ඒ ජයග්‍රහණයට වඩාත්ම වැදගත් වුනේ ඒ කඩුලු 5 සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිහරඹය තමයි. 

ඒ ජයග්‍රහණ දෙකෙන් වඩාත් වටිනා ජයග්‍රහණය කුමක්ද යන්න පිළිබඳව විමසූ විට රංගන ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

මම හිතන්නේ ඩර්බන් ටෙස්ට් තරගය. මොකද මං කලින් කිව්වා වගේ අපි ඊට කලින් දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ. නමුත් ටෙස්ට් තරගාවලියක් විදිහට ගත්තොත් එංගලන්ත තරගාවලිය තමයි.

©espncricinfo.com

ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයෙකු ලෙස ක්‍රීඩා කළත් රංගනට නායකත්වය දැරීම සඳහා අවස්ථාව හිමිවූයේ ටෙස්ට් තරග 5ක් පමණි. ඒ පිළිබඳව යම් කලකිරීමක් තිබේ දැයි විමසූ විට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

අනේ නැහැ කිසිම කලකිරීමක් නැහැ. නායකත්වය කියන්නේ එක පැත්තකින් බැලුවම ගොඩක් ලොකු වගකීම් තියෙනවා. ඒ වගකීම් ගොඩක් වෙලාවට පළපුරුද්දෙන් සහ දැනුමෙන් ලැබෙන දෙයක්. ඉතින් මට ලැබුණ අවස්ථාවේ දී මම හිතුව මේක තමයි හොඳම අවස්ථාව කියලා. මොකද මම නායකයෝ හත් දෙනෙක් එක්ක විතර ක්‍රීඩා කරලා තියෙනවා. සමහර විට ඊටත් වැඩියි. ඉතිං ඒ ලබපු අත්දැකීම්වලින් තමයි මම කණ්ඩායමට නායකත්වය දුන්නේ. මට තරග පහක පමණ තමයි අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ තරගවල දී මගේ උපරිමය මම කණ්ඩායමට ලබා දුන්නා.

එසේම පන්දු යවන්නෙකුට නායකත්වය හිමි වීමේ ඉඩකඩ අඩු දැයි යන පැනයට රංගන දරන්නේ මෙවැනි අදහසකි.

“මෙහෙමයි. මෙච්චර කාලෙකට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් වැඩිපුරම පිතිකරුවො තමයි නායකත්වය දරල තියෙන්නෙ. හැබැයි මම දකින දේ තමයි පන්දු යවන්නෙකුට වුනත් නායකත්වය දරන්න බැහැ කියලා එකක් නැහැ. මොකද විශේෂයෙන්ම මේ අන්තිම කාලය ගත්තොත් වේගපන්දු යවන්නෝ වශයෙන් සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ඒ වගේම මමත් නායකත්වය දරලා තියෙනවා. ඉතිං එහෙම කරන්න බැහැ කියලා දෙයක් නැහැ. නමුත් මම හිතනවා තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දු යවන්නන්, විශේෂයෙන් වේගපන්දු යවන්නන් වැඩි වශයෙන් ආබාධයට ලක් වෙන්න පුළුවන් කියලා හිතලා වෙන්න ඕනේ නායකත්වයට වැඩිපුරම  පිතිකරුවන් යොදවන්නේ.

ඩෙනිස් ලිලීගේ ප්‍රියතම ගෝලයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

රංගනගේ ක්‍රීඩා දිවිය දෙස හැරී බලන විට 2014 වසරේ පැවති පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලිය කිසිසේත්ම අමතක කළ නොහැක. නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී රංගනගේ පන්දු යැවීම නොවන්නට එම ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අහිමි වී යන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

එම සුවිශේෂී මතකය ඔහු ආවර්ජනය කරන්නේ මෙසේය.

තරගයට කලින් දේවල් කතා කරොත් අපි නවසීලන්ත කණ්ඩායමේ අඩුපාඩු විශ්ලේෂණය කරන කොට දැකපු දෙයක් තමයි ඔවුන් වමතින් දඟපන්දු යන්න ක්‍රීඩකයන්ට ඒ තරම් හොඳින් ක්‍රීඩා කරලා තිබුණෙ නැහැ. අනිත් කාරණය ඒ තරගය පැවැත්වුණ චිතගොන් ක්‍රීඩාංගණයේ තණතීරුව තරමක් වියළි එකක් නිසා දඟපන්දු යවන්නන්ට වඩාත් සුදුසු වෙයි කියන හේතුව නිසා තමයි මට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ. 

අපිට මහලොකු ලකුණු ගානක් ලබා ගන්න බැරි වුනා. අපි ලකුණු 119ක් වගේ තමයි ලබා ගත්තේ. ඒකෙදි ලසිත් තමයි කණ්ඩායමේ නායකයා විදිහට ක්‍රීඩා කළේ. ඉතින් අපි කතා කරපු දේ තමයි මේ තරගය ජයග්‍රහණය කරන්න නම් ඔවුන්ගේ කඩුලු 10 අපි ලබා ගන්න ඕනේ කියන එක. ඉතින් ඒකෙදි තීරණය වුන දේ තමයි පවර් ප්ලේ එක වෙනකොට දඟපන්දු යවන්නන් එන්න ඕනේ කියන එක. 

ඒ තරගය වගේම ඒ තරගාවලියම අපි ඉතාමත්ම හොඳින් සැලසුම් කළා. ඉතින් ඒ කරපු හැම දෙයක්ම සාර්ථක වුනා. මටත් ඇත්තටම හිතෙනවා කොහොමද ඔවුන් ඒ විදිහට දැවී ගියෙ කියලා. මොකද ඕවර තුනයි පන්දු තුනක දී ලකුණු තුනක් තමයි ලබා ගෙන තියෙන්නෙ. නිලකුණු පන්දුවාර දෙකකුත් එක්ක මම කඩුලු පහකුත් ලබා ගත්ත.

එසේම එම තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳව ද ඔහු මෙසේ සිහි කරයි.

ඒකෙ වැදගත්ම දෙයක් තමයි කාසිය වාසියත් අපිට ලැබුණේ. මං ඒකයි කිව්වේ ඉතාමත්ම හොඳින් සැලසුම් කරපු තරගාවලියක් කියලා. ඒක අපි හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් විශේෂයෙන්ම ලසිත් සහ නුවන් කුලසේකර කෝලි දෝණි වගේ අ‍යට ඈතින් යවපු යෝකර් පන්දු එක්ක අන්තිම ඕවර්ස් පහක් විතර පන්දු යවපු විදිහ, ඒ හැම දෙයක්ම අපි හිතපු විදිහට සීයට සීයක්ම සාර්ථක වුනා. ඒ හේතුන් නිසා තමයි ඔවුන්ව එච්චර අඩු ගානකට අපිට තියාගන්න පුළුවන් වුනේ.

©icc-cricket.com

යොවුන් අවධියේ පටන්ම රංගනට, කුමාර් සංගක්කාර සමඟ හොඳ මිත්‍රත්වයක් තිබූ බව පැවසේ. මේ මිතුදම හා සංගක්කාර නම් ලෝක පූජිත ක්‍රීඩකයා පිළිබඳව රංගන සිහි කරන්නේ මේ අයුරිනි.

මං කුමාර් එක්ක මුලින්ම වයස අවුරුදු 17 න් පහළ මැලේසියාවට සංචාරයකට තමයි සහභාගි වුනේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම මම ක්‍රීඩකයෙක් විදිහට ඔහු ව දන්නවා. ඒ වගේම ක්‍රීඩකයෝ විදිහට අපි පාසල්වල සහ ක්‍රීඩා සමාජවල එකට ක්‍රීඩා කරලා තියෙනවා. මං හිතන්නේ ඔහු දකුණු අප්‍රිකාවත් එක්ක තමයි මුලින්ම ක්‍රීඩා කළේ. 

ඒ මුල්ම කාලයේ සංගක්කාර එච්චරම ලකුණු ලබාගෙන තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ ඔහු ඔහුගේ කාලය ගොඩාක් මිඩංගු කරල තියනවා පුහුණුවීම් වලට. ඔහු හැම වෙලේම මුල් තැන දීලා තිබුණ ක්‍රිකට්වලට. ඒ නිසා මම හිතනවා අපේ දැන් ඉන්න ක්‍රීඩකයෝ ඔහුව ආදර්ශයට ගන්න ඕන කියලා. ඔහු ළඟට ගිහින් කතා කරලා හරි කොහොමද ඔහු තරඟ වලට ලෑස්ති වුනේ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක ඔවුන්ගේ දියුණුවට ගොඩක් වැදගත්. මොකද සංගක්කාර ඉතාමත්ම හොඳ ක්‍රීඩකයෙක් සහ අපේ හිටපු පරිණතම ක්‍රීඩකයෙක්. ඔහුගේ වාර්තාවලින්ම ඔහු පෙන්නල තියෙනව ඔහු කොච්චර දක්ෂ ද කියලා.

එසේම මුරලිදරන්ගෙන් ඔහුට ලැබුණ පිටිවහල පිළිබඳව ද රංගන මෙසේ සිහි කරයි.

“මුරලි සමුගත්තට පස්සේ අපි මුණ ගැහිලා හරි නැත්නම් දුරකථනයෙන් හරි කතා කරන කොට මම වැඩිපුරම බලන්නේ එයාගෙ අත්දැකීම් මං කොහොමද ලබා ගන්න කියලා. ඔහු ක්‍රීඩා කරන කාලෙත් මම, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දිව් කියන අපි හැමෝටම මුරලිගේ උදව් ලැබුණා තරගයක පන්දු යවන්නේ කොහොමද, තරඟයක විවිධ අවස්ථාවන් පාලනය කරන්නේ කොහොමද වගේ දේවල්වලට.”

රංගනගේ ක්‍රීඩා දිවියේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වශයෙන් 2016 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අවස්ථාව නම් කළ හැක.. එහි දී රංගන විසින් තුන් වැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ටාක්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය නොදැවී යාමක් ලෙස විනිසුරු සටහන් කළ අතර මද වේලාවක දෙගිඩියාවකින් පසු තත්පර 2ක් පමණක් ඉතිරි වී තිබිය දී එම තීරණය අභියෝගයට ලක් කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය.

ඒ තීරණය නිසා ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට රංගනට අවස්ථාව උදා වූ අතර ඒ පිළිබඳව ඔහු සිහි කරන්නේ මෙසේය.

ඒකෙදි මට තමයි ඇත්තටම දෙගිඩියාවක් තිබුණේ. මම හිතුවේ ඔහු උස ක්‍රීඩකයෙක් නිසා පාදයේ වැදුනම පන්දුව කඩුල්ලට උඩින් යයි කියලා. නමුත් ඇන්ජලෝ සහ දිනේෂ් චන්දිමාල් කිව්වා නෑ අපි මේක දාන්න ඕනේ කියලා. මං හිතන්නේ තප්පර 15ට ඔන්න මෙන්න තියල තමයි අපි එක දැම්මේ. ඉතිං වාසනාවකට hat trick එක ලැබුණ ඔවුන් දුන්න සහයෝගය නිසා. 

රංගන ටෙස්ට් පිටියෙන් සමුගන්නේ 2018 වසරේ දී ය. ඔහු මෙන්ම ඔහුගේ සමකාලීනයින් වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් වැනි ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමෙන් ඉවත්ව ගිය පසුව ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක්වූ බව රහසක් නොවේ. අතරින් පතර ඉතා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුවත් එම දස්කම් දිගින් දිගටම රඳවා ගැනීමට මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණේ නැත.

කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් පිළිබඳව මෙන්ම යළිත් ජයග්‍රාහී මාවතට පැමිණීම උදෙසා ඔවුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳව රංගන දරන්නේ මෙවැනි අදහසකි.

අපි හැම වෙලේම කතා කරන දෙයක් තමයි අපේ ක්‍රීඩකයන්ට හැකියාව තියෙනවා කියන එක. ඒ හැකියාව වැදගත් වෙන්නෙ ක්‍රීඩකයෙක්ව අඳුනගන්න. ඒක කෙටිකාලීනයි. හැබැයි ක්‍රීඩකයෙකුට හැම වෙලේම වගකීමක් තියෙනවා තමන් මොන හේතුවක් නිසා ද මේ රටට ක්‍රීඩා කරන්නේ, තමන්ට තියෙන වගකීම මොකක්ද, තමන් වෘත්තීය ක්‍රීඩකයෙක් හැටියට තමන්ගෙ රටට සහ කණ්ඩායමට මොනවද ලබා දෙන්න කියලා. 

ඉතින් මං හිතන්න අපේ ක්‍රීඩක ගොඩක් දක්ෂයි. හැබැයි අපි හිතන්න ඕනේ අපේ ඉලක්කවලට යන්න නම් කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක. අපි හැමදාම කතා කරනවා කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුරලි වගේ අය ගැන. නමුත් ඒ අය එක රැයකින් ඇවිල්ලා දක්ෂතා පෙන්නපු අය නෙවෙයි. එයාලා ගොඩක් මහන්සි වෙලා තමන්ගේ ජීවිත කාලයම ක්‍රිකට් වෙනුවෙන් කැප කරපු අය. 

ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට හෝ වෙනත් ඕනෑම දෙයකින් සාර්ථකත්වයක් ලබන්න නම් තමන්ගෙ මහන්සිය සහ ඒ වෙනුවෙන් කැපවීම ඉතාමත්ම වැදගත්. ඉතිං ඒක තමයි මට කියන්න තියෙන එකම දේ.

රංගන හේරත් යනු විශිෂ්ටයෙකි. ඒ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

1999 වසරේ ටෙස්ට් වරම් දිනා ගැනීමේ පටන් 2018 වසරේ ටෙස්ට් පිටියෙන් සමුගැනීම දක්වා ක්‍රිකට් පිටිය තුළ ඔහු පෑ දස්කම් පිළිබඳව යළි යළිත් ලිවීමට අවශ්‍ය නැත. තවත් වසර සීයක් ගිය පසුව වුවද ක්‍රිකට් ඉතිහාසය පෙරලා බලන්නෙකුට මග නොහැරෙන පරිදි ඒ ඉතිහාස කතාවේ තමාගේ පරිච්ඡේදය සටහන් කරන්නට මේ විශිෂ්ටයා සමත් වී ඇත. 

වාර්තා පොත් අතර අනේක වාරයක් තම නාමය සටහන් කරවමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් කඩුලු ගණනක් බිඳ දැමූ වමත් පන්දු යවන්නා බවට පත්වූ රංගන හේරත් ක්‍රිකට් වංශ කතාවේ පුරාවෘතයක් බවට පත් වන්නේ නිරායාසයෙනි.

එයට ඇසින් දුටු සාක්ෂිකරුවන් වීමේ වාසනාව අපට උදාකරදුන් රංගන, ඔබට අප සදා ණයගැතිය..

රංගන භායි, සලාම්! 

(Brother Rangana, Respect!)

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<