Messiගේ සතුටු කඳුළු මධ්‍යයේ ආජන්ටිනාව නැවතත් Copa America ශූරයින් වෙයි

Copa America 2024

3
Copa America 2024

2024 Copa America පාපන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට ආජන්ටිනාව අද (14) උදෑසන සමත් වුනා.

කොලොම්බියාව සමඟ පැවැත්වුණු අවසන් මහා තරගයේ දී ආජන්ටිනාව වෙනුවෙන් Angel di Maria සිය අවසන් පාපන්දු තරගයට ක්‍රීඩා කිරීම මෙහි විශේෂ සිදුවීමක්.

තරගය ආරම්භයේ පටන් ප්‍රබල ආජන්ටිනාවට කොලොම්බියාවෙන් දරුණු තර්ජනයක් එල්ල වූ අතර, එම නිසා තරගයේ පළමු අර්ධය සහ දෙවැනි අර්ධය යන අර්ධ දෙකම ගෝල වාර්තා වීමකින් තොරව නිමාව දුටුවා. එම නිසා තරගයේ තීරණයක් ලබා ගැනීම වෙනුවෙන් අමතර කාලයක් සඳහා තරගය ඇදී ගිය අතර, එහි දී ද දෙපිළම කරට කර ගැටෙමින් ක්‍රීඩා කරන අයුරු පෙනෙන්නට තිබුණා.

කෙසේ වෙතත් තරගයේ 112 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩක Lautaro Martinez විසින් තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කරමින් ආජන්ටිනාවට මෙවරත් Copa America ශූරතාව හිමි කර දීමට සමත් වුනා.

මෙය ආර්ජන්ටිනාව විසින් ජයග්‍රහණය කළ 16 වැනි Copa America ශූරතාව වන අතර,  ඔවුන් මෙම ශූරතාව නොකඩවා ජයග්‍රහණය කළ දෙවැනි අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.

මෙම තරගයේ 37 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ආජන්ටිනා ක්‍රීඩක Lionel Messi පාදයේ ආබාධයකට ලක් වූ අතර, එම නිසා ඔහුට තරගයේ දෙවැනි අර්ධය අතර තුර කඳුළු පිරි දෙනෙතින්‍ යුතුව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා.

කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු Lautaro Martinez විසින් Messiගේ එම කඳුළු සතුටු කඳුළු බවට පත් කිරීමට සමත් වූ අතර, අවසන් තරගයේ ගෝලයත් සමඟ Martinez තරගාවලියේ ඉහළම ගෝල ලාභියා (ගෝල 05) බවට ද පත් වුනා. එමෙන්ම තරගාවලියේ හොඳම දැල් රකින්න ලෙස ආජන්ටිනා ක්‍රීඩක Emiliano Martinez සම්මාන දිනාගන්නා අතරේ, කොලොම්බියානු සුපිරි තරුව James Rodriguez තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

දෙස් විදෙස් පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත නිරන්තරයෙන් ම සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<