එංගලන්තයේ සත්කාරකත්වයෙන් සංවිධානය කෙරෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (06) පැවති තරගවල දී ස්කොෂ් මිශ්‍ර යුගල ඉසව්වට සහභාගී වූ චනිත්මා සිනාලි සහ ශමිල් වකීල් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.
අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයනාවේ Fung A Fat Mary සහ Wiltshire Shomari. ඔවුන්ට එරෙහිව 2-0ක ජයග්‍රහණයක් වාර්තා කළ චනිත්මා සහ ශමිල් අවසන් පූර්ව වටයට එක් වූයේ පළමු තරගය 11-7ක් සහ දෙවැනි තරගය 11-6ක් ලෙස ජයග්‍රහණය කරමින්.
මේ අතර චනිත්මා ඊයේ රාත්‍රියේ දී ද නැවත වතාවක් ස්කොෂ් පිටියට පිවිසුණේ ස්කොෂ් කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව වටය වෙනුවෙන් යෙහෙනි කුරුප්පු සමඟ එක් වෙමින්. එම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ පාකිස්තානයේ Zafar Faiza සහ Fayyaz Amna හමුවේ තියුණු සටනකින් පසුව 2-1ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.
11-10ක් ලෙස කරට කර සටනකින් නිමා වූ පළමු වටයේ දී පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකාවයි. නමුත් දක්ෂ හඹා ඒමක් සටහන් කරමින් 5-11ක් ලෙස දෙවැනි වටය ජය ගන්නට පාකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා. දෙවැනි වටයේ රිද්මය අඛණ්ඩව තෙවැනි වටයටත් ගෙන ගිය ඔවුන් 9-11ක් ලෙස ඉසව්ව අවසන් කළේ 2-1ක් ලෙස අවසන් පූර්ව තරගයට වරම් දිනා ගනිමිනුයි.
කිමිඳුම්
පිරිමි මීටර් 3 Springboard මූලික වටයේ තරග සඳහා එක් වූ දුලංජන් ප්‍රනාන්දු තම තරගය අවසන් කළේ ලකුණු 217.95ක් ලබා ගනිමින්. ඒ අනුව ඔහුට හිමි වූයේ 15 වැනි ස්ථානයයි.
එහි පළමු ස්ථානය ලැබූ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා සහ දුලංජන් අතර පරතරය ලකුණු 238.70ක් වූ අතර 14 වැනියා වූ කැනඩා ක්‍රීඩකයා සහ දුලංජන් අතර ලකුණු පරතරය 54.65ක්.
මල්ලවපොර
අද මල්ලවපොර තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය වූයේ කේශානි සහභාගී වූ කිලෝග්‍රෑම් 53 බර පංතියේ Freestyle මූලික වටයේ තරගයයි. ඇයගේ ප්‍රතිවාදියා වූයේ නයිජීරියා ක්‍රීඩිකාවක්. ඇය වෙතින් 10-0ක පරාජයක් ලබන්නට කේශානිට සිදු වුනා.
අනතුරුව නැවත වතාවක් කේශානි තරග බිමට පිවිසියේ කැනඩා ක්‍රීඩිකාවක් හා තරග වැඳීමට. එහි දී ද ඇයට ලකුණු 12-2ක පරාජයක් විඳීමට සිදු වුනා. පළමු වටයේ ඇය සහභාගී වන තෙවැනි තරගය ඉන්දීය ක්‍රීඩිකාවක සමඟ මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අතර කාන්තා කිලෝග්‍රෑම් 50 බර පංතියේ Freestyle ඉසව්වේ පළමු වටයේ තරගවලට සහභාගී වූ ශ්‍රියන්තිකා නිරෝෂනී තමන් සහභාගී වූ තරග දෙකෙන් ම පරාජයට පත්වුනා. එම තරග දෙකේ දී ඇයගේ ප්‍රතිවාදීන් වූයේ මෙම ඉසව්වේ රන් පදක්කමට තරග කිරීමට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් දෙදෙනා සමඟ වීම විශේෂයි.
ඇය පළමුවෙන් ම තරග පිටියට පිවිසියේ කැනඩාවේ Madison Parks සමඟ. ඇය වෙතින් ලකුණු 12-0ක පරාජයක් ලැබීමට ඇයට සිදු වුනා. අනතුරුව ඇය සහභාගී වූයේ නයිජීරියාවේ Mercy Genesis සමඟ. එම තරගයෙන් ඇය පරාජය වූයේ ලකුණු 12-1ක් ලෙසයි.
- නෙත්මි CWG ඉතිහාසය අලුත් කරද්දී බැඩ්මින්ටන් වලිනුත් ජයග්‍රහණ
- CWG 8 වැනි දවසේ හොඳම දක්ෂතා සමඟින් තරගාවලි වාර්තා දෙකක්
- කාලිංග සහ නිලානි 7 වැනි ස්ථානයට
- සාරංගි අවසන් වටයට යද්දී ගයන්තිකා මූලික වටයේ හත්වැනි තැනට
- ජැමෙයිකාව කඩුලු මතින් දිවීමේ රන් පදක්කමට
බැඩ්මින්ටන්
බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව නියෝජනය කරන්නට සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා අද තරග බිමට පිවිසියා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙම ඉසව්වේ රිදී පදක්කම්ලාභීන් වන එංගලන්තයේ Ellis Marcus සහ Lauren Smith.
ඔවුනොවුන් අතර පැවති තරගයේ පළමු වටයේ දී 21-12ක් සහ දෙවැනි වටයේ දී 21-19ක් ලෙසින් පරාජය වීමට සචින්ටත්, තිළිණිටත් සිදු වුනා. එමගින් ඔවුන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලීය ගමන නතර වුනා.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දී නැවත වතාවක් සචින් ඩයස්, බුවනෙක ගුණතිලක සමඟින් පිරිමි යුගල ඉසව්ව වෙනුවෙන් පිටියට පිවිසියා.
ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ, මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම්ලාභීන් වූ මැලේසියාවේ Chan Peng Soon සහ Tan Kian Meng වෙතින් 2-0ක් ලෙස පරාජය වන්නට සචින් සහ බුවනෙකට සිදු වුනා. තරගයේ ලකුණු සටහන දැක්වුනේ 16-21ක් සහ 12-21ක් ලෙසයි.
අද (07) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන
ක්‍රීඩාව |
ඉසව්ව |
වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්) |
දුර පැනීම | කාන්තා අවසන් තරගය (සාරංගි ද සිල්වා) | රාත්‍රි 11:35 |
හෙල්ල විසිකිරීම | පිරිමි අවසන් තරගය (සුමේධ රණසිංහ) | මධ්‍යම රාත්‍රි 12:10 |
ස්කොෂ් | මිශ්‍ර යුගල පලඟ අවසන් තරග | රාත්‍රි 10:30 |
ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය අදයි (07). පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකීය දක්ෂතා ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<