“නිල් ඇස් එක්ක ඔයත් Barbie කෙනෙක් වගේ!”

The Hundred 2023

6418

පසුගිය අගෝස්තු පළවැනිදා එංගලන්තයේ දී ආරම්භ වූ The Hundred ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී ම සමාජ මාධ්‍ය ජාලා වල අවධානය තරගාවලිය දෙසට යොමු වන අන්දමේ සිදුවීමක් සිදු වී තිබෙනවා.

The Hundred කාන්තා සහ පිරිමි තරගාවලි ද්විත්වය ම එකට ආරම්භ වූ අතර, මින් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස Southern Brave සහ Trent Rockets කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී එංගලන්ත මාධ්‍යවේදියෙකු වන Chris Hughes විසින් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Maitlan Brown සමඟ සිදු කළ කෙටි සාකච්ඡාවක් අතරතුර මෙම සිදුවීම සිදු වී තිබෙනවා.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දීමට Brown නියෝජනය කරන Southern Brave කණ්ඩායමට අවස්ථාව ලැබුණු අතර එහි දී ඔවුන් විසින් තරගයට විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී Brave ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 79ක් ලබා සිටි අවස්ථාවේ මාධ්‍යවේදියා විසින් Brown සමඟ මෙම කෙටි පිළිසඳර අරඹනවා.

Maitlan මම දන්නවා ඔබ පිතිකරුවෙක් (Batsman). නමුත් පා ආවරණ නොදා එහි වාඩි වී පවර් ප්ලේ පන්දුවාර දෙස බලා සිටීම සතුටක් වෙන්න ඇති.”

මෙහි දී Chris විසින් භාවිත කළ Batsman යන වචනය මේ වන විට තරමක් යල්පැන ඇති අතර MCC විසින් තරග විකාශකයින් වෙත දැනුම් දී තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවයෙන් මධ්‍යස්ථ යෙදුමක් වන Batter යන වචනය මෙවැනි අවස්ථාවල දී භාවිතා කිරීම වඩා උචිත බවයි.

කෙසේ වෙතත් එය එතරම් ගැටලුවකට තුඩු දෙන අන්දමේ එකක් නොවූ නමුත් ඉන් පසුව Chris විසින් සඳහන් කළ යමක් තරමක ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා.

මෙම සාකච්ඡාව අතරතුර Chris විසින් Brownගෙන් කණ්ඩායමේ පුහුණුවීම් සම්බන්ධයෙන් ගැටලුවක්‍ යොමු කළ අතර එහි දී Brown විසින් ඔහුට සාමාන්‍ය මට්ටමේ පිළිතුරක් ලබා දුන්නා.

“අපි Southampton හිදි දින කිහිපයකට පෙර එකතු වුනා. එසේ කණ්ඩායමක් ලෙස එකතු වීමට ලැබීම සතුටක්. අපි පුහුණු තරගයක් ක්‍රීඩා කළා, ඒ වගේම අනිත් රාත්‍රියේ දී කණ්ඩායම් බැඳීම වැඩි කර ගැනීම වෙනුවෙන් Barbie බැලුවා.”

මේ වන විට ලොව පුරා අතිශය ප්‍රචලිත ව ඇති සිනමාපටයක් ලෙස Barbie හඳුන්වා දිය හැකි.

නමුත් ඒ මොහොතේ Chris විසින් එයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ බහුතරයකගේ අප්‍රසාදය පළ වෙමින් පවතිනවා.

“නිල් ඇස් තියෙන ඔයත් පුංචි Barbie කෙනෙක් වගේ. එහෙම නේද?”

මෙම ප්‍රකාශය මගින් Chris විසින් සිය වෘත්තිය භාවය ඉක්මවා ගොස් ඇති බව පිරිසක් විසින් සඳහන් කරන අතර, එවැනි ප්‍රකාශයක් සිදු කිරීම නුසුදුසු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

එමෙන්ම මෙය සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචලිත වීමෙන් පසුව ඒ පිළිබඳ අදහස් දැක්වූ BCC ප්‍රකාශකයෙකු විසින් සඳහන් කර ඇත්තේ තරග විකාශන සමාගම විසින් Chris Hughesව සම්බන්ධ කර ගනිමින් ඔහුගේ එම ප්‍රකාශය නුසුදුසු එකක් බව පැහැදිලි කළ බවයි. නමුත් තවමත් Chris විසින් මේ පිළිබඳ ව කිසිදු සඳහනක් සිදු කර නැහැ.

එමෙන්ම Chrisගේ මෙම ප්‍රකාශයේ එතරම් බරපතළ ලෙස සැලකිය යුතු යමක් අඩංගු නොවන බව සහ Maitlan විසින් ද එයට එතරම්ම අකමැත්තක් නොපෙන්වූ බවත් තවත් පිරිසක් විසින් සඳහන් කරනවා.

මේ අතර මෙම සිදුවීම සිදු වූ තරගය Maitlan විසින් ක්‍රීඩා කළ Southern Brave කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී ඉන්දීය ක්‍රීඩිකා Smriti Mandhana විසින් විශිෂ්ට අර්ධ ශතකයක් ද ලබා ගැනීමට සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<