එංගලන්තයේ හිටපු පුහුණුකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට

3605
Chris Silverwood

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන Chris Silverwood ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව වසර දෙකක කාලයක් සඳහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Silverwoodගේ පළමු වගකීම බවට පත් වන්නේ එළඹෙන මැයි 15 වැනිදා බංග්ලාදේශයේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායම සවිබල ගැන්වීමයි.

එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අමතරව Silverwood ක්‍රීඩකයෙකු ලෙස එංගලන්ත ජාතික කණ්ඩායම ද ටෙස්ට් තරග 6ක දී හා එක්දින තරග 7ක දී නියෝජනය කර තිබෙනවා. නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දී 4-0ක් ලෙස ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව ඔහුව එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කළා.

Silverwoodගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්තය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 14න් තරග 10ක්ම පරාජයට පත්ව තිබූ අතර ඔවුන් ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Mickey Arthurගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර ඉන් අනතුරුව මාස 4කට ආසන්න කාලයක් අදාළ ධූරය පුරප්පාඩු වී පැවතුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<