හතුරුසිංහ ධුරයෙන් ඉවතට!

106

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාගේ ධුරය අත්හිටවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) විසින් ඊයේ (15) තීරණය කළා.

BCB සභාපති Faruque Ahmed විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර, 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩකයකුට පහර දීමේ චෝදනාවක් මතයි ඔවුන් මෙම තීරණය ලබාගෙන තිබෙන්නේ.

ඒ අනුව හතුරුසිංහ මහතාගේ ධුරය ඉදිරි පැය 48ක කාලයකට තහනම් කිරීමත්, ඉන්පසුව ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමත් සිදු වනු ඇති.

ඒ අනුව හතුරුගෙන් හිස් වන බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම Phil Simmons හට හිමි වනු ඇති අතර, 2025 ශූරයින්ගේ කුසලානය දක්වා ඔහු බංග්ලාදේශ අන්තර්කාලීන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

මෙම පහරදීමේ චෝදනාවට අමතරව හතුරුසිංහ විසින් සිය කොන්ත්‍රාත්තුවේ සඳහන් වූවාට වඩා අමතර නිවාඩු ලබා ගැනීම ද මෙම තීරණයට හේතු වූ බවයි BCB සභාපතිවරයා සඳහන් කරන්නේ.

2023 වසරේ දී බංග්ලාදේශ පුහුණුකරු ලෙස දෙවැනි වරටත් වගකීම් බාරගත් හතුරුසිංහ මහතාගේ මෙම කාලසීමාව තුළ බංග්ලාදේශය දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් තරමක මිශ්‍ර ප්‍රතිචාර ඔහු වෙත ලැබෙමින් ද තිබුණා.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<