මෙන්ඩිස්, චාමික ඇතුළු සිව්දෙනෙකුට LPL ආචාරධර්ම කඩ කිරීමේ චෝදනා!

LPL 2023

5699
LPL 2023

පසුගිය අගෝස්තු 05 වැනිදා Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වුණු LPL තරගාවලියේ 8 වැනි තරගය අතරතුර LPL ආචාරධර්ම කඩ කිරීමේ වරද වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ Hasan Ali යන ක්‍රීඩකයින්ට දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

LPL ආචාරධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය කඩ කිරීම නිසා Dambulla Aura වේගපන්දු යවන ක්‍රීඩක Hasan Ali හට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් නියම කර තිබෙනවා.

මේ අතර ආචාරධර්ම සංග්‍රහයේ එම වගන්තිය කඩ කිරීමේ වරද නිසාවෙන් ම Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් හට ද තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් සහ එක් දඬුවම් ලකුණක් නියම කර තිබෙනවා.

එමෙන්ම චාමික කරුණාරත්න විසින් LPL ආචාරධර්ම සංග්‍රහයේ 2.6 වගන්තිය කඩ කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් 30%ක දඩයක් සහ දඬුවම් ලකුණු දෙකක් නියම කර ඇති අතර, ඊට අමතරව 2.21 වගන්තිය කඩ කිරීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් සහ තවත් එක් දඬුවම් ලකුණක් ද නියම කර තිබෙනවා.

මේ අතර Colombo Strikers නියෝජනය කරන Naseem Shah විසින් LPL ආචාරධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩ කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් ද නියම කර තිබෙනවා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැත්වුණු Colombo Strikers සහ Dambulla Aura අතර තරගයේ අවසාන භාගයේ දී Hasan Ali විසින් තරග විනිසුරුවරුන් සමඟ යම් බහින්බස් වීමකට යොමු වූ අතර, ඉන් මොහොතකට පසු කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න දෙදෙනා අතර ද උණුසුම් කතාබහක් ඇති වුනා. මෙම දඩ සහ දඬුවම් ලකුණු ඒ වෙනුවෙන් ලැබී ඇති බව අනුමාන කළ හැකියි.

එමෙන්ම මෙවර LPL තරගාවලියේ පළමු තරගය ලෙස Jaffna Kings සහ Colombo Strikers කණ්ඩායම් මුණ ගැසුණු තරගය අතරතුර සිදු වූ සිදුවීමක් නිසා Naseem Shah හට මෙම දඩ සහ දඬුවම් ලකුණු හිමි වී ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

මෙහි දී ඉහත නම් සඳහන් සියලු ක්‍රීඩකයින් විසින් සිය වැරදි පිළිගත් බවත් වාර්තා වනවා.

2023 LPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<