චමරි නැවතත් ICC මාසයේ ක්‍රීඩිකාව බවට පත් වෙයි

ICC Women's Player of the Month - July

20
ICC Women's Player of the Month - July

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ගෙවුණු ජුලි මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙය චමරි විසින් 2024 වසරේ දී ICC මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබාගත් දෙවැනි අවස්ථාව ලෙස සටහන් වූ අතර, එය ඇයගේ තෙවැනි ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයයි.

ඒ අනුව ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් දෙවැනියට වැඩිම වාර ගණනක් පිදුම් ලද ක්‍රීඩිකාව (බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාව Hayley Matthews හ සම තැන් ගනිමින් සහ ඕස්ට්‍රේලියාවේ Ashleigh Gardnerට පමණක් දෙවැනි වෙමින්) බවට පත් වීමට ද චමරිට හැකියාව ලැබුණා.

මෙවර ඇය සමඟ මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රීඩිකාවන් වන Smriti Mandhana සහ Shafali Verma තරග වැදුණු නමුත් ඔවුන්ට චමරි අබිබවා යාමට හැකි වුනේ නැහැ.

ගෙවුණු වසරක කාල සීමාව තුළ චමරිගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණය ලබමින් ඉදිරියට පැමිණි අතර, ගෙවුණු ජුලි මාසයේ දී ඔවුන් එහි විශේෂ සංධිස්ථානයක් සලකුණු කරමින් ආසියානු විස්සයි විස්ස ශූරියන් ලෙස කිරුළු දැරීමට ද සමත් වුනා.

මම විශ්වාස කරනවා මෙම පිළිගැනීම් මගේ රටේ සහ කොහේ හෝ සිට තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ගැහැණු ළමුන් වෙනුවෙන් ධනාත්මක පණිවිඩයක් ලබා දේවි කියලා. ක්‍රීඩාව වෙනුවෙන් ඔබට ඇති කැපවීම සහ උත්සාහය කෙදින හෝ ඔබට හොඳ ප්‍රතිඵල ගෙනැවිත් දේවී.

සිය සම්මානය පිළිගනිමින් චමරි එසේ සඳහන් කරනවා.

නිමා වූ ආසියානු කුසලානයේ දී චමරි විසින් මැලේසියාවට එරෙහිව තම පෞද්ගලික හොඳම විස්සයි විස්ස ඉනිම දියත් කරමින් ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වූ අතර, තායිලන්තයට එරෙහිව නොදැවුණු ලකුණු 49ක් ද ලබා ගැනීමට සමත් වුනා.

එතැනින් ද නොනැවතුණු ඇය විසින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 63ක් මෙන්ම, අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 61ක් ද ලබා ගැනීමට සමත් වුනේ සමස්ත තරගාවලියේ දී ප්‍රහාරාත්මක වේගය 146.85ක් වැනි අගයක රැඳෙමින් ලකුණු 304ක් ලබා ගන්නා අතරවාරයේ දීයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<